මම මගේ අතීතය ගැන කියන්න ලජ්ජා වෙන්නේ නැහැ


අභියෝග ජයගත් මිනිස්සු

 

හිඟුරාන සමූහ ව්‍යාපාර ජාලයේ සහ 
“ලක්” නාමයේ මැවුම්කරු 
ලක්ෂ්මන් වසන්ත පෙරේරා

 

“මට මගේ අතීතය ගැන, යටගියාව ගැන කියන්න ලජ්ජාවක් නැහැ. මොකද ඇත්ත ඇති සැටියෙන් කියන්න මම කැමැතියි.”


“අතීතය ගත්තොත් හරිම අමිහිරියි, හරිම කටුකයි. අපේ පවුලේ ඔක්කෝම අම්මා තාත්තා එක්ක දාහතර දෙනයි. පිරිමි දරුවෝ හයයි, ගැහැනු දරුවෝ හයයි, අම්මයි - තාත්තයි. සහෝදර සහෝදරියන් දොළොස්දෙනකු සිටින ඒ පවුලේ එකොළොස්වැනියා මම. 


අපේ තාත්තා මියගියේ වයස 57ක් වගේ අඩු වයසකදී. තාත්තා රැකියාව කළේ රියැදුරකු ලෙසයි. තාත්තාගෙ මරණින් පසුව අක්කා රැකියාවකට ගියා සමුපකාරේ කළමනාකාරවරියක ලෙස. අනෙක් අක්කා පෙහෙකම්හලක වැඩ කළා. අයියා හෝටලයක සේවය කළා. අපේ පවුල එදා ගොඩනැගුණේ ඒ විදිහටයි. 


තාත්තාගෙ ගම ඉංගිරිය. අම්මා කැලණියෙ. ඒත් අපි පදිංචි වෙලා හිටියෙ මාතලේ. මම උපන්නෙත් මාතලේදී. ගමේ පන්සල එක්ක අපට තිබුණෙ පුදුමාකාර බැඳීමක්. දහම් පාසලෙන් ශික්ෂණය විනය ලැබූ බව කියන්න පුළුවනි. ඒ වගේම මහනායක, අනුනායක නාහිමිවරුන්ගේ සෙවණේ හැදී වැඩුණු බවත් කියන්න පුළුවනි.” 


ඔහු ඔහුගේ යටගියාව ගැන පැවැසීමට කිසිවිටෙකත් මැළි නොවන චරිතයකි. එදා දෙවැනි නිවෙස වූ පන්සල් භූමියේ සිට අධ්‍යාපන කටයුතු කිරීමට ඔහු නිරායාසයෙන්ම පෙලැඹ සිටියේ ගමේ පන්සල සහ ඔහුගේ ගෙදර අතර තිබූ බැඳීම නිසාය. 


“අපි අල, බතල, වට්ටක්කා, පොල් එක්ක කාලා හැදුණු මිනිස්සු” 


දුක ඉතා හොඳින් හඳුනන ඔහු විටෙක එලෙසින් ද සිහි ගන්වයි. හේ අන් කවරකුවත් නොවේ, ලක්‍ෂ්මන් වසන්ත පෙරේරාය. රටේ වැඩි දෙනෙක් වත්මනෙහි ඔහු හඳුනාගෙන සිටින්නේ මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලනඥයකු ලෙසය. එහෙත් අප මේ කතා කිරීමට සූදානම් වන්නේ ඒ දේශපාලනඥයා ගැන නොවේ. අභියෝග අභියෝග ලෙසින්ම සළකා, ඒවාට මුහුණ දී ජීවිතය ජයගත් ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ අපූරු මිනිසකු ගැන වූ කතාවකි. තවත් විදියකට කීවොත් දන්නා කෙනකු ගැන වූ නොදන්නා කකාවති. 


