උතුරේ සංවර්ධනයට ආණ්ඩුව බාධා කරනවා


උතුරු පළාතේ ව්‍යාපෘති දියත් කිරීමේදී මධ්‍යම රජයෙන් ලබා දෙන සහයෝගය ප්‍රමාණවත් නැතැයි පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි. ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා නොදීම නිසා ඇතැම් ව්‍යාපෘති අතරමග ඇන හිටින බව ඔහු ප්‍රකාශ කළේ ‘‘ඉරිදා ලංකාදීප’’ ය සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදීයි. මේ විග්නේෂ්වරන් මහතා සමඟ කළ සාකච්ඡාවයි.  


ප්‍රශ්නය - උතුරු පළාතේ තත්ත්වය කොහොමද?  

පිළිතුර - පළාතේ ගැටලු රැසක් පවතිනවා. විශේෂයෙන් මධ්‍යම රජයෙන් ලබාදෙන සහයෝගය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ගැටලු රැසක් තිබෙනවා. ඒ ගැටලු මැද්දේ තමයි ජනතාවට සේවය කරන්න තිබෙන්නේ. කොහොම වුණත් පළෘත් සභාවක් ලෙස අපි ජනතාවට උපරීම සේවයක් කරන්න බලාපොරාත්තු වෙනවා.  


ප්‍රශ්නය - ඒ කියන්නේ මධ්‍යම රජයෙන් ප්‍රතිපාදන ලබා දෙන්නේ නැද්ද?  

පිළිතුර - ප්‍රමාණවත් නැහැ. දැන් බලන්න, අපට අවශ්‍ය ව්‍යාපෘති ඉටුකරන්න ගොඩාක් බාධා තිබෙනවා. අපි යම්කිසි ව්‍යාපෘතියක් කරන්න හදනකොට මධ්‍යම රජයේ බලපෑම් වලට යටත් වෙන්න ඕනෑ.  


ප්‍රශ්නය - මොනවද බලපෑම්?  

පිළිතුර - අපට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ නැහැ. අපේ ව්‍යාපෘති සිදුකරන්න මධ්‍යම රජයේ කොන්දේසි වලට යටත් වෙන්න ඕනෑ. අපි එම ව්‍යාපෘති දියත් කරන්නේ උතුරේ ජනතාවගේ පැත්තෙන් හිතලා. මධ්‍යම රජයේ ඇතැම් අය දන්නේ නැහැ උතුරට අවශ්‍ය මොනවද කියලා. ඉතින් ඒ අවස්ථාවලදී ගැටලු මතුවෙනවා.  


දැන් බලන්න උතුරු පළාතේ ජනතාවගෙන් බදු මුදල් එකතු කරනවා. ඒ මුදල් මධ්‍යම රජය ලබාගෙන අපට ලබා දෙන්නේ ඉතාම සුළු මුදලක්. ඒවා ප්‍රමාණවක් නැහැ. ඉතිරි මුදල් මැති ඇමැතිවරුන්ගේ ව්‍යාපෘති වලට යොදවනවා. සාමාන්‍යයෙන් උතුරේ ජනතාවගෙන් බදු මුදල් එකතු කරනවා නේ. ඉතින් අපට ලබා දෙන්නේ සුළු මුදලක් තමයි. උතුරු පළෘතේ පමණක් නොවෙයි සෑම පළාත් සභාවකම ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල් මධ්‍යම රජයටයි ලැබෙන්නේ. ආණ්ඩුව අපට කොටසක් දෙනවා. සම්පූර්ණ මුදල අපට ලබා නොදෙන්නේ ඇමැතිවරුන්ට දීලා අපේ පළාතේ ඒ සල්ලි වලින් ව්‍යාපෘති කරන්න ලබා දෙනවා. ඒවා ඔවුන්ගේ මතය හැටියට තමයි ඉටුකරන්නේ. අපිත් සමඟ සාකච්ඡා කරලා නොකිරීම තමයි ගැටලුව වී තිබෙන්නේ. ඔවුන් ව්‍යාපෘති කරලා විවෘත කිරීමේ අවස්ථාවට පමණක් අපට ආරාධනා කරනවා. මධ්‍යම රජය පවසන්නේ පළාත් ලේකම්වරයාට ප්‍රකාශ කරලා තිබෙන්නේ. අදාළ ව්‍යාපෘති පිළිබඳව කියලා. නමුත් ඔහු රජයේ නිලධාරියෙක්. උතුරේ දේශපාලනඥයන් හැටියට අපි ඒ ජනතාවට වගකියන්න අවශ්‍යයි ​ෙන්. දේශපාලනඥයින් හැටියට දැනගන්න ඕනෑ. ඒ ව්‍යාපෘති ජනතාවට හොඳක් වෙයිද නරකක් වෙයිද කියලා.  


