මන්නාරමේ මිනීවළේ මළ සිරුරු කාගේද ?


දැනට සිරුරු 231ක කොටස් හමුවෙලා

 

වසර ගණනාවකට ඉහතදී සිදුවූ මැලේරියා වසංගතය, මෑතකදී සිදුවූ සුනාමි ව්‍යසනය සහ යුද්ධය මෙරට සිටි වැසියන් සිය ගණන් දහස් ගණන් අකලට මිලින කළ ඛේදවාචකයන්ය. ඇතැම් අවස්ථාවලදී මෙසේ මියගිය බොහෝ පිරිස් සමූහ ලෙස භූමදාන කර ඇත්තේය. ඊට සාක්ෂි සපයමින් විවිධ අවස්ථාවලදී වළදැමූ මිනීවල ඇටසැකිලි මතුව එන්නේය.


මන්නාරමේ සතොස ගබඩා සංකීර්ණය ඉදිකිරීමට යාමේදී මතුවූ මිනී වළේ ​ෙශ්ෂයන් සෙවීම තවමත් සිදුවෙයි.


මේ පිළිබඳව තවමත් කැණීම් කටයුතු සිදුවෙමින් පවතින අතර එහි නියමුවන් ලෙස කැලණිය සරසවියේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ මහාචාර්ය රාජ් සෝමදේවයන් හා විශේෂඥ අධිකරණ වෛද්‍ය දමින්ද රාජපක්ෂ මහතා කටයුතු කරති.


තරුණ, මහලු හා ළමා ඇටසැකිලි රාශියක් මතුව ඇති මන්නාරම මිනීවළ පිළිබඳව සමාජයෙන් විවිධ කතාබහ ඇහෙද්දී එහි සැබෑ ලෙස දැනට අනාවරණය කරගෙන ඇති තතු කෙසේදැයි දැන ගැනීමට මහාචාර්ය රාජ සෝමදේවයන් හා සංවාදයේ යෙදුනෙමු. ඔහු මන්නාරම සමූහ මිනීවළේ වත්මන් කැණීම් කටයුතු සිදුවන්නේ කෙසේද? අනාවරණය කරගත් තොරතුරු මොනවාද?


මන්නාරම සමූහ මිනීවළේ කැනීම් කටයුතු සහ විමර්ශන කටයුතු මැයි 29 සිට සිදු කරගෙන යනවා. ඒක භාරව වැඩ කරන ප්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කරන්නේ මන්නාරම මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය දමින්ද රාජපක්ෂ මහත්තයා. ඒ යටතේ ලංකාවේ විවිධ පළාත්වල අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් ද විටින් විට සහභාගී වෙනවා. ඒ වෛද්‍ය විද්‍යාත්මක විමර්ශන කටයුතු කිරීම සඳහායි. මම කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් මේ විමර්ශන කටයුත්තට සහභාගී වුණා. ඒ වෝහාරික පුරාවිද්‍යා විමර්ශන සඳහා. එහිදී මෙම ස්ථානයේ සිද්ධ වෙලා තිබෙන සිද්ධිය කුමක්ද කියන එක අර්ථදැක්වීමත් මේක යම්කිසි කාල රාමුවකට අයත්දැයි විමර්ශනය කිරීමත් තමයි මගෙන් බලාපොරොත්තු වෙන්නේ.


අපි දැන් දින 100 ඉක්මවලා වැඩ කටයුතු කරලා තිබෙනවා. මේ වෙනකොට ඇටසැකිලි 231 මිනී වළෙන් ඉවත් කරලා තිබෙනවා විශ්ලේෂණය සඳහා. තවම අවසන් වෙලා නෑ ඇටසැකිලි ඉවත් කිරීමේ කටයුතු. ඉවත් කිරීමට ඇති ඇටසැකිලි යම්කිසි ප්‍රමාණයක් තියෙන බව අපට පෙනෙනවා. මේ ඇටසැකිලි සමග අපට යම් යම් ද්‍රව්‍ය ලැබිලා තිබෙනවා. වළන් කටු කෑලි, පෝසිලේන් කෑලි, ගල් අඟුරු, මැරිච්ච අයගේ අත්වල ඇඟිලිවල කකුල්වල ඇඟිලිවල පැළඳගෙන හිටපු ලෝහ මුදු වගේ දේවල් ලැබිලා තිබෙනවා.


