ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ සමාජ සේවය



අවුරුදු අසූවස සිය ජිවිත කාලය තුළ අවුරුදු එකසිය හැටක් ජීවත් වූවෙකුටවත් කළ නොහැකි තරම් කාර්යභාරයක් සම්බුද්ධ ශාසනය වෙනුවෙනුත් රට දැය වෙනුවෙනුත් ඉටුකළ බුද්ධ පුත්‍රයෙකු ලෙස අපවත් වී වදාළ ගිරාඹේ ආනන්ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනාහිමියෝ ලක්වැසි ජනතාව අතර ගෞරවාදරයට පාත්‍රව සිටියහ.   


තම බුද්ධියෙන් ශ්‍රමයෙන් හා ධනයෙන් සැමට සේවය කළ උන්වහන්සේගේ දශක අටක ජීවිතයේ සාර්ථකත්වය එඩිතරකම හා නොපසුබස්නා උත්සාහයයි. යම් දෙයක් කළ යුතු යැයි සිතුවොත් කවර තරාතිරමක බලවේගයක් ඊට එරෙහිව නැගී සිටියද ඒ හැම බලවේගයක්ම යටපත් කරගෙන තම අරමුණ මුදුන් පමුණුවා ගැනීමට තරම් ආත්ම ශක්තියක් උන්වහන්සේට තිබුණි. මනා පෞරුෂයකින් හෙබි අඩි හයක් ඉක්මවූ ලෙසින් යුතු උන්වහන්සේගේ දේහය ද ඕනෑම තැනකදී නිතැතින්ම උන්වහන්සේට නායකත්වය හිමිවීමට බලපෑවේය.   


පේරාදෙණියේ ශ්‍රී සාරානන්ද පිරිවෙන ආරම්භ කළ සිය ගුරු දේවෝත්තම අතිපූජ්‍ය සියඹලන්ගමුවේ ගුණරතන අනුනාහිමියන්ගේ අඩි පාරේ යමින් නාරම්මල සීලවතී පිරිවෙනත් අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙනත් ආනන්ද හිමියන් විසින් ආරම්භ කළහ. එම පිරිවෙන් තුළින් අධ්‍යාපනය ලැබූ දෙස් විදෙස් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා දහස් ගණනක් ලොව පුරා දහම් ප්‍රචාරයේ නිරතව සිටිති.   


 1938 වසරේ මැයි මස 19 වැනිදා පොල්ගහවෙල, ගිරාඹේ ගම්මානයේ ඉපිද 1949 වසරේ අගෝස්තු මස 26 වැනිදා පේරාදෙණියේ සාරානන්ද විහාරයේදී පැවිදි දිවියට ඇතුළත් වූ ගිරාඹේ ආනන්ද සාමනේර හිමියෝ 1958 වසරේ ජූලි මස 10 වැනිදා උපසම්පදාව ලැබූහ. ඒ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වැල්ලව දැදුරුඔයේ උදකුක්ඛේප සීමා මාලකයේදීය.   


 දේශපාලන කටයුතුවල ක්‍රියාකාරීව නිරතවීම නිසා එක්සත් ජාතික පක්ෂයේ එවක සිටි නායකයින් වූ ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස යන මහත්වරුන් සමග සමීප ඇසුරක් පවත්වාගෙන ගිය ආනන්ද හිමියන් නිරතුරුව ඔවුන්ට ලබා දුන් අවවාද අනුශාසනා ඔවුන්ගේ ජයග්‍රහණවලට මෙන්ම පක්ෂයේ ජයග්‍රහණවලටද හේතු විය.   


 එදා එක්සත් ජාතික පක්ෂය සමග පෙරමුණ ගත් සඟ බලවේගයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කළේ ගිරාඹේ ආනන්ද හිමියන්ය.   


 උන්වහන්සේ අනුරාධපුර පූජා නගරයේ සාරානන්ද බෞද්ධ මධ්‍යස්ථානය 1974 වර්ෂයේ පෙබරවාරි 23 වැනිදා ආරම්භ කළ අවස්ථාවට ප්‍රධාන ගිහි ආරාධිතයා ලෙස සහභාගි වූයේ එවක පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය හොබවූ රණසිංහ ප්‍රේමදාස මහතාය.   


නමුත් එවක පැවැති සමගි පෙරමුණු ආණ්ඩුවෙන් එල්ල වූ බාධා නිසා අනුරාධපුර සාරානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු වරින් වර අඩාල විය. නැවත එම සංවර්ධන කටයුතු කඩිනමින් සිදුවූයේ 1977 දී එක්සත් ජාතික පක්ෂයට රටේ ආණ්ඩු බලය හිමිවීමෙන් පසුවය.   


දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ පසු ගිරාඹේ ආනන්ද නාහිමියන්ගෙන් එතුමා හැම කටයුත්තකටම පාහේ උපදෙස් ලබා ගත්තේය.   


රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වූ පසු අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු නිතරම ගැවසෙන ස්ථානයක් බවට පත්විය. රාජ්‍ය නිලධාරින්ගෙන් ද අඩුවක් නොවුණි.   
 ජනාධිපති ප්‍රේමදාස මහතා වෙත තමන්ගේ දුක් ගැනවිලි එදා සිටි මැති ඇමැතිවරුන් බොහෝ දෙනෙක් ඉදිරිපත් කළේ ආනන්ද නාහිමියන්​ෙග් මාර්ගයෙනි. බොහෝ රජයේ නිලධාරින්ද එම උපකාරය ලබාගත්තේ උන්වහන්සේගෙනි.   


එපමණක් නොව 1988-89 කාලයේ රටේ පැවැති භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය මෙහෙය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හෙවත් කීර්ති විජයබාහු බළකායේ මරණ තර්ජන එල්ලවූ එජාපයේ ඡන්ද අපේක්ෂකයින් හා ක්‍රියාකාරීන් බොහො දෙනෙකුට රැකවරණය ලබා දුන්නේද ගිරාඹේ ආනන්ද හිමියෝය. උන්වහන්සේ ඒ උදවියට කෑම බීම සපයමින් සාරානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ කාමරවල නවත්වාගෙන සිටියේ ඔවුන්ගේ ජීවිත රැකීමේ අරමුණෙනි.   


ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයේ මිනීමරුවන් විසින් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක විජය කුමාරණතුංගයන් අමානුෂික ලෙස ඝාතනය කිරීම ගැන ආනන්ද හිමියන් වහන්සේ දුක්වූහ.   

 

 

දේශපාලන වශයෙන් මත දෙකක සිටියද ආනන්ද හිමියන් හා විජය කුමාරණතුංගයන් අතර පැවතියේ සමීප ඇසුරකි. මහජන පක්ෂය පිහිටුවීමෙන් පසු උතුරේ කොටි ත්‍රස්තවාදීන්ගෙන් ලැබුණු ආරාධනාවක් මත අසූව දශකයේ මැද භාගයේදී විජය කුමාරණතුංගයන් ඇතුළු එම පක්ෂයේ නායකයින් හා ක්‍රියාකාරීන් පිරිසක් කොළඹ සිට යාපනය බලා සාම සංචාරයක් සඳහා යන අතරතුරදී එදා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලලිත් ඇතුළත්මුදලි මහතාගේ නියෝගයක් මත ආරක්ෂක අංශ විසින් අනුරාධපුරයේදී ඔවුන්ගේ ගමන නතර කළේය.   


විජය කුමාරණතුංගයන් ඇතුළු පිරිස රජය සමග සාකච්ඡා පවත්වා නැවත එම ගමන ආරම්භ කරන තුරු එම පිරිසට ආහාරපානාදියෙන් සංග්‍රහ කොට දෙදිනක් නවාතැන් පහසුකම් සැපයීමට කටයුතු කළේ ගිරා​ෙඹ් ආනන්ද හිමියන්ය.   


 ගිරාඹේ ආනන්ද හිමියන් නිසා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී අදටත් මැති ඇමැතිකම් දරණ සමහර අය සිටිති. එජාපය හැර යන්නට සමහර අවස්ථාවලදී සූදානම් වූ බොහෝ දෙනෙකුගේ ඒ ගමන නැවැත්වීමට මූලික වී කටයුතු කරනු ලැබුවේද ආනන්ද හිමියෝය. එපමණක් නොව වෙනත් පක්ෂවල අය එජාපයට සම්බන්ධ කිරීම සඳහාද උන්වහන්සේ කටයුතු කළහ.   


1993 මැයි 01 වැනිදා කොටි ත්‍රස්තවාදීන්ගේ බෝම්බයකට බිලිවී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වීම ගැන ආනන්ද හිමියන් වහන්සේ කම්පා වූහ.   


ප්‍රේමදාස මහතා ඝාතනයවීමෙන් පසු ඩී.බී. විජේතුංග මහතා ජනාධිපති ධුරයට පත්ව එජාපය තුළ සිදුවූ සමහර වෙනස්කම් ගැන උන්වහන්සේ තුළ පැවැතියේ කළකිරීමකි.   


‘මේ ගමන මෙහෙම ගියොත් ඊළඟ මැතිවරණයේදී පක්ෂය පරදින එක වළක්වන්න බැහැ.’ උන්වහන්සේ එදා සිටි එජාප නායකයින්ට එසේ පැවසුවත් එය ඔවුන් ගණන් ගත් බවක් නොපෙණුනි. එහි ප්‍රතිඵලය 1994 මහ මැතිවරණයේදී ඔවුන්ට අත්විඳින්නට සිදුවිය.   


 ඉන් පසු පැවැති ජනාධිපතිවරණයෙන්ද පැරදී එජාපය විශාල පසුබෑමක් ලැබූ අවස්ථාවේ නැවත පක්ෂය ගොඩගන්නට ගිරාඹේ ආනන්ද නාහිමියන් මහත් පරිශ්‍රමයක් දැරූහ. මේ..මේ.. දේ... මේ ...මේ අවස්ථාවේ කළ යුතු යැයි ඒ වන විට එජාපයේ නායකයත්වයට පත්ව සිටි රනිල් වික්‍රමසිංහ මහතාට උන්වහන්සේ පවසා තිබිණි.   