ප්‍රශ්නය - ඔබ සඳහන් කරන ආකාරයට පළාත් සභාවේ ගැටලු පවතිනවා නේද?  

පිළිතුර - ගැටලු කියන්නේ සුළු සුළු ප්‍රශ්න තිබෙනවා. අපි පළාත් සභාවට පත්වුණ දවසේ ඉඳලම ගැටලු තිබෙනවා. අපි ඒවා එච්චර දුරට ගණන් ගන්නේ නැහැ. අපේ කටයුතු අපි පවත්වාගෙන යනවා. අපේ මූලික අරමුණ ජනතාවට සේවය කිරීමයි. අපි මධ්‍යම රජය සමග සහයෝගයෙන් වැඩකරනවා. නමුත් මධ්‍යම රජයෙන් අපට ලබා දෙන සහාය ප්‍රමාණවත් නැහැ කියලා තමයි කියන්න තිබෙන්නේ.  


විශේෂයෙන් උතුරු පළාත් ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට රජය කටයුතු නොකිරීම ඉතා කනගාටුදායක තත්ත්වයක් ලෙසයි මට ප්‍රකාශ කරන්න තිබෙන්නේ. වසර 30 ක කුරිරු යුද්ධයෙන් බැටකෑ පිරිසක් ජීවත් වෙන්​නේ. දැන් සාමය උදාවුවත් ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ ජන ජීවිතය පවත්වාගෙන යාමට බාධා තිබෙනවා. උතුරේ ජනතාවට බොහෝ ප්‍රශ්න තිබෙනවා. ඒවා විසඳනකම් උතුරේ තත්ත්වය සම්පූර්ණයි කියලා කියන්න බැහැ. මධ්‍යම රජයයි පළාත් සභාවයි අතර යම් යම් කාරණා සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා. අපි ඒවා ප්‍රජාතන්ත්‍රවාදීව විසඳා ගන්න අවශ්‍ය සියලු උත්සාහ ගත්තා.  

 

ප්‍රශ්නය - මේ තත්ත්වය අනුව පළෘත් සභාව පවත්වාගෙන යන්න පුළුවන්ද?  

පිළිතුර - පළාත් සභාව පවත්වාගෙන යාමට ඒක නිසා නොවෙයි අපහසුතාව තිබෙන්නේ. 13 වැනි සංශෝධනයේ තිබෙන අඩුපාඩුකම් නිසා තමයි පළාත් සභාව පවත්වාගෙන යාමට අපහසු කාරණාව හැටියට මම දකින්නේ.  


ප්‍රශ්නය - මොනවද ඒ අඩුපාඩුකම්?  

පිළිතුර - දැන් බලන්න, අපිට ප්‍රමාණවත් බලතල ලබාදීලා නැහැ. අපි ආණ්‍ඩුකාරතුමාගෙන් උපදෙස් ගන්න ඕනෑ. ඔහු උතුරු පළාතෙත් ඉන්නවා. දකුණු පළාතෙත් ඉන්නවා.

 
ප්‍රශ්නය - ඒකියන්නේ ආණ්‍ඩුකාරතුමන් දෙපැත්තකද ඉන්නේ?  