හිඟුරාන ඇග්‍රෝ, හිඟුරාන කන්ස්ට්‍රක්ෂන්ස්, හිඟුරාන ඩෙයරි ෆාම්, ලක් බ්‍රෑන්ඩ් ෆර්නිචර්, ලක් ස්ටීල්, සුප්‍රීම් ඇනිමල් ෆීඩ්ස්, සුප්‍රීම් මෙට්ල්, හිඟුරාන ඩිස්ටිලරීස්, රිවර් පාක් හොටෙල්, ලක් ජෙම්ස්, ලක් එෆ්.එම්. යන ඒ සියල්ලෙහි නිර්මාතෘවරයා වන්නේ ඔහුය. නොඑසේ නම් හිඟුරාන සමූහ ව්‍යාපාර ජාලයේ මහ බල කණුව වන්නේ ඔහුය. 


ඒ සියල්ල ගොඩනගාගෙන ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ව්‍යවසායකයකු ලෙස ඔහු පැමිණි ගමන අද මහ වෘක්‍ෂයක් සේ විහිදී - පැතිරී තිබුණ ද එදා ඔහු ජීවිතය පටන් ගත්තේ බිංදුවෙනි. එලෙසින් බිංදුවෙන් පටන්ගෙන පැමිණි ගමනේ යටගියාව ගැන ඔහු ආවර්ජනය කළේ මෙලෙසිනි. 


“දුප්පත්කම එක්ක බොහෝ වෙලාවට මිනිස්සුන්ට සමාජ අසාධාරණයට මුහුණ දෙන්න සිදුවීම, දුප්පත්කම නිසාම සිදුවන දෙයක්. මේ නිසා සමාජ අසාධාරණයට එරෙහිව සටන් කරන්න නම්, නීතිඥවරයකු වීම වඩා සුදුසු යැයි හිතුවා. 


විශේෂයෙන්ම සමාජ අසාධාරණය හමුවේ තැවෙන්නෙ දුප්පතුන්. ඒ අය වෙනුවෙන් පෙනී සිටීම මා කරන සේවයක් විදිහටයි හිතුවේ. 


මගේ පාසල් ජීවිතය ගැන කතා කළොත්, පටන් ගත්තෙ මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයෙන්. උසස් පෙළ කළේ විජය විද්‍යාලයෙන්. ඇත්තම කිව්වොත් එදා සටහන් ලියන්න හරියට පොතක්වත් තිබුණෙ නැහැ. බ්‍රවුන්පේපර් කොළවලින් හදා ගත්ත පොත්වල සටහන් ලිව්වා. චිත්‍ර අඳින්න පොත් නැතුව ගුරුවරුන්ගෙන් බැණුම් අහලත් තියෙනවා.” 


එලෙසින් පාසල් අධ්‍යාපනය හැදෑරූ ලක්‍ෂ්මන් වසන්ත ජීවිතයට වසන්තය උදාකර ගන්න නම්, ගොඩ යන එකම මග අධ්‍යාපනය යැයි විශ්වාස කළේය. අරමුණක් තිබීම පමණක් ඵල රහිත යැයි සිතූ ඔහු උත්සාහය එක්ක අරමුණක් ඇති කර ගත් බව කියයි. 


ඔහු එදා ඉඳලම සමාජය කෙරෙහි දැනුවත් වීමේ පිපාසයෙන් කටයුතු කළේය. අපේ ගමේ සෝමෙ අයියගෙ කඩේට ගිහින් උදෑසන පුවත්පත් කියවා රටේ තොටේ සිදුවන සියල්ල ගැන දැන ගැනීමේ ලොකු පිපාසයක් මට තිබුණේ. 


අධ්‍යාපනයෙන් ගොඩ යන්න නම් අරමුණක් විතරක් තිබිලා බැහැ. උත්සාහය තිබිය යුතුමයි. උත්සාහය නැත්නම් මොන දේ කළත් වැඩක් නැහැ. එදා මුලින්ම සරසවියට මම තේරුණේ කලා අංශයෙන්. ඒත් ඊට වඩා මට ගැළපෙන්නෙ නීතිඥ වෘත්තිය කියලා නිරන්තරයෙන්ම විශ්වාස කළා. ඒ අරමුණ ඔස්සේ උත්සාහවන්තව කටයුතු කළා. 
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය හැදෑරුවා. පසුව බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන අංශයෙන් ජාත්‍යන්තර කටයුතු පිළිබඳව ඩිප්ලෝමාව ලබා ගත්තා. නීති විද්‍යාලයට ඇතුළත් වුණේ ඉන් පසුවයි. නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන්නේ ඒ විදියට උත්සාහවන්තව ආ ගමනේ ඵලයක් විදිහටයි.”


