රටක පරිපූර්ණ දියුණුවට ආධ්‍යාත්මික මිනිහෙක්


 

 

විදුඇසින් හා බුදු ඇසින් කරන විග්‍රහයකි. 


ආධ්‍යාත්මික මිනිසකු ලෙස මා විසින් හඳුන්වනුයේ එම ගුණයෙන් පරිපූර්ණ වූ මිනිසෙකි. රජකු, මැති ඇමැතිවරයකු, රාජ්‍ය නිලධාරියකු, කම්කරුවකු, ගොවියකු, සාමාන්‍ය පුද්ගලයකු, ගෘහනියක, හිඟන්නකු යනාදී වශයෙන් සමාජයේ විවිධ තරාතිරම්වල සිටින අය ආධ්‍යාත්මික මිනිසකු වෙනවා නම් ඔවුන් අතින් වැරදි වැඩ නොකෙරෙනු ඇත. අද මේ තරම් අපරාධ සිදුකරන්නේත් මිනිසාට සතා සිව්පාවුන්ට ගහකොළට හානි වන වැඩකටයුතු සිදු කෙරෙන්නේත් ආධ්‍යාත්මික මිනිසුන් නොමැති නිසාය. 


 විද්‍යා හා තාක්ෂණ දියුණුව විවිධ ක්ෂේත්‍රවල ඇතිවී තිබෙන නමුත් මිනිස් ගැටලු විසඳී ඇත්ද? භෞතික දියුණුව දස අත පෙනෙන්නට තිබුණත් මිනිසුන්ගේ සිත්වල සාමය, සතුට, සහනය, සැහැල්ලුව ඇතිවී තිබේද? 


 යමක් ඇතිවන්නේ එකම හේතුවකින් නොවේ. හේතු ගණනාවක ප්‍රතිඵලයක් වශයෙනි. බුදු දහම ද නා නා හේතුවාදයකි. ඒකහේතුවාදයක් නොවේ. මෙම අපරාධවලට ප්‍රධාන හේතුවක් ලෙස මා දකින්නේ කර්මය හා විපාකය පිළිබඳ මිනිසාගේ දැනීම අල්ප වීමය. බුදුදහම කොපමණ මෙය පිළිබඳ විග්‍රහකර ඇතත් මිනිසාගේ සන්තානය තුළ, ලේ ධාතුව මෙය නිසි ලෙස වැඩී ඇත්දැයි සැක සිතේ. 


ප්‍රමාණාත්මකව දියුණුවක් ආගමික අංශයෙන් ඇතිවී ඇතත් ආධ්‍යාත්මක මිනිසකු ඇතිවී ඇත්දැයි විටෙක සිතේ. ආධ්‍යාත්මික මිනිසුන් යම් ප්‍රමාණයක් රටේ ඇති නිසා මෙපමණකින් හෝ සිදුවන විනාශයට ප්‍රතිරෝධයක් වී ඇති බව කිව හැක. එම ප්‍රමාණය සුළු වුවද ආධ්‍යාත්මික මිනිසා නිසා ගහකොළ සතා සිව්පාවා මෙපමණකින් හෝ ඉතිරි වී ඇත. 
භෞතික විද්‍යාවේ සඳහන් වන නිව්ටන්ගේ තුන් වන නියමයට අනුව සෑම ක්‍රියාවකටම සමාන වූ හා ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත යන්න භෞතික දේට පමණක් නොව ආධ්‍යාත්මික තත්ත්වයන්ට පවා සමාන වන බව පෙනේ. කර්මවාදය ගැන සලකන විට සෑම ක්‍රියාවකටම සමාන, ප්‍රතිවිරුද්ධ, පමණක් නොව ප්‍රතික්‍රියාව අඩු හෝ වැඩි වශයෙන් සිදුවන බව යම් යම් සිදුවීම්වලින් අපට වටහාගත හැකි වේ. 