පිළිතුර - ඔව්. ඔහුගේ තනතුරේ හැටියට එහෙම තමයි ඉන්න වෙලා තිබෙන්නේ. අනික පළාත් සභාවේ පරිපාලන කටයුතු සිදුකරන්නේ දෙවිදියකට. එකක් මධ්‍ය ආණ්ඩුවෙන් සිදුකෙ​ෙරන පරිපාලනය. අනික පළාත් සභාවෙන් සිදුකෙරෙන පරිපාලනය. අපේ පළාතේ ප්‍රධාන ලේකම් හැටියට පළෘත් සභාවේ කටයුතු සිදුකරනවා. නමුත් ප්‍රශ්න තිබෙනවා. එයා මධ්‍යම ආණ්‍ඩුවේ නිලධාරියෙක් හරිහැටි ඒ උපදෙසුත් පිළිගන්න ඕනෑ.  


ප්‍රශ්නය - උතුරේ ජනතාවට තිබෙන තවත් ගැටලු මොනවාද?  

පිළිතුර - බොහෝ ගැටලු තිබෙනවා. ප්‍රධාන කාරණය තමයි ඔවුන්ගේ ඉඩම් ප්‍රශ්නය. උතුරේ ජනතාව කෘෂිකර්මාන්තයෙන් යැපුණු පිරිසක්. මීට වසර ගණනාවකට පෙර උතුරේ නිෂ්පාදන තිබුණා. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ කෘෂිකර්මාන්තයයි. දැන් ඒ කිසිවක් ඔවුනට නැහැ. ඔවුන්ගේ ඉඩම්වල හමුදා කඳවුරු පිහිටුවලා තිබෙනවා. ඉතින් ඔවුන්ට කෘෂිකර්මාන්තයේ යෙදෙන්න අපහසුයි.

 
අනික උතුරේ තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය. පළාත් සභාවක් හැටියට අපට රැකියා ලබා දෙන්න බැහැ. මධ්‍යම රජයේ බලපෑම් නිසා. ඒකයි අපි ඉල්ලා සිටින්නේ පළෘත් සභා වලට දියයුතු බලතල ලබා දෙන්න කියලා. අපි මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින්නේ ඒ ඉඩම් නිදහස් කරලා ජනතාවට නැවත ලබා දෙන්න. අනික උතුරේ තරුණ තරුණියන්ට රැකියා ලබා දෙන්න කියලා. දැන් යුද්ධයක් නැහැනේ. ඉතින් ඇයි එතරම් හමුදාවක් රඳවා සිටින්නේ.  


ප්‍රශ්නය - නැවත යුද්ධයක් එයිද?  

පිළිතුර - කිසිම දවසක එවැනි අවාසනාවන්ත තත්ත්වයක් උදාවෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එවැනි දෙයකට අපි ඉඩ තියන්නේ නැහැ.  


ප්‍රශ්නය - උතුරු පළාත් සභාවේ ඇමැතිවරු පත්කිරීමේදී අර්බුදයක් මතුවුණා නේද?  

පිළිතුර - ඒ වසර 3 කට පමණ ඉහත දී සිදුවුණ දෙයක්. පළාතේ ඇමැතිවරුන් පත්කිරීමේදී යම්යම් ගැටලු මතුවුණා. නමුත් මගේ බලතල පාවිච්චි කරලා ඒ ප්‍රශ්නය විසඳුවා. දැන් අර්බුදයක් නැහැ. සෑම ඇමැතිකෙනෙක්ම පත්කළේ සුදුසුකම් පරීක්ෂා කරලා.  


ප්‍රශ්නය - ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය චෝදනා කරනවා පළාත් සභාවේ අර්බුදය ඇතිවුණේ ඔබතුමන්ගේ ක්‍රියාකලාපය නිසා කියලා?  

පිළිතුර - නැහැ. ඒක පිළිගන්න බැහැ. ඒක නිසා නොවෙයි. ඔවුන් මුලින්ම යෝජනා කළ කෙනාතමයි දැන් පත්කරලා තිබෙන්නේ. දැන් අර්බුදයක් නැහැ. ඇතැම් මාධ්‍යවලින් වැරදි දේවල් ප්‍රචාරය කරනවා. උතුරේ ඉන්නේ ත්‍රස්තවාදීන් කියලා. රට බෙදන්න යනවා. ත්‍රස්තවාදීන්ට අපි සහයෝගය ලබා දෙනවා කියලා. ඒවා වැරදි ප්‍රචාරයන්. යුද්ධය අවසන් වෙලා දැන් වසර කිහිපයක් වෙනවා. දැන් ඔයවගේ ප්‍රචාරයන් වැඩක් නැහැ.  