නීතිඥවරයකු වීමට පෙර ලක්‍ෂ්මන් වසන්ත එදා ගත කළ ජීවිතය ගැන සඳහන් කළ යුතුම යැයි අපි හිතමු. ඔහුගේ ජීවිතයේ අතිශය තීරණාත්මක කාල වකවානුව වූයේ එකී සමයයි. 


“නීතිය ගැන හැදෑරීමට පෙර මුලින්ම මම හෝටලයක කැෂියර් ලෙස සේවය කළා. ඒ වෙනුවෙන් එදා මට ලැබුණෙ රුපියල් 1200ක මාසික වැටුපක්. 


ඉන්පසුව මහවැලි ව්‍යාපාරයට සම්බන්ධ කොත්මලේ මහවැලි මහාසෑ ව්‍යාපෘතියේ වැඩ පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළා. හැබැයි මේ වනවිටත් මම ක්‍රියාකාරී දේශපාලන කටයුතුවල නිරත වෙලා හිටියේ. එවකට අපේ මාමා කෙනෙක් හිටියා. එයාගෙ නම විජයරත්න. මාමා මහ නගර සභාව් උපසභාපති වෙලා හිටියා. මගේ දේශපාලන ගමන එදා තරුණ අවදියේදීම ආරම්භ වුණේ එයා එක්ක සමීපව කටයුතු කළ නිසයි. 


මුලින්ම ශාඛා සමිතිවල, තරුණ සංවිධානවල ක්‍රියාකාරීව සිටියා. 83 දී විතර අපි අරගල කරද්දී, සමහරු මාතලේ දාලා ගියා. තවත් සමහරු වෙඩි කාලා මළා. ඒත් අපි අපේ ගමන නැවැත්වූයේ නැහැ.


ශ්‍රී ල.නි.ප. ශාඛා සමිතියේ ලේකම්ව සිටියදී මාව මරන්න සිටින වගට දැන ගන්න ලැබුණා. ඒ අතරතුර මට කොළඹට පැනගන්න උදව් කළේ එවකට හිටපු සෞඛ්‍ය සේවා අතිරේක ලේකම්තුමා. එතුමා මගේ ජීවිතය බේරා ගන්න තැනක් ලැහැස්ති කරලා දුන්නා. කොටින්ම කිව්වොත් එදා මම කොළඹට ආවේ ගිලන් රථය පැදවූ පීටර් අයියාගෙ පිහිටෙන්. එයා මාව කොළඹ එක්ක ගෙන ආවේ එදා ගිලන් රථයෙන්. මට මරණ බය දැනුණු වාර අනන්තයි.” 


ලක්‍ෂ්මන් වසන්ත ඒ මතකය ගෙනහැර පෑවේ, ඉහළට දිගු සුසුමක් පිට කරමින්, නැවත උපන්නකු ලෙසය. පොළවේ ගැහුවත් මරන්න බැරි කෙනා මරන්නට බැරිය. එනයින් ජීවිතය යළි උපද්දවා ගත් ඔහු කොළඹ ඇවිත් මොනවද කළේ? 


“88 දී විතර කොළඹ ආවේ. අංක 21 බාවා පෙදෙස මම නවාතැන් ගත්ත තැනයි. එතැනට කිව්වෙ රත්න වෙද මැඳුර කියලයි. එවකට ශ්‍රී ල.නි.ප.යේ ප්‍රකට චරිතයක් වූ ආනන්ද වසන්ත නානායක්කාර මහතාගේ ස්ථානය එයයි. එතුමා හිටියෙ බත්තරමුල්ලෙ. ‘ඔයා මොනවද කරන්නෙ’ කියලා එතුමා මගෙන් ඇහුවා. ‘මම නීතිය හදාරණ සිසුවෙක්’ කියලා කිව්වා. ‘එහෙනම් මේ ආයතනය බලා කියා ගෙන ඉන්න’ කියලා එතුමා මට අවකාශය ලබා දුන්නා.” 