 බුදු දහමේ අහෝසි කම්ම යනුවෙන් සඳහන් වන ක්‍රියාවට ප්‍රතික්‍රියාව ශුන්‍ය වී ඇත. එයට හේතුව කුමක්දැයි විමසීමේදී පෙනී යන්නේ එය කම්ම නියාමයේ සහ ධම්ම නියාමයේ ස්වභාවය එසේ සිදුවන එක තමයි යන්නය. 


සෝවියට් දේශයේ පොපෝව් විද්‍යාඥ කණ්ඩායම අපේ සිතිවිලි හා චේතනා අනුව සිදුවන විපර්යාස ගැන පර් යේෂණ කරන විද්‍යාඥයන් පිරිසකි. ඒ අය අතරට ආචාර්ය ලුට්සියා පැව්ලෝවා, ආචාර්ය ගර්නාඩ් සර්ගයේව්, ආචාර්ය එඩ්වඩ් නම්මෝව්, ආචාර්ය ඉපොලිට් කෝගන් යන අය ප්‍රධාන වෙති.


 එලෙසම විද්‍යාඥ මාසල් වෝගල් අපේ වේතනාව ප්‍රබල ශක්තියක් නිකුත් කරන බව පෙන්වා දී ඇත. 


(The Secret Life of Plants - Peter Tompkins and Christoper Bird-Arkana-England 1991)


වෛර කිරීම වේවා, මෛත්‍රී කිරීම වේවා හුදෙක් ශරීරය තුළ උපදින සිතුවිල්ලක් පමණක් නොව අවකාශය හරහා විශ්වය හරහා ගමන් ගන්නා ප්‍රබල ශක්ති විශේෂයක් බව මෙම විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇත. වෛර සිතුවිලිවලින් තොරව මෛත්‍රී සිතුවිලි ඇති කරගැනීමෙන් තමන්ටත්, අනුන්ටත් ගහකොළ සතා සිව්පාවාවන්ටත් යහපතක්ම වන බව බුදුදහමේ සඳහන් වන දේ මෙම විද්‍යාඥයන්ගේ පර්යේෂණවලින් මොනවට ඔප්පු නොවන්නේද?


විද්‍යාඥයන්ට අනුව අප ඇතුළු මුළු පොළෝතලයම ශක්ති කිරණ තරංග සාගරයක ගිලී සිටිති. අපේ දෙනෙතට නොපෙනෙන මේ අනේකවිධ වූ කිරණ තරංගයන් අපව වසාගෙන සිටී. 


එහෙයින් අප කුමක් සිතුවත්, කීවත්, කුමක් කළත් එයට සාපේක්ෂව සියුම් තත්ත්වයක් හා නිමක් නැති ප්‍රතික්‍රියා සිදුවිය හැකි වේ. එලෙසම අපගේ සෑම ක්‍රියාවක්ම පරිසරයේ යම් ශක්ති සටහනක් ඇතිකරන බව චෙක් විද්‍යාඥයන්ගේ නිගමනයකි. බුදු දහමට අනුව කර්මයකට අද‌ාළ ප්‍රතික්‍රියාව අපට ඇතිවන්නේ ඒ අනුව බව පැහැදිලි වේ.


 හින්දු දර්ශනයට අනුව අපගේ සියලු තොරතුරු හැසිරීම්, සිතුවිලි කර්ම අාදිය ආකාශයික සටහනක් ඇතිකරයි. ඒ කර්මයන්ට අනුව (අතීත හෝ වර්තමාන) විපාක ලෙඩ රෝග ඇතිකරන බව එම දර්ශනයේ ද සඳහන් වේ. කර්මය හා ආකාශයික සටහන් අනුව තමාගේ අධිමානසික හැකියා තුළින් ලෝකයාට සුවිශේෂ මෙහෙයක් කළ බටහිර ලෝකය තුළ කර්ම බලය ගැන මහත් ආන්දෙ‌ා්ලනයක් ඇති කළ අයෙකි ඇමෙරිකන් ජාතික එඩ්ගා කේසි. 