ප්‍රශ්නය - ඔබතුමන් එල්.ටී.ටී.ටී.ඊ. සාමාජිකයන් බලන්න පල්ලෙකැලේ සිර කඳවුරට ගියානේ ඇයි ඒ.  

පිළිතුර - ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඒගොල්ලන් එල්.ටි.ටී.ඊ කියලා මාධ්‍යය නේ කියන්නේ. මම කියන්නෑ ඔවුන් එල්.ටී.ටී.ඊ. කියලා. ඇතැම් අය මහ මඟ ගමන් කරපු අය. ඔවුන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන ඉන්නවා. ඔවුන්ට විරුද්ධව එකම සාක්ෂියක්වත් නැහැ. එකම දෙයයි තිබෙන්නේ. ඔවුන්ගේ පාපෝච්චාරණය, පොපෝච්චාරණය ගන්නේ කොහොමද කියලා කවුරුත් දන්නවා. අන්න ඒ පාපොච්චාරණය තබාගෙන නඩු කිහිපයක් දමනවා. ඔක්කොම නීතියට පටහැකිවයි කරන්නේ. මේ පිළිබඳ මට දැනගන්න ලැබුණා. ඒ අනුව මම ඔවුන්ව බලන්න ගියා. මොකක්ද ඇත්තටම ප්‍රශ්නය කියලා දැනගන්න. දැන් නීතිපතිතුමාට දැනුම් දෙන්න සිද්ධ වෙනවා. ඇත්තටම ඔවුන් නිකරුණේ රඳවා සිටීම පිළිබඳව.


ප්‍රශ්නය - චෝදනා නැති අයත් රඳවා සිටිනවාද?  

පිළිතුර - බොහෝ දෙනෙක් ඉන්නේ චෝදනා නැතිව. වැරැද්දක් නොකරපු බොහෝ පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ හමුදාවට හරි පොලිසියට හරි විරද්ධව හෝ නැතිනම් අවනත නොවීම යන කරුණු අනුව අත්අඩංගුවට අරගෙන ත්‍රස්තවාදී ලේබලය අලවනවා. ඒ වගේ හුඟදෙනෙක් ඉන්නවා.

 
ප්‍රශ්නය - ඔවුන්ව නිදහස් කරන්න ඔබතුමා ගත් පියවර මොනවාද?  

පිළිතුර - ඔවුන් බේර ගන්න අමාරුයි. නඩු අහන්න උසාවියට රැගෙන ගියාම උසාවියෙන් තමයි නිදහස් කරන්න ඕන. නමුත් ඔවුන්ගේ ප්‍රශ්න අපි සාකච්ඡා කරලා තිබෙනවා. ඒවා නීතිපතිතුමන් සමගත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.  


ප්‍රශ්නය - එහෙම සාකච්ඡාවකින් විසඳුමක් නොලැබුණහොත් ඔබ ගන්නා ඉදිරි පියවර මොනවාද?  

පිළිතුර - මෙතනදි ජාත්‍යන්තරයට ගොස් කරුණු ඉදිරිපත් කරලා වැඩක් නැහැ. ඔවුන්ට නඩු පවරලා අවසන්නේ. ඔවුන්ට අසාධාරණයක් වෙලා තිබෙනවා කියලා අපට පෙන්වලා දුන්නා. මේවා ඉතින් නීතිපතිතුමා එක්කත් සාකච්ඡා කරන්න අවශ්‍යයි. නැතිනම් අධිකරණය තුළින්ම සාකච්ඡා කරන්න අවශ්‍යයි. නැතිනම් ජනාධීපතිතුමන් සමඟ සාකච්ඡා කරන්නත් ඕනෑ.  


ප්‍රශ්නය - ඔබ ජනාධීපතිතුමත් සමග සාකච්ඡා කළාද?  

පිළිතුර - මම මේ පිළිබඳ සාකච්ඡා කළා. විසඳුමක් ලෙස මම කාරණා කිහිපයක් එම සාකච්ඡාවේදී පෙන්වලා දුන්නා. ඉතින් ගැටලුව තිබෙන්නේ යම් යම් ප්‍රමාදයන් පැවතීමයි.  