මහ ගසක් වූ චරිතයක් වෙතින් ලද උපකාර මත ඔහු කොළඹට පැමිණ නව ජීවන රටාවකට හුරු වූයේය. ඒ අතරවාරයේදී නීති විෂය හදාරමින් කටයුතු කළ පසු නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන් පසුව ජීවිතයේ තවත් අපූරු වෙනසක් සිදුවූ බව ඔහු කියයි. 


“එදා රත්න වෙද මැඳුරේ සිටියදී එතැනට බෙහෙත් ගන්න ආ ජ්‍යෙෂ්ඨ නීතිඥ රම්බණ්ඩා සෙනෙවිරත්න මහතා හඳුනා ගන්න ලැබුණා. ‘පුතා ලොකු ගසක් යට තමයි ඔයා ඉන්නෙ. ඒත් ලොකු ගස් යට සිටින තාක් පොඩි ගස් කවදාවත් හැදෙන්නෙ නැහැ. ඒ නිසා ඔයාගෙ ස්වාධීන ගමනක් පටන් ගන්න.’ කියා එතුමා මට කිව්වා. එතුමා යටතේ නීතිඥ වෘත්තියේ කටයුතු ආරම්භ කළේ ඉන් පසුවයි. එතුමා සමග නීතිඥ වෘත්තියේ නියැළෙමින් අධීකරණ, මහාධිකරණ සියල්ලෙහි නඩු සඳහා දායක වී විශාල පන්නරයක් ලබා ගන්න පුළුවන් වුණා. 


ටික කලක් ගිය පසු ස්වාධීන නීතිඥවරයකු ලෙස කටයුතු කරන්න පටන් ගත්තා. එවකට කොළඹ මහාධිකරණයට පැමිණ නීතිඥවරයකු ලෙස සෙනරත් ජයසූරිය ජ්‍යෙෂ්ඨ චරිතය සමග කටයුතු කිරීම නිසා ලබා ගත්තෙ දැනුම් සම්භාරයක්.” 


‘එතකොට ව්‍යාපාර ලෝකයට අවතීර්ණ වුණේ කොහොම ද?’ ඔහුගේ කතාවට මඳක් බාධා කරමින් අපි විමසීමු. 


“ව්‍යාපාර ක්ෂේත්‍රය ගැන අවධානය යොමු වුණේ රත්න වෙද මැඳුරේ සිටි කාලයේදීයි. රුපියල් පනස්දාහක මුදලින් පටන් ගත්තෙ. අපේ ලොකු අම්මා පදිංචි වෙලා හිටියෙ කැලණියෙ. මැෂින් පහක් අරගෙන ඩෙනිම් කලිසම් මහන ව්‍යාපාරයක් පුංචියට පටන්ගත්තෙ එතැනදි. ඒකට නම දැම්මෙ මෑන් වින් (Man Win) කියලා. ප්‍රාග්ධනය මදි වුණාම ලොකු අම්මගෙ ගෙදර උකසට තියලා තව ලක්‍ෂ දෙකක් අරගෙන තමයි ඒ ව්‍යාපාරය පටන් ගත්තෙ.” 


එලෙසින් ලක්‍ෂ්මන් “ලක්” යන නමට මුල්තැන දෙමින් පටන් ගත් ව්‍යාපාර ජාලය අද විවිධ ක්ෂේත්‍ර ඔස්සේ, නව ලොව නව තාක්‍ෂණය සමග ගමනක් යමින් සිටින මොහොතකි මේ. එහි ව්‍යාප්ත වීම ගැන සහ ව්‍යවසායකත්වයේ ජයග්‍රාහී ගමන ගැන ඔහුගේ අදහස් ගලා යන්නේ මේ අයුරිනි. 


