​වෙසක් දවසේ සල්ලි දන්සලක්


බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන උතුම් වෙසක් පො​හෝය දින රටපුරා විවිධ විදියේ දන්සල් පැවැත්වෙද්දී ටිකක් වෙනස් අමුතු දන්සලක් මාවනැල්ලේදී පැවැත්විණි. මෙම දන්සල සල්ලි දන්සලකි.   


මෙම පුණ්‍ය කටයුත්ත සිදු කරන ලද්දේ හිටපු සබරගමුව පළාත් සභා මන්ත්‍රී ඉඳුනිල් ශාන්ත ගුණසේන මහතා විසිනි. මාවනැල්ල අරණායක පාරේ පිහිටි ලෝල්ලේගොඩ සිය නිවස ඉදිරිපිටදී මෙම දන්සල පැවැත්වූයේ උදෑසන 9.00 සිටයි. දන්සල සඳහා ඔහුගේ නිවස ඉදිරිපිට ප්‍රධාන පාරේ එක් පසකින් දිගු පෝලිමක ලොකු කුඩා බොහෝ දෙනෙක් රැඳී සිටි අතර දෙමාපියන් සමඟ ගිය අතදරුවන්ට ද මෙහිදී සල්ලි දන්සලෙන් රුපියල් 100ක මුදලක් ලැබුණි. ඒ අතර ඇවිද යන්න බැරි වයෝවෘද්ධ අයත් දරුවන් විසින් දන්සල සඳහා සහභාගි කර තිබූ අතර එම වැඩිහිටියන් අත් දෙකෙන් අල්ලාගෙන පෝලිමේ පැමිණ මුදල් ලබා ගන්නා අයුරු දැක ගැනීමට ද හැකිවිය. මේ සියලු දෙනාට එක් අයකුට රුපියල් 100 බැගින් දන්සලෙන් මුදල් ලැබුණි.   


තමන්ගේ මියගිය පියා වන බී.ජී. ගුණසේන මහතා සහ බිරිඳගේ මියගිය ඥාතීන්ට මෙන්ම සියලු මියගිය ඥාතීන්ට පිං පැමිණවීම සඳහා මේ පිංකම අද දිනයේදී පවත්වන බව ඒ මහතා පැවසීය. 

 

 

 

ඡායාරූප හා සටහන 
මාවනැල්ල හෙම්මාතගම සමන් විජය බණ්ඩාර)