ප්‍රශ්නය - ඔබ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙක්. නීතිය පිළිබඳ අවබෝධයක් තිබෙනවා. මෙහෙම ඔවුන්ව රඳවා තබන්න පුළුවන්ද?  

පිළිතුර - බැහැ. කිව්වොත් කවුද පිළිගන්නේ? මම ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටියා නම් මේ පිළිබඳ සොයා බලනවා. දැන් එහෙම දෙයක් කරන්න බැහැනේ. ඉතින් ඒකට ක්‍රියාමාර්ගයක් තිබෙනවා. එක්කෝ නීතිපති උපදෙස් ලබාගන්න ඕනෑ. නැතිනම් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ යුතුයි. ඉතින් අපි සොයා බලනවා මොකක්ද ගතයුතු ඉදිරික්‍රියා මාර්ග කියලා.

 
ප්‍රශ්නය - දැනට එවැනි ක්‍රියාමාර්ගයක් අරගෙන තිබෙනවාද?

පිළිතුර - තවම නැහැ. දැන් තමයි මේ තොරතුරු ලැබෙන්නේ. මොකක්ද කරන්න ඕනෑ කියලා මම උපදෙස් දීලා ආවා. නීතිඥයකු මාර්ගයෙන් ඔවුන්ගේ විස්තර ලබාගෙන ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගතයුත්තේ කොහොමද කියලා මම උපදෙස් දුන්නා.  

ප්‍රශ්නය - ඔබ මල්වත්තේ මහානායක හිමි හමුවුණා නේද? මේ පිළිබඳත් සාකච්ඡා කළාද?  

පිළිතුර - මම මාස 6-7 කට කලින් තමයි මහානායක හිමියන් බැහැ දකින්න තීරණය කළේ. නමුත් යම් යම් කාරණා නිසා අතපසු වුණා. මේ සැරේ මහනුවරට යන්න සිද්ධ වුණාම මම මහානායක හාමුදුරුවෝත් බැහැදුටුවා. මල්වත්තේ මහා නායක හාමුදුරු​වෝ ඉතා සැහැල්ලුවෙන් අපිත් සමග සාකච්ඡෘ කළා. උන්වහන්සේ ඉතාමත් දැන උගත් යතිවරයාණන් කෙනෙක්. උන්වහන්සේ දේශපාලන කාරණා සම්බන්ධයෙන් වැඩිය කථෘ බහ කරන්න කැමති නැහැ. ඒ නිසා අපේ අනාථ වෙච්ච ළමුන්, වැන්දඹු කාන්තාවන් යුද්ධ කාලයේ තුවාල ලබපු අය පිළිබඳව සියලු තොරතුරු කථා කළා. උන්වහන්සේ දැනුම් දුන්නා අපිත් එක්ක එකතුවෙලා ඔවුන්ට සහනයක් ලබාදීමට හැකිබව. උන්වහන්සේ ඉතාමත් උනන්දුවෙන් මේ සම්බන්ධව සහාය ලබාදෙන බව ප්‍රකාශ කළා. ඒ පිළිබඳ ව්‍යාපෘති හදලා බාර දෙන්න කියලා ප්‍රකාශ කළා. පැයක් පමණ ඉතා සුහදශීලීව මහානායක හාමුදුරුවෝ සාකච්ඡා කළා.  


ප්‍රශ්නය - 20 වැනි සංශෝධනයට ඔබතුමාත් විරුද්ධද?  

පිළිතුර -විරුද්ධයි. යම් යම් සංශෝධන ගෙනෙනවා කියලා කියනවා. නමුත් අපි දන්නේ නැහැ. මොනවද සංශෝධන කියලා. දැන් නැගෙනහිර පළාතේ එයට සහාය පළකළා. මොකද මේ වසරේ නැගෙනහිර පළාතේ කාලය අවසන් වෙනවා. 20 සංශෝධනයට සහය පළකරන්නේ මෙය සම්මත වුණාත් ඔවුනට තව මාස කිහිපයක් බලයේ රැඳී සිටින්න පුළුවන්.  