“එදා මැෂින් පහකින් පටන් ගත් ඇඟලුම් අංශයේ ගමන, ඊළඟට හඳුන්කූරු නිෂ්පාදන දක්වා වර්ධනය කළා. ව්‍යාපාර ලෝකයේ අඩියෙන් අඩිය එලෙසින් අපි ඉදිරියට ගියේ එක රැයකින් නෙවෙයි. ඒ වෙනුවෙන් අපි නොසෑහෙන්න කැපවී උත්සාහවන්තව, ධෛර්යෙන් කටයුතු කළා. මේ සියල්ල කළේ නීතිඥ වෘත්තියේ නියැළෙන අතරවාරයේදීයි. 
අද වනවිට අපේ ලක් ස්ටීල් යටතේ අපි ලෝකයටම නිෂ්පාදන යොමු කර තිබෙනවා. ලෝකයේ තියෙන හොඳම තාක්‍ෂණය එක්ක භාණ්ඩ දේශීයව නිෂ්පාදනය කිරීම අපේ අරමුණයි. ලෝකයෙන් ආනයනය කරන භාණ්ඩ වෙනුවට අපේම රටේ දී ඉස්තරම්ම භාණ්ඩ නිපදවීම සහ ‘භාණ්ඩ නිෂ්පාදනය වෙතින් රැකියා නිෂ්පාදනය’ යන පරමාර්ථය ඇතිව ‘ලක්’ සලකුණ අපි ජාත්‍යන්තරයට රැගෙන යමින් සිටිනවා. 


මේ වනවිට ‘ලක්’ නාමය යටතේ ඇති ව්‍යාපාර ජාලය සතුව ලක් සහල් නිෂ්පාදනය ඇරැඹුවේ දේශීයව ගොවියාට ශක්තියක් වීමටයි. ලක් ෆර්නිචර් යටතේ අපේ භාණ්ඩ ජාත්‍යන්තරයට යොමු කිරීම වගේම ලක් ස්ටීල් යටතේ ලෝකයේ ඉස්තරම්ම ජිප්සම් නිෂ්පාදනය කරන්නෙ අපි කියලා සාඩම්බරව කියන්න පුළුවන්. තව නොබෝ දිනකින් අපි මෙරට කිරි ගොවියා නගාසිටුවීම වගේම දේශීය කර්මාන්තය නගාසිටුවීම උදෙසා කිරි නිෂ්පාදන ආරම්භ කිරීමට සියල්ල සූදානම් කරලයි තියෙන්නේ. 
ලක් ඩෙයරි ෆාම් වෙතින් ඒ කටයුත්ත සිදු වෙනවා. යෝගට්, ෆ්‍රෙෂ් මිල්ක් සහ බටර් වැනි බොහෝ දේ නිෂ්පාදනය කිරීම එයින් සිදුවෙනවා.” 
ව්‍යවසායකත්ව ලෝකයේ වසන්තය උදාකරගත් ඔහු වේගවත්ව එලෙසින් සියල්ල කියාගෙන යයි. මේ සියල්ල කරගෙන යාමේදී නිරන්තරයෙන් අභියෝගවලට මුහුණ දුන් බව ද ඔහු සඳහන් කරයි. 


ඔහුගේ ‘ලක්’ නාමය යටතේ ලක් FM ආයතනය ඇතුළුව ව්‍යාපාර අංශ 12ක් පමණ ව්‍යාප්තව ඇති අතර එක්දහස් හයසියයකට අධික පිරිසකට ඒ මගින් රැකියා විවර වූ බව ද කියයි. 


“දේශපාලනය ගාවා නොගෙන අපේ ගැම්ම එක්ක තමයි අපි ඒවා ගොඩ නගමින් සිටින්නෙ” යැයි හේ විශ්වාසය තහවුරු කරන්නේය. 


“අපි ජනතාවට දෙයක් ලබාදීලා රටක් හදන්න හදන මිනිස්සු” එලෙසින් මුමුනන ඔහු මොන වගේ චරිතයක් ද? 