(Many Mansions - Gina Cerminara A Signet Book Newyork U.S.A)


අධිමානසික නින්දකට වැටී තමන්ට ඉදිරිපත් කරන ​ෙරා්ගීන්ට එම රෝගයට හේතුව අතීත ජන්මවල ඔහු විසින් සිදුකර ඇති කර්ම නිසා බව පෙන්වා දී ඇත. රෝගය සුවකළ හැකි ප්‍රතිකාරය ද ඔහු නියම කර ඇත. ආශ්චර්ය වන්නේ ඔහු නියම කළ ආකාරයට කටයුතු කිරීමෙන් රෝගීන් සෑම දෙනාම සුවපත් වීමය. ලෙඩ රෝග පමණක් නොව ජීවන ගැටලුවලට හේතුව ද ඔහුගේ පෙර භවයේ ක්‍රියාකලාප නිසා බව ඔහු විසින් පෙන්වා දී ඇත. එවැනි සිදුවීම් සිය දහස් ගණනකින් දෙක තුනක් මෙසේ සඳහන් කරමි.


1. වයස 36 දී දෙකකුල් පණ නැති වී රෝද පුටුවක සරණ පැතූ කාන්තාවක් නීරෝ අධිරාජ්‍ය සමයේ උසස් කුල කතක ලෙස ඉපදී සටන්වලදී අතපය බිඳුණු අයට උපහාස, නින්ද‌ා කිරීම නිසා දැන් තමන් ද පක්ෂඝාතයට බිලි වී ඇති බව පෙන්වා දෙන ලදී.


 2. කුඩා කල සිටම ඇස් ඇන්ධ වූ අයකුට ඊට හේතුව බොහෝ ඈත කාලයක භවයකදී පර්සියාවේ ගෝත්‍රයක ඉපදී සටන්වලදී අසුවන සතුරන්ගේ ඇස් රත්වූ යකඩකූරුවලින් ඇන අන්ධ කිරීම නිසා බව පවසන ලදී.


3. සුන්දර මුහුණක් හා රමණීය අත්දෙකක් තිබෙන කාන්තාවක් එසේ වී ඇත්තේ පෙර භවයක එංගලන්තයේ කන්‍යාරාමයක සේවිකාවක් ලෙස සේවය කරන විට දෙමාපියන් නැති අසරණ දරුවන්ගේ සෙම් හොටු මල මුත්‍ර ආදිය තම අත් දෙකින්ම අරන් දමා සැහැල්ලු සිතකින් එම දරුවන්ට සැලකූ නිසා බව සඳහන් කර ඇත.


අබ්බගාතාදිය ඇති අයට සිනාසීමෙන්, නින්ද‌ා කිරීමෙන් අපත් එවන් අබ්බගාතයකු විය හැකි බවත් කේසි පෙන්වා දී ඇත. බරපතළ අනතුරකදී කිසිම තුවාලයක් නොලබා කෙනෙක් බේරෙන්නත්, තවත් කෙනකුට විපතක් සිදුවන්නටත් හේතුව කර්මයම බව ඔහු විසින් පෙන්වා දී ඇත. තමන්ට ජීවත් වන්නට හිතකර පරිසරයක් ලැබීම හෝ නොලැබීම, රෝගී බව හෝ නි​ෙරා්ගී බව ඇතිවීම, ප්‍රියංකර බව හෝ අවලක්ෂණ බව, ධනවත් බව හෝ දුප්පත් බව, තමන්ට ලැබෙන මව්පියන් දූ දරුවන් ආදිය කොයි දේත් ලැබීමට කර්මය ද කොටස්කරුවකු වන බව එඩ්ගා කේසිගේ වාර්තාවලින් පෙනේ.