ඒවා එකක්වත් තාම අපි විශ්ලේෂණය කරලා නෑ. කැනීම් අවසන් කරාට පස්සෙයි අපි මෙවැනි විශ්ලේෂණ කටයුතු පටන් ගන්නේ. කැනීම් කටයුතු අවසන් කරලා මාසයක පමණ කාලයක් ඇතුළත මේ සිද්ධිය පිළිබඳව මගේ වෝහාරික පුරාවිද්‍යාත්මක වාර්තාව මන්නාරම මහේසත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරී රාජපක්ෂ මහත්තයත් ජීව විද්‍යාත්මක හා වෛද්‍ය විද්‍යාත්මක වාර්තාවක් ඉදිරිපත් කරනවා. අවසාන වාර්තාව මගේ වාර්තාවත් විශේෂඥ වෛද්‍ය නිලධාරිතුමාගේ වාර්තාවත් දෙකම එකට සම්පින්ඩනය කරපු තනි වාර්තාවක් ලෙස ඉදිරිපත් කිරීමට බලපොරොත්තු වෙනවා. ඊට අමතරව මමත් දමින්ද රාජපක්ෂ මහතාත් එකතුවෙලා මිනී වළෙන් ලබාගත් නියදි විදේශ විද්‍යාගාර පරීක්ෂණ සඳහා යැවීමට කටයුතු කරනවා. එය කරන්නේ අධිකරණ අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ නීතිරීතිවලට අනුවයි. එම ක්‍රියාවලියෙන් මෙම ඇටසැකිලිවල විද්‍යාත්මක කාල නිර්ණය තවදුරටත් තහවුරු කළ හැකියි.


සොයාගත් ඇටසැකිලි අතර ළමා ඇටසැකිලි කොපමණ ප්‍රමාණයක් තිබෙනවද?


කුඩා ළමයින් 18 දෙනකුගේ ප්‍රමාණයක් දැනට සොයාගත් ඇටසැකිලිවලින් නියෝජනය වෙනවා. අනිත් අය ඔක්කොම තරුණ සහ වැඩිහිටි කණ්ඩායමට අයිති වෙනවා.


මන්නාරම පුරවැසි කමිටුවේ අදහස වී ඇත්තේ පිට ස්ථානයකින් ගෙනත් දැමූ පුද්ගලයන්ගේ ඇටසැකිලි වියහැකි බවයි. එය එසේ විය හැකිද?


ඕක ගැන එක එක්කෙනාට ඕනෑ ඕනෑ දේවල් කියන්න පුළුවන්. ඒත් මන්නාරම වගේ දුෂ්කර ප්‍රදේශයකට ඇවිත් මිනී වළක බැහැගෙන දින 100ට අධික කාලයක් මේ පරීක්ෂණය විනිවිදභාවයකින් සිදු කරන්නේ අපි. එය කරන්නේ කෙසේද කියන එක ගැන අපට වැටහීමක් තිබෙනවා. අපේ මිනිස්සු හඳ දිහා බලලා කිව්වා හ​ෙඳ් හාවෙක් ඉන්නවා කියලා. නීල් ආම්ස්ට්‍රෝං තමයි කිව්වේ හඳේ ආවාට තිබෙන බව. ඒ නිසා ඕනෑ කෙනෙක් ඕනෑ දෙයක් කියපුදෙන්. අපි අපේ රාජකාරිය නිවැරදිව සිදු කරනවා.


සොයාගත් තොරතුරුවලට අමතරව පරීක්ෂණ කටයුතු කිරීම සඳහා තව භූමි ප්‍රමාණයක් තිබෙනවාද?


ඔව්. දැනට පරීක්ෂණ කරලා තිබෙන ප්‍රමාණයට අමතරව සියයට හතළිහක, පනහක ව​​ගේ ප්‍රමාණයක් ඉතිරි වී තිබෙනවා. කැනීම් කළ ප්‍රදේශයෙන් ඇටසැකිලි 231ක් පමණ සොයාගත් නිසා පරීක්ෂා කිරීමට ඉතිරිව ඇති ප්‍රදේශයේත් සැලකිය යුතු ඇටසැකිලි ප්‍රමාණයක් ඇති කියා සිතනවා.


අද වනවිට ඇති ​නෛතිකමය තත්ත්වය කෙබඳුද?


අධිකරණයේදී හැමදාම මොකද වුණේ කියන තත්ත්වය අහනවා. අපි සොයා ගන්නා තොරතුරු ඉදිරිපත් කරනවා. මීට වැඩිය තොරතුරු මාධ්‍යයට දෙන්න බෑ. සියලු කටයුතු අවසන් කර අවසන් වාර්තාව ඉදිරිපත් කර අවසන් තීන්දුව දුන්නාට පසු වැඩි විස්තර කතා කරන්නම්.

 

 

 

සටහන - කුමාරි ​හේරත්