“අභියෝග එක්ක ඒවාට මුහුණ දී නොසැලී ගමනක් යන චරිතයක්. අභියෝග කියන දේ නිරන්තරයෙන් මතුවන දෙයක්. අද තියෙන අභියෝගය නෙවෙයි හෙට තියෙන්නේ. ජයගන්න හදනකොට අපිව වට්ටවන්න තව පිරිසක් ඉන්නවා. 
එදා මම දේශපාලනයට එනවිට මට වට කරලා ගැහුවා. හැබැයි මම පැරෂුට්කාරයෙක් නෙවෙයි. මාතලේ ඒ මට ගහපු අයටත් කලින් මම දේශපාලනයට ආවේ. මරණ වරෙන්තුව අතේ තියන් ජීවිතය පරදුවට තබා ආ කෙනෙක්. එහෙම ආපු මම දේශපාලනයයි, ව්‍යාපාරයයි එකට ගාවාගත්තෙ නැහැ. දේශපාලනය වෙතින් එක පර්චසයක්වත් මම අරගෙනත් නැහැ. 


ලක්‍ෂ්මන් වසන්ත කියන්නෙ ඉතාම පොඩි තැනකින්, අනේක විධ දුක් විඳ ආ චරිතයක්. එදා පාසල් යන කාලයේදී අපේ අම්මා ඉඳිආප්ප ආප්ප වගේ කඩයප්පම් හදලා අපට දුන්නා. අපි ගිහින් ඒවා රෝහල අසල විකුණනවා. එහෙම කරලා තමයි පාසලට ගියේ. මේ දුක ගැන කියලා මට මාව මාර්කට් කරන්න ඕනෑ නැහැ. හැබැයි බොරුවට රඟපාන්න මම කැමැති නැහැ.”


ඔහු එසේ පවසන්නේ තම හෘද සාක්‍ෂියට එකඟව යැයි ශපථ වෙයි. එදා තමා ප්‍රාදේශීය දේශපාලනයේ සිට ප්‍රධාන දේශපාලන ව්‍යුහයට පැමිණියේ සීලරත්න සෙනරත් මහතාගේ මග පෙන්වීම මත හිටපු ජනපති සහ වත්මන් ජනපතිගේ ආශිර්වාදයෙන් යැයි සිහිගන්වන්නේ මුල මතක මිනිසකු වග ශපථ කිරීමටය. 


මෙලෙසින් ලෝකෙට අද චරිතයක් වී සිටින මේ ලක්‍ෂ්මන් වසන්ත ගෙදරට මොන වගේ චරිතයක් ද? ගෙදර තොරතුරු මොන විදිය ද? ඊළඟට අපි විමසීමු? 


“මගේ බිරිඳගෙ නම අසිකා එදිරිසිංහ. එයා ජයවර්ධනපුර සරසවියේ උපාධිධාරිනියක්. එයාගෙ පියා ගුරු උපදේශකවරයෙක්. මව ඉංග්‍රීසි භාෂා ගුරුවරියක්. අයියා ඉංජිනේරුවරයෙක්. උගත් පවුලකින් පැවැත එන මගේ ආදරණීය බිරිඳ හරිම නිහතමානී පිනට දහමට මටත් වඩා ළැදි චරිතයක්. 


අපි දෙන්නාට පුතුන් දෙදෙනයි. ලොකු පුතා උදුල, දෙවැන්නා දිලීප. විදේශීයව ඒ දෙන්නාට අධ්‍යාපනය ලබා දෙන්නේ ඒ ලබන දැනුමින් ලෝකයට වැඩක් කරවන්නට නෙවෙයි, අපේ රටට වැඩක් කරවීමටයි. මම කියන්නෙ එයාලට දොස්තර ඉංජිනේරු වීම හොඳයි. නමුත්, ඊට වඩා ප්‍රායෝගික වන්නේ අපේ රටට නිර්මාණාත්මක දේ සොයා ගන්නා මිනිසුන් වීම කියලයි. 