මෙය බුදු දහම හා මොනතරම් දුරකට ගැළපෙන්නේ දැයි සිතාගත හැක. කම්මබන්දු, කම්ම පටිසරණ යනාදී වශයෙන් බුදුදහමේ කම්ම විභංග සූත්‍රවල සඳහන් වන කරුණු මොනතරම් දුරට සත්‍ය දැයි එම අත්දැකීම්වලින් මොනවට පැහැදිලි වන්නේද?


පුද්ගලයකුගේ භවාංග සිතත්, ආකාශික සටහනක් සහාය කරගෙන කෙනෙකුගේ ජීවිතයේ ඇති මෙම තොරතුරු තමාට කිවහැකි බව කේසි පවසයි. අපගේ පසුගිය භවයක් හි මතක අපගේ සිතේ අභ්‍යන්තරයේ භවාංග සිතේ රැඳී තිබෙන බවත් තවත් පුද්ගලයකුගේ භවාංග සිතට ඒ තොතුරු ලබාගත හැකි බවත් කේසි පවසා ඇත.


 දිගින් දිගටම ක්‍රියාත්මක වන විශ්වයේ මහා කැමරාව ලෙස ආකාශ ධාතුව හැඳින්විය හැකි බව ද ගුවන් විදුලියක් නියමිත තරංග මාලාවට යොමු කරන්නාක් මෙන් සිත මේ ආකාශික තරංගවලට යොමුවන සේ සංවේදී බව ඇති පුද්ගලයන්ට අනුන්ගේ මෙන්ම තමන්ගේ ද ජීවන තොරතුරු කිව හැකි බව කේසි තවදුරටත් පෙන්වා දී ඇත. භාවනාවේ දියුණුව සමග මෙම ශක්තීන් ලබාගත හැකි බවට බුදුදහමේ ඇති සඳහන මොනවාට ගැළපේද? යැයි සිතා බලන්න.


කර්මය පිළිබඳව සාකච්ඡා කිරීමේදී සිත හා මොළය අතර ඇති සම්බන්ධය ගැන ද දැනගැනීම ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි. සිතේත් මොළයේත් ඇති එකට බැඳුණ තත්ත්වය නිසා එහි ක්‍රියාවලියන් වෙන්වෙන්ව හඳුනා ගැනීම අපහසු වේ. සිත ශරීරයෙන් ඉවත් වූ විට මොළය ක්‍රියාවිරහිත වන අතර මොළය ක්‍රියාවිරහිත වනවිට සිත ශරීරයෙන් ඉවත් වේ. එය මනෝමය කය ආශ්‍රයෙන් පවතින බව මීට ඉහත මා විසින් ලියන ලද ‘මනෝමය කය පිළිබඳ මෑතකාලීන අත්දැකීමක්’ යන ලිපියේ සඳහන් කර ඇත. (2018 අගෝ. 26 - ඉරිද‌ා ලංකාදීප) 


කැනඩාවේ මැග්ගිල් සරසවියේ වෛද්‍ය පිල්ඩර් පෙත් ෆීල්ඩ් පවසන්නේ තමන් කළ ශල්‍යකර්මවලදී මොළයේ සමහර කොටස් ඉවත් කළත් සිතේ ක්‍රියාකාරීත්වය දිගටම සිදුවූ බවයි. (Out of Body Travel - S. Smith - Green Publication, 1965)


බුදු දහමේ පටිච්ඡ සමුප්පාදයේ සිත හා කය වෙන් වෙන් වශයෙන් දක්වන්නේ නැතිව එකටම සඳහන් වන්නේ නාම රූප එකක් වශයෙනි. එහි විද්‍යාත්මක පසුබිම ඉහත සඳහන් සිදුවීම් අනුව කොතරම් සැසඳේ දැයි බලන්න.