 නමුත් ඉන් ඵලක් නොවූ නිසා කළකිරීමට පත්වූ උන්වහන්සේ කාලයක් නිහඬව සිටියහ. නමුත් තරුණ කාලයේ සිට එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කළ උන්වහන්සේට දවසින් දවස පක්ෂය පසුබසින ආකාරය දකිද්දී නිහඬව බලා සිටීම කළ නොහැකි විය. එක්සත් භික්ෂු පෙරමුණ ගොඩනගාගෙන ඒ ඔස්​ෙස් නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වූ ආනන්ද නාහිමියෝ එම පෙරමුණ තුළින් එජාපයේ නායකයින්ට බලපෑම් එල්ල කළහ. එජාපයේ නායකත්ව මණ්ඩලයක් පිහිටුවීම සිදු කෙරුණේද එහි ප්‍රතිඵලයක් ලෙසිනි.   


 එතැනින් තවත් ඉදිරියට ගිය ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ මාදුළුවාවේ සෝභිත නාහිමියන් සමග එක්ව සිවිල් සංවිධාන සම්බන්ධකරගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එරෙහිව පුළුල් සමාජ බලවේගයක් ගොඩනැගීමට කටයුතු කළහ.   


 මහින්ද රාජපක්ෂ මහතා 2014 වසර අගදී හදිසි ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග ඔහුගේ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ මෛත්‍රිපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස කරළියට පිවිසියේ ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් හා මාදුළුවාවේ සෝභිත නාහිමියන් ප්‍රමුඛ සිවිල් සංවිධාන විසින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නායකයින් සමග කරන ලද සාකච්ඡා හා සැලසුම්වල ප්‍රතිඵලයක් ලෙසයි.   


 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරමින් විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ජය ලැබීය. ඉන් අනතුරුව 2015 අගෝස්තු 16 වැනිදා පැවැති මහමැතිවරණයෙන් ජයගත් එජාපය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහයෝගයෙන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසකටද අමාත්‍ය ධුර ලබාදී සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවනු ලැබීම ගැන ආනන්ද නාහිමියෝ සතුටු වූහ.   
මේ අතරතුර මාදුළුවාවේ සෝභිත නාහිමියන් හදිසියේ අපවත් වීමද උන්වහන්සේට දරා ගැනීමට අපහසු වූ කාරණයක් විය. ‘දැන් මං තනි වුණා’ යැයි සමහර අවස්ථාවලදී උන්වහන්සේ ප්‍රකාශ කළේ ඒ නිසා විය හැක.   
පහු පහුවෙන විට සම්මුතිවාදී ආණ්ඩුවේ ගමන්මග ගැන ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ කළකිරීමට පත්ව සිටියහ. එම කළකිරීමට හේතුවූ එක් කරුණක් ගැන උන්වහන්සේ වරක් ප්‍රකාශ කළේ දැඩි හිත් වේදනාවෙනි. ඒ ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසු ඒ මහතා හා ඉන්පසු අග්‍රාමාත්‍ය ධුරයට පත්වන රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි කරගෙන අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහා පිරිවෙනේදී භික්ෂුන්වහන්සේ දහස් නමක් උදෙසා දහවල් දානය පිළිගැන්වීමේ මහා පිංකමක් පැවැත්වීමට ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී උන්වහන්සේ බාරයක් වී තිබිණ.   


යහපාලන රජයේ බොහෝ මැති ඇමැතිවරුන්ටද දැනුම් දී උන්වහන්සේ ඒ මහා දානමය පිංකම පැවැත්වූයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නාපාන පෙමසිරි මහානායක හිමිපාණන්ද සහභාගි කරගෙනය. ඉතා ඉහළින් සංවිධානය කළ ඒ දානමය පිංකමට කවර හෝ හේතුවක් නිසා උන්වහන්සේ බලාපොරොත්තු වූ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සහභාගි නොවුණි. අමාත්‍යවරුන් අතරින්ද සහභාගි වූයේ පී. හැරිසන් මහතා සහ චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පමණි. 

 
 එදා ඒ පිංකම දිනයේදී සිදුවූ ආබාධයකින් පසු රෝගාතුර වූ ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ නැවත සම්පූර්ණ සුවය නොලැබූහ. රෝගි තත්ත්වයට පත්වූ උන්වහන්සේගේ ජීවිතය බේරා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වත්මන් රජයේ එජාපය නියෝජනය කරන මැති ඇමැතිවරුන් බොහෝ දෙනෙක් පිටරටවල්වලදී පවා උන්වහන්සේට ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය කටයුතු කළහ. නමුත් ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ පසුගිය 20 අඟහරුවාදා උදෑසන 5.00 ට පමණ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී දැයෙන් සදහටම සමුගත්හ.   

 


අනුනාහිමියනි, ඔබවහන්සේට නිවන්සුව අත්වේවා!   

 

 

 

 

සටහන හා සේයාරු  -  අතුල බණ්ඩාර