ලංකාවේ අද අපට වෙලා තියෙන්නෙ අපේ බුද්ධිමතුන් රට ගිහින් ඉගෙන ගෙන, ඒ රටවලටම සේවය ලබා දීමයි. මේක ලෝකයේ මහා පුදුම රටක්. විස්මිත මිනිස්සු සිටින රටක්. 
ඒ උගත් මිනිසුන්ට මේ රටේ කරන්න දෙයක් නැහැ. එයාලගෙන් වැඩ ගන්න පරිසරයක් මෙහේ හදලා නැහැ. මම මගේ දරු දෙදෙනාට කියලා තියෙන්නෙ ඉගෙන ගෙන ඇවිත් මේ රටට සේවයක් කරලා මේ රටට විදේශ විනිමය ගෙනැල්ලා දෙන්න කියලයි. ජාතියක් හැටියට අපට නැගී සිටින්න පුළුවන් වෙන්නෙ එවිටයි.”


ව්‍යවසායකත්වය, දේශපාලනය, නීතිඥ වෘත්තිය යන මේ සියල්ල අතරේ නියැළී සිටිමින් එලෙස අදහස් දක්වන ඔහු මේ සියල්ල සඳහා කාලය වෙන් කරගන්නේ කොහොම ද? ජීවිතය කියන්නෙ මොකක් ද? ඊට ඔහු අදහස් මුදාහැරියේ මෙලෙසිනි. 


“මම ලොකු ධාරිතාවක් තියෙන කෙනෙක්. සියලු දේ පටලවා නොගෙන හොඳින් කළමනාකරණය කරන්න මට පුළුවනි. උදේ පාන්දර පහට අවදි වී රාත්‍රී 11 දක්වා මම ක්‍රියාත්මකව සිටිනවා. 


ජීවිතයේ අපි ඒ විදියට කැප කළ යුතුයි. අපි උපදිනකොටම රැගෙන එන්නේ මරණය. මේක තාවකාලික ගමනක්. මේ එන ගමනේදී හැකිතාක් පිනක් කරගෙන, හැකිතාක් සමාජ සේවයේ යෙදිලා, ලැබෙන තරමට දන්දීම මගේ ජීවිතයේ අරුතයි.” 


එතකොට 12 දෙනෙක් සිටින පවුලේ බැඳීම මොන වගේ ද කියලා අන්තිමට අපට කිව්වොත්? 


“අපි සහෝදර සහෝදරියන් දොළොස්දෙනාගේ පවුලේ ඔක්කෝම හතළිහක් විතර පිරිවරක් අද සිටිනවා. හැකිතාක් දුරට ඒ අයගේ දුක සැප බලනවා වගේම අපේ ඒ බැඳීම එදා සිට තිබෙන දෙයක්. 


මගේ පවුලේ අයගේ ඒ අඩුපාඩුකම් යුතුකම් සියල්ල ගැන මටත් වඩා සොයා බලා කටයුතු කරන්නේ මගේ බිරිඳයි. ඇත්තටම මගේ බිරිඳ කියන්නෙ හරි උතුම් කාන්තාවක්. හරිම ගුණ යහපත් කාන්තාවක්. මට මේ සියල්ලට වඩා වටින්නෙ ඇයගෙන් ලැබෙන අවබෝධයයි. අද මට සමාජයට යම්තාක් දුරකට යමක් කරන්න නිදහස ලැබී තිබෙන්නෙ ඇයගේ අවබෝධය නිසයි. ඒ වගේම මට තවත් දෙයක් කියන්නම ඕනෑ. අපේ ගරුතර මහා සංඝරත්නය ගැන වගේම, අපේ ආගමික සිද්ධස්ථාන එක්ක මට තියෙන්නෙ විශාල බැඳීමක්. 
ඒ විතරක් නෙවෙයි. අන්‍ය ආගමික මව්ලවිතුමාලා වගේම කතෝලික පූජකතුමන්ලා සියලු දෙනා එක්කත් තියෙන බැඳීම ඉහළයි. රටක් හැටියට ගොඩනැගෙන්න අපට ඒ බැඳීම ඉතා අත්‍යවශ්‍යයි. 


මම මගේ ආගම උදෙසා බොහෝ දේ සද්භාවයෙන් පිරිනැමීම නිරන්තරයෙන් කරන දෙයක්. ඒ ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. ජනතාව දන්නවා. දන්දීලා මා ලබන සතුට අපමණයි.”

 

 

සටහන හා ඡායාරූප 
සඳුන් ගමගේ