ආධ්‍යාත්මික මිනිසකු ඇතිකිරීමට මේ ජීවිතයේදීම පලදෙන කර්මය පිළිබඳව දැනගැනීම වැදගත් වනු ඇතැයි සිතමි. මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ ‘දිට්ඨ ධම්ම වේදනීය කර්මය’ (පස්වන මුද්‍රණය 2014 ගොඩගේ ප්‍රකාශන) පොතේ එන පර් යේෂණ සිද්ධි ගැන අවධානය යොමු කිරීම පාඨකයන්ට වැදගත් වනු ඇතැයි සිතමි. මේ පර්​ෙ‌ය්ෂණ ආරම්භ කර ඇත්තේ 1970 වර්ෂයේ පමණය. ආරම්භ වූයේ ඌරන් හා හරකුන් මරණ මිනිසුන් 48 දෙනකු අරභයාය. එම ​පොතේ පෙරවදනේ මෙසේ සඳහන් වේ.
 මේ 48 දෙනාගෙන් වැඩි දෙනෙක් 1980 වනවිට මියගොස් සිටියහ. ඔවුන් ඉතා දුක් විඳ මරණයට පත් වූ නිසා මරණ හා ප්‍රචණ්ඩව සතුන් මරණ මිනිසුන් එබඳුම මරණවලට ගොදුරුවන බව ඒ උපන්‍යාසය විය. ඒ ගළපාගෙන පර්​ෙ‌ය්ෂණයේ ඉදිරි කටයුතු කරගෙන ගියේය. ඒ 48 දෙනාගේ මරණය දක්වා ඒ උපන්‍යාස ප්‍රයෝජනයට ගත්තෙමු. 1999 වනවිට ඒ 48 දෙනාම මියගියහ.


 අපේ පර්​ෙ‌ය්ෂණයේදී අප යොද‌ාගත්තේ සමාජ විද්‍යා පර්යේෂණ උපක්‍රමයයි. විශේෂයෙන්ම නිරීක්ෂණය උපක්‍රමයක් වශයෙන් රැගෙන මිනිසුන් සතුන්ට වදහිංසා පමුණුවන හැටි ඔවුන් ඉන්නා තැන්වලට ගොස් අපි නිරීක්ෂණය කළෙමු. ඒ මිනිසුන්ගේ ජීවිත කාලය තූළදීම ඒ ක්‍රියාවලට ප්‍රතිඵල ලබාගත් බව අපේ නිරීක්ෂණවලින් පැහැදිලි විය. එසේ ප්‍රතිඵල ලබාගෙන දුක්විඳින මිනිසුන් ද අපි නිරීක්ෂණය කළෙමු.


 සතුන්ට දුක් දුන් මේ මිනිසුන් මළේ ද එ් සතුන්ට දුක්දුන් විලාසයෙන්ම දුකට පත්වීමෙනි. තමන් කළ අකුසල කර්මයෙන් මිදෙන්නට ඔවුන්ට නොහැකි විය.


 පුතාලා හා දුවලා, අම්මලා, තාත්තලා තළා පෙළා මරා විඳගත් දුක් ගැන මෙම පොතේ සඳහන් කර ඇත. ආනන්තරීය පාපකර්ම වුවත් මේ ජීවිතයේදී පල දෙන අන්දම ඒවායින් පැහැදිලි වේ.


 පොලිසියේ හා හමුද‌ාවේ ප්‍රචණ්ඩකම් හා කෲරකම් කළ පුද්ගලයන්ගේ ජීවිත ද අවසන් වූයේ කනගාටුදායක ලෙසය.


අනුන්ට කළ විපත් ආපසු ඔවුන් කරා පැමිණෙන හැටි මේ කතා තුළින් පැහැදිලි වේ.


 එම පොතේ 32 වන පරිච්දඡේයේ ඇත්තේ අලින් මැරූ මිනිසා අලින්ට කැපූ වළේ වැටී මරණයට පත් වූ හැටි යන්නයි.


