වසන්තයේ උදාව සමරන පර්සියානු නව වසර


 

 

  • පර්සියානු දින දර්ශනය ඍතු සතරකට බෙදී තිබෙනවා. සෑම ඍතුවක්ම මාස තුනකින් සමන්විතයි. මාර්තු 21 වසන්තයේ උදාව සටහන් වුණා. එදින සිට මාස තුනක් වසන්ත සමයයි. සුන්දරම ඍතුව මෙයයි. සොභා දහමේ විශිෂ්ට ආශ්චර්යයන් මිහිමත විහිදී යන කාල වකවානුවයි.

 

 

පසුගිය මාර්තු 21 වැනි දා සුපුරුදු ලෙස පාර්සි ජාතිකයෝ ඔවුන්ගේ නව වසර උත්සවශ්‍රීයෙන් සැමරුවා. පාර්සි භාෂාව කතා කරන සහ පාර්සි සංස්කෘතියට සම්බන්ධ ජන කොටස් ජීවත්වන සෑම ප්‍රදේශයකම මෙම සාම්ප්‍රදායික උත්සවය ජන ජීවිතයට සතුට සහ සිනහව එකතු කළා.


ඉරානය, ඇෆ්ගනිස්ථානය, තාජිකිස්තානය, අසර්බයිජාන්, තුර්කමනිස්තාන්, කිර්කසිස්තාන්, උස්බකිස්තාන්, තුර්කිය, පාකිස්තානය, ඉන්දියාව වැනි රටවල මෙන්ම ලෝකයේ අනෙක් රටවලත් මෙම නව වසර උදාව සනිටුහන් කරමින් උත්සව පැවැත්වෙනවා.


පර්සියානු දින දර්ශනය ඍතු සතරකට බෙදී තිබෙනවා. සෑම ඍතුවක්ම මාස තුනකින් සමන්විතයි. මාර්තු 21 වසන්තයේ උදාව සටහන් වුණා. එදින සිට මාස තුනක් වසන්ත සමයයි. සුන්දරම ඍතුව මෙයයි. සොභා දහමේ විශිෂ්ට ආශ්චර්යයන් මිහිමත විහිදී යන කාල වකවානුවයි.


අනතුරුව පැමිණෙන්නේ ගිම්හානයයි. ඇතැම් විට දරා ගැනීමට පවා නොහැකි තරමට අධික උෂ්ණත්වය පවතිනවා. පාසල්, සරසවි වාගේ ස්ථාන මේ කාලයට නිවාඩුයි. දිවා කාලය දිගයි. රාත්‍රිය කෙටියි.


ගිම්හානයේ මාස තුනෙන් පස්සේ උදාවෙන්නේ සරත් ඍතුව. මේ කාලෙට ගස්වලින් කොළ වැටෙනවා. වැහි බර කාලගුණයක් පවතිනවා. වාතය ටිකින් ටික සීතල වෙනවා. සරත් ඍතුව මාස තුනක් පවතිනවා.


ඉන් පසු උදාවෙන්නේ ශීත ඍතුව. හිම පතිතවී මුළු ප්‍රදේශයම සුදු වස්ත්‍රයෙන් පොරවා ගත් අන්දමට දිස්වෙනවා. චමත්කාරයි. මේ කාලෙට රාත්‍රිය දිගයි. දවල් කොටයි.
වසන්තය උදාවෙන්නේ සීත ඍතුව පහවී යනවාත් සමග මල් පිපිලා, ගස් දලු දාලා. ජීවිතය නැවත උදාවෙනවා වාගේ. සීතල නිසා සීමාවුණු ජන ජීවිතය නිදහසේ ගලා යන්න පටන් ගන්නවා.

 

 


නව්රුස් නමැති සම්ප්‍රදාය වසර දෙදහස් පන්සීයකට වඩා පැරණි කාලයේ සිටම පවතින දෙයක්. සොරොස්ත්‍රීයානු පසුබිමක් සහිත මෙම උත්සව මාලාව කලින් කලට ඔප්වෙමින් දැනට පවතින ඉහළ සංස්කෘතික ලක්ෂණයන් සහිතව වැජඹෙනවා.