ප්‍රශ්නය - 20 වැනි සංශෝධනයක් ආවොත් උතුරු පළෘතේ එය ප්‍රතික්ෂේප කරනවාද?  

පිළිතුර - අනිවාර්යයෙන්, ඒ කියන්නේ දැනට තිබෙන 20 වැනි සංශෝධනය හැටියට අපට එය බාරගන්න බැහැ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. නමුත් සංශෝධනය කරලා ඉදිරිපත් ක​ළොත් අපි ඒ ගැන බලලා තීරණයක් ගන්නවා. දැනට තිබෙන සංශෙ​ා්ධනය අපි භාරගන්නේ නැහැ. මොකද නීතියේ හැටියට පළාත් සභාවලට කාලසීමාවක් තිබෙනවා. අවුරුදු 5 ක් කියලා. 20 වැනි සංශෝධනය හැටියට තවත් පිරිසකට කාලය දීර්ඝ කරන්න පුලුවන්. තවත් කට්ටියකට ඒ කාලය අඩු කරන්න පුළුවන්. ඒකෙන් අපට තිබෙන අයිතිවාසිකම් නැතිවෙනවා. අනික එහෙම කළාට පස්සේ මැතිවරණයක් පවත්වන කාල සීමාවක් නිර්මාණ කරන්න බැහැ. ඒකාල සීමාවේදී පළාත් බලතල මධ්‍ය රජයට පවර ගන්නවා. එතකොට පළාත් සභාවේ කටයුතු මධ්‍යම රජයට ඉටුකරනවා. ඉතින් ඒක අසාධාරණයි. ඉතින් 13 වැනි සංශෝධනයෙන් ලබා දී තිබෙන බලතල සැහැල්ලුවට ලක්වෙනවා.  


ප්‍රශ්නය - වත්මන් රජයෙන් හෝ පසුගිය රජයෙන් උතුරට ලබාදී තිබූ දේවල් ප්‍රමාණවත් නැද්ද?  

පිළිතුර - මොනවද ලබා දීලා තිබෙන්නේ? පසුගිය රජය පාරවල් ටික හදලා දුන්නා. ඒ හමුදාවේ ප්‍රයෝජනයට. නමුත් ප්‍රධාන පාරෙන් ඇතුළට කිසිදු මාර්ගයක් නඩත්තු කරලා නැහැ.  


අනික උතුරේ වැන්දඹු කාන්තාවන් 89000 ක් පමණ සිටිනවා. ඔවුනට මොනවාද ලබාදිලා තිබෙන්නේ? අනාථ ළමුන් සිටිනවා. ඔවුනට මොනවාද කරලා තිබෙන්නේ? ඉඩකඩම් සියල්ල සම්පූර්ණයෙන්ම වගා කරන්න බැරි තත්ත්වයකයි තිබෙන්නේ. නිවාස අහිමි ඔවුන්ට ඉන්දියාවෙන් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරන්න පොරොන්දු වුණා. නමුත් අපි විරුද්ධ වුණා. මෙහෙ ජනතාවට එවැනි නිවාස ඔරොත්තු නොදෙන නිසා. අපිට කළයුතු දේවල් නිසි ලෙස කිරීමට රජයත් අසමත් වෙලා තිබෙනවා.

 
කිසිම දෙයක් ලබා දීලා නැහැ. කියන්න බැහැ. අපිත් සමඟ සහයෝගයෙන් වැඩ කටයුතු සිදු කරන්නැති එකයි ගැටලුව. අපෙන් අහලා කරන්න. අපිට අවශ්‍ය දේවල් ලබාදෙන්නේ නැහැ.  


ප්‍රශ්නය - මීළඟ පළාත් සභා මැතිවරණයට ඔබ යළීත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් වෙනවාද?  

පිළිතුර - ඒ ගැන මට මුකුත් ප්‍රකාශ කරන්න බැහැ. මම මේ තනතුරු අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක්වත් තනතුරු බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්වත් නොවෙයි. මට ආරාධනා කළොත් සලකලා බලනවා.  

 

 

 

 

සංවාද සටහන
නිශාන්ත කුමාර බණ්ඩාර