ඇතුන්ගේ දළ කපා ඒ තුළ සැඟවුණු මැණික් (ගජමුතු) ලබා ගැනීමේ පිස්සුවක් ඔහුට තිබුණි. ඔහු ඇතුන් සොයා ගියේ කෙසේ හෝ දළ ඇති අැතෙකුගෙන් ගජමුතු ලබා ගැනීමටයි. කැලේ අලි සොයා උන් දඩයම් කරන්නට ඔහු පටන් ගත්තේය. එක් වතාවක ඇතෙක් මරා දළ කැපුවත් ගජමුතු ඒ තුළ නොවීය. ඇතා මළේ මිනිසා විසින් කපන ලද බොරු වළක වැටීමෙනි. බොරු වළේ වැටුණු ඇතාට ඔහු වෙඩි තැබුවේය. දළ කපාගත්තේ ඊට පසුවය.


ඔහු මිනිසුන් කීප දෙනකුත් සමග පතුරම් තුවක්කු කීපයක් ද ඇතිව ඇතුන් සොයා කැලයට ගියේය. දළ ඇති අැතෙක් ඇතුන් රැසක් පිරිවරාගෙන සිටියේය. මිනිසුන් ඈත එනවිටම ඌ කුංචනාද කළේය. ‘අඩමානයක් නෑ මූට නම් ගජමුතු ඇතැයි’ ඔහු සිතාගත්තේය. ඇතාගේ හඬ සමග අනිත් අලි දිව ගියහ.


ඔහු වෙඩිල්ලක් පත්තු කළේය. වෙඩිල්ල කාගෙන ඇතා දිව්වේය. ඌ පසුපසින් මිනිසා දිවීය. නමුත් ඌව අල්ලාගන්නට බැරි විය. ඊට පසු මිනිසා කළේ බොරු වළක් කැපීමය. එය යට උල් හිටුවා උඩින් කොළ අතු දමා වසන ලදී. බොරු වළට කිට්ටුව කිතුල් අතු හා කිතුල් කොටන් කීපයක් ද දැමුවේ ඇතා ඊට වසඟ කිරීමටය.


 දින කීපයකට පසු ඇතා හමු විය. ඌ බොරු වළේ වැටී සිටිනු දුටු ඔහු ඌට පතරොම් තුවක්කුවෙන් වෙඩි තැබීය. අලියා කුංචනාද කරමින් මියගියේය. ඊට පසු බොරු වළට බැස්ස ඔහු දළ කැපුවත් ගජමුතු හමුවූයේ නැත. මහත් ශෝකයෙන් හෙතෙම තවත් බොරු වළවල් කීපයක් තැනීය. ඒවා කපා වසා දමා හැමද‌ාම උදෑසන ඇවිත් බැලීම ඔහුගේ සිරිතය.
එක් වතාවක රාත්‍රියේ ඇතුන් සොයා යන ගමනේදී ඔහු මෙම බොරුවළක වැටුණි. එම වළේ තිබූ උල්වල ඔහුගේ කකුල් වැදී බලවත් ලෙස තුවාල විය. ඔහු කොතරම් වෑයම් කළත් බොරුවළෙන් එළියට ඒමට නොහැකි විය. දින ගණනක්ම තුවාල නිසා දුක්විඳ හෙතෙම සාගින්නේම මළේය. ගජමුතු සෙවීම නතර වූයේ මේ අන්දමටය. ඔහුගේ මළසිරුර පසුව කැලේදී හමුවූයේ කුණු ගඳ ගසන විටය. ඔහු කළ ක්‍රියාවට ප්‍රතික්‍රියාව ඇතිවූයේ එලෙසය.


බුදුදහමේ සඳහන් වන ආකාරයට ඔහු විසින් කරන ලද එම අකුසල කර්මයට ආත්ම සිය දහස් ගණනක් යනතුරු පලදීම සිදුවන්නේය.


 මෙම උද‌ාහරණ මා විසින් සඳහන් කරන්නේ මේවා සත්‍ය සිදුවීම් නිසා මේවා බලා තම තමාගේ ආධ්‍යාත්මය යහපත් ලෙස සාද‌ාගැනීමේ එකම අභිලාෂයෙනි.