ඉස්ලාමයේ ව්‍යාප්තියෙන් පසුව ද මෙම සම්ප්‍රදායය කිසිදු වෙනස්වීමකින් හෝ විකෘතිවීමකින් තොරව පැවැත්වෙනවා.


අවුරුදු උදාව සිදු වන ශුභ මොහොත මෙම සම්ප්‍රදායයේ වැදගත් අංගයක්. ආහාර වර්ග ගණනාවකින් යුත් තුරුනක් හෝ මේසයක් සකස් කරනු ලබනවා. පාර්සි භාෂාවෙන් ස අකුරෙන් පටන්ගන්නා නම් සහිත භාණ්ඩ හතක් එම මේසයේ ප්‍රදර්ශනය කෙරෙනවා. ඊට අමතරව ශුද්ධ කොරානයේ පිටපතක්, කණ්නාඩියක් මෙන්ම ජීවමාන බව සංඛේතවත් කරමින් මාළුවෙක් සහිත ජල බඳුනක් ද එකතු කරනවා.


පවුලේ අය එම තුරුන වටේ එකතු වී අවුරුදු උදාවට ආවේනික ආගමික වතාවත් ඉටු කිරීම, සුභ පැතුම් සහ තෑගි බෝග බෙදාගැනීම, වැඩිහිටියන්ට ගරු බුහුමන් දැක්වීම වැනි වතාවත් ඉටු කරනවා.


අවුරුදු උදාවට දවස් කීපයකට පෙර ගේ දොර අස්පස්කර ශුද්ධ පවිත්‍ර කිරීම නව වසරට සූදානම් වීමේ එක්තරා වැදගත් අංගයක්. මෙය සෑම ගෙදරකම සිදුවෙනවා. ගෙදරින් පිටකරනු ලබන අනවශ්‍ය පරණ බුමුතුරුණු, බඩුමුට්ටු, ඇඳුම් ආයිත්තම් සියල්ල එකතු කර රාත්‍රියක දී ගිනි තබන සිරිතක් පැරණි කාලයේ පැවතුණා. දැන් එය සමරනු ලබන්නේ ගිනිමැලයක් මොලවා ඒ වටා රැස්වී විනෝද වීමෙන්. විශේෂයෙන්ම මෙම වසර අවසන් විනෝදවීම සිදුවන්නේ වසරේ අන්තිම බදාදා රාත්‍රියේ. මෙම චාරිත්‍රය ‘චහාර් ශන්බේ සූරී’ ලෙස හඳුන්වනු ලබනවා. එහි තේරුම ‘බදාදා රාත්‍රී ගිනි මෙලවීම’ යන්නයි. මෙහි තිබෙන අනතුරු සලකමින් බොහෝ අය මීට සම්බන්ධ වෙන්නේ නෑ.


වසර උදාව සමගම නෑදෑ හිතමිතුරන් බැහැ දැකීම, ගමන් බිමන් යාම, සංචාරය කිරීම, ක්‍රීඩා සහ විනෝද උත්සව පැවැත්වීම යනාදිය සති දෙකක පමණ කාලයක් සිදුවෙනවා. නව වසරෙන් දහතුන් වැනි දවස උත්සව සමය අවසන් කරන දවසයි.


දහතුන් වැනි දවස සොභාදහම සමග ජීවත්වෙන දවසයි. එදා සැවොම එළිමහනේ, උද්‍යානවල සොභාදහම සමග ගත කරමින් සවස නිවසට ආපසු එනවා. ඒ සමගින් නව වසර සැමරුම් උළෙල අවසන් වෙනවා. පසු දින සිට නැවත සුපුරුදු දෛනික කටයුතුවල සැවොම නිරත වෙනවා.