එම පොතේ 46 වන පරිච්ජේදයේ ඇත්තේ තරුණ තරුණියන්ට වද දුන් පොලිස් නිලධාරියාගේ සිද්ධියය.


 1971 කැරැල්ල අවස්ථාවේ පුළුවන් තරම් තරුණ තරුණියන්ට, ලද සුළු අවසරයේදී පවා දුක්ගිනි දුන්න මිනිසෙකි. ඔහු කැරැල්ලට සම්බන්ධ අය අල්ලාගෙන ගොස් වධ දුන්නේය. සමහරවිට මොවුන් අතර අහිංසක අය ද වූහ. එහෙත් අහිංසකයන් වරදකාරයන්ගෙන් වෙන් කරන්නට ඔහුට උවමනාවක් නොවීය.


 අල්ලාගත් තරුණ තරුණියන්ට ශාරීරික වද දීම ඔහුට ප්‍රියය. කාමරයක හිරකරගෙන වතුරවත් බොන්නට නොදී තබාගන්නා ඔවුන්​ෙග් ඇඟිලි හා අවයව කපන ලදී. ඇඟේ මිරිස් අඹරා ගෑම කළේය. තවත් තැන් තුවාල කළේය. මේ සියල්ල කළේ තොරතුරු ලබා ගැනීමටය. ඒ සමඟම මේ වධදීම් කිරීමෙන් ඔහුට එක්තරා සියුම් ප්‍රීතියක් ද ඇති විය. ඒ ප්‍රීතිය අධික වූයේ අල්ලාගෙන ආ අයට පහර දෙන විටය. තමා පහර දී සවිශක්තිය ඇති භටයින් ලවා තවදුරටත් පහරදීම ද කරවීම ඔහුගේ සිරිතයි.


 1987-88 කාලය ඔහුට වඩාත් හිතකර විය. මේ කාලයේ මෙම නිලධාරියා ඉන් උපරිම ප්‍රයෝජන ගත්තේය. එක්තරා ප්‍රදේශයක පොලිසියක් ඔහුට භාර විය. ඒ පොලිසිය අවට ගම්වල විප්ලවකාරී තරුණ තරුණියන් සෑහෙන සංඛ්‍යාවකට ඔහු වද දුන්නේය. ඒ අතර මොනම විප්ලවයකටවත් සම්බන්ධ නොවූ අහිසංකයෝ ද වූහ.


මෙසේ වද දෙන ඔහුගේ සිහිය අවුල් වූවා සේ පෙනිණි. වද දීමේ සීමාවක් වටහා ගැනීමට ඔහුට නොහැකි විය. වධ ලබා මිය යෑමට ළංව සිටි අය දැක ඔහු වියරුවෙන් සිනාසුණේය. ගැහැනු ළමයි තම භටයින් ලවා දූෂණය කරවීය. අස්වාභාවික කටයුතු ද සිදුකළ ඔහු ඒවා බලමින් තෘප්තිමත් විය.


කැරැල්ල අවසන් වනවිට ඊට කෙළින්ම සම්බන්ධ සෑම දෙනාම වාගේ මිය ගියහ. මෙම පොලිස් නිලධාරියා අතින් ද සිය දහස් ගණනක් මරණයට පත් විය. කැරැල්ලෙන් පසු සිහිය නරක් වූ ඔහු නිවසට වී ප්‍රතිකාර ගත්තේය. ඒ ප්‍රතිකාරවලින් ප්‍රයෝජනයක් නැති වූයේ ඔහු ගෙදරදී ඉතා දඩබ්බර වූ බැවිනි. තමා ළඟට එන අයට බැණ වැදීමට ඔහු පටන් ගත්තේය. පොලිසියේ ඉහළ නිලධාරියකු ආවත් මෙසේ කඩා පැන්නේය. අන් අයට පහර දීමට ඉදිරිපත් විය. තමාට කෑම ගෙනවිත් දුන් තැනැත්තාට ගැසුවේය. අවිවාහකයෙක් නිසා ඔහුට සලකන්නට සිටියේ ඥාතීන් පමණය. මෙසේ ඔහු ගහන්නට හා බණින්නට ඉදිරිපත් වීම නිසා ඥාතීහු ද ඔහු ළඟට ඒමට අකමැති වූහ.


 ඊළඟට ඔහු මානසික ආරෝග්‍යශාලාවට යැවිණි. එහිදී ඔහුගේ දඩබ්බර පැවතුම් නිසා අතපය බැඳ තබන ලදී. ඔහු නිතරම කුණුහරුප කියා කෑගසන්නට පටන් ගත්තේය. අඬන්නට විය. ‘මාව මරන්නට මේ කොල්ලෝ එනවා බේරාගන්න කවුරුවත් නැද්ද?’ යැයි නිතර කෑගැසීය. තරුණයන් ගැන පුදුම බියක් ඔහු තුළ විය.


 ඔහුගේ මානසික අසනීපය සුවකළ නොහැකි විය. අත පය බැඳ සිටි ඔහු තමාගේ හිස බිත්තියේ ගසාගෙන තුවාල කරගත්තේය. පා දෙක ඇඳේ අතුල්ලා හම කඩා ගත්තේය. ඇඳ පුරා ජරා කරගත්තේය. මුත්‍ර හැමතැනම දැම්මේය. ඔහුට සැලකීම පවා කරන්නට ඉතා අමාරු විය. සේවකයෝ ද ඔහුට බියෙන් හා පිළිකුලෙන් ඔහු ළඟට ඒමත් ප්‍රතික්ෂේප කළහ.
 හෙතෙම ආහාරපාන ප්‍රතික්ෂේප කළේය. එ් නිසා ඔහුගේ ශරීරය කෘශ විය. වෛද්‍යවරුන් එන්නත් කළේ සේවකයන් ලවා ඔහු අල්ලාගෙන ඉතා අමාරුවෙනි. කලක් යන විට හේ ඇටකටු මිටියක් විය. කරගත් තුවාල නිසා ශරීරයේ බලවත් වේදනා ඇති විය. මෙසේ කායිකව හා මානසිකව අපමණ දුක් විඳ මියගියේ වයස හතළිස් ගණන්වලදීය.


 ඔහු කළ ක්‍රියාවට ප්‍රතික්‍රියා මොලොවදීම සිදුවූයේ ඒ අයුරිනි. මෙම              පර්​ෙ‌ය්ෂණ සිද්ධි 54ක් මෙම පොතේ අඩංගු වේ. ඒ අතරට ස්ත්‍රීන්ගේ පියයුරු කැපූ සෙබළා, යාපනයට ගිය යුද්ධ නිලධාරියා, හිසට පහරදී මිනිසුන් මැරූ සෙබළා, පගා රැගෙන මිනීමැරූ පොලිස් නිලධාරියා, අම්මා බොරු වළේ දැමූ පුතා, කුකුළු මාරයා ආදී වශයෙන් විවිධ අපරාධ කළ මිනිසුන් ඉතා භයානක ලෙස වධ විඳ මරණයට පත්වූ ආකාරය එහි සඳහන් වේ.


 යහපත් ක්‍රියාවලට යහපත් ප්‍රතිඵල ද, අයහපත් ක්‍රියාවලට අයහපත් ප්‍රතිඵල ද ඇතිවන අයුරු පැහැදිලි කිරීමට මා එම උද‌‌ාහරණ යොද‌ාගත් බව සඳහන් කරමි. කිසිම අයෙකුට හිත් රිදවීමක් ඇති නොකොට ක්‍රියාව හා ප්‍රතික්‍රියාව පැහැදිලි කිරීමට මම මේ සියලු දේ විස්තර කරන බව ඉතා කාරුණිකව පාඨකයා වෙත දන්වා සිටිමි.