එකම දින මේජර් ජනරාල් පදවි ලැබූ නිවුන් සොහොයුරෝ


 

එකම දිනයේ යුද හමුදාවට බැඳී එකම පාඨමාලාව හැදෑරූ නිවුන් සොහොයුරන් දෙදෙනෙක් එකම දිනයේ මේජර් ජනරාල් නිලයෙන් පිදුම් ලැබීමට වරම් හිමි වූ සුන්දර සිදුවීමක් පසුගිය සතියේ අපට අසන්නට දකින්නට ලැබුණි.මෙම සොහොයුරන් දෙදෙනා ඉකුත් 6 වැනි දින මේජර් ජනරාල් නිලයට උසස්වීම් ලබා ඇති අතර යුද හමුදා ජ්‍යෙෂ්ඨතම නිලය වූ මේජර් ජනරාල් නිලයෙන් එකම දිනයේ නිවුන් සොහොයුරන් දෙදෙනෙක් පිදුම් ලැබීම යුද හමුදා ඉතිහාස පොතට එක්වූ නවතම වාර්තාවකි. 


සිය පනස් තුන්වැනි උපන් දිනය යෙදුණු සැප්තැම්බර් 06 දා ජීවිතයේ සදා නොමැකෙන උපන් දින තිළිණයක් ලෙසින් මේජර් ජනරාල් නිලයෙන් පිදුම් ලැබීමට වාසනාව හිමි වූ නිවුන් සොහොයුරන් දෙදෙනා වන්නේ මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ සේනා විධායක ජයන්ත සෙනවිරත්න හා යුද හමුදා තත්ත්ව ආරක්ෂක හා පිරික්සුම් අධ්‍යක්ෂ පූරක සෙනවිරත්න යන දෙදෙනාය. 


ජනසීහ සෙනවිරත්න මහතාගේ හා ලීලා සෙනවිරත්න මහත්මියගේ දරුවන් ලෙසින් 1965.09.06 දින ජයන්ත හා පූරක සොහොයුරන් රත්නපුර මහ රෝහලේ දී උපත ලබා ඇති අතර ජයන්ත උපත ලැබීමෙන් විනාඩි 40කට පසු පූරක උපත ලබා තිබුණි. 


හෝඩියේ පන්තියේ පටන් එකම ඇඳුමින්, එකම සපත්තු සෙරෙප්පු, බෑග්, වතුර බෝතල් සහිතව පැමිණෙන මෙම නිවුන් සොහොයුරන් දෙදෙනා ඇතැම් ගුරුවරුන්ට පවා හඳුනාගත නොහැකි වූ තරම් අනන්තය. හෝඩියේ පන්තියේ සිට අ.පො.ස. උසස් පෙළ දක්වාම මෙම නිවුන් හොහොයුරන් එකම පන්තියේ ඉගෙනුම ලබා ඇති අතර මුලින්ම රත්නපුර සීවලී විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය ලබා පසුව හිදැල්ලන සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබා ඇත්තේ ද එකම පන්තියේය. 


අතීත පාසල් දිවියේ මතකය ආරම්භ කරමින් මේජර් ජනරාල් පූරක සෙනවිරත්න මහතා මෙසේ දොඩමලු විය. 


“පුංචි අයියයි මමයි රත්නපුර සීවලී විද්‍යාලයට ඇතුළු වූ පසු එම පාසලේ නිවුන් සොහොයුරන් හිටියේ නැහැ. හෝඩිය පන්තියට අලුතින් ආපු නිවුන් සහෝදරයන් බලන්න පාසලේ වෙනත් පන්තිවල ගොඩක් ළමයින් ආවා. පාසලේ වගේම ගමනක් ගියත් අපේ අම්මා අපි දෙන්නාට එකම වර්ගයේ ඇඳුම් තමයි ඇන්දුවේ. 


 අපි සීවලී විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය නිමාකර 1976 වසරේ හිදැල්ලන සීවලී මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වුණා. අපි දෙන්නා 6 වැනි ශ්‍රේණියේ සී පන්තියට ඇතුළු වුණ එම ගමන 10 වැනි ශ්‍රේණිය දක්වාම අපි හිටියේ සී පන්තියේමයි. වෙන් වුණේ නැහැ. ඒ කාලේ ඒ පාසලේ හිටිය එකම නිවුන් සහෝදරයෝ වුණෙත් අපි දෙන්නා. 


සාමාන්‍ය පෙළ විභාගයෙන් එකම ප්‍රතිඵල දෙදෙනාම ලබාගත්තා. වෙනසකට වුණේ මට ගණිතයට ඩී සාමාර්ථයක් හිමිවීම පමණයි. දෙදෙනාම ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට එහිදී ද එකම ප්‍රතිඵල ලබාගත්තා. 


මම ගොඩක් ඉදිරියට ගියේ ක්‍රීඩා අංශයෙන්. පුංචි අයියා කැඩෙටින් කළා. පුංචි අයියා පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයා බවට පත්වෙද්දී මම ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත්වුණා. පාසල් ක්‍රීඩාවලදී මෙන්ම කැඩෙට් ශිෂ්‍යයන් ලෙස ශිෂ්‍ය භට බළකාය තුළ අපි දෙදෙනා කටයුතු කළේ එකට. මම ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ නිසා කැඩෙට් පුහුණුවීම්වලින් ඉවත් වුණා පුංචි අයියා රෙජිමේන්තු සැරයන් තනතුර දක්වා ඉදිරියට ගියා. මම ක්‍රීඩා අංශයෙන් ඉදිරියට ගියා. 


උසස් පෙළ නිමා කරලා මම මුලින්ම 1984 වසරේ අයැදුම්පත් දැම්මේ නාවික හමුදාවට. නාවික හමුදාවේ අවසාන 25 දෙනා තෙක්ම තේරී පත් වී අවසාන වටයේ මම කැපුණා. 


පසුව අපි දෙන්නාම කතා වෙලා තමයි 1985 වසරේ යුද හමුදවේ කැඩෙට් නිලධාරීන් වශයෙන් අයැදුම්පත් යොමු කළේ. මුලින්ම සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබුණේ මාව. පුංචි අයියා ගියේ දෙවනි දවසේ. දවස් දෙකකට ගියත් අපි දෙන්නාම සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙලා අපි දෙන්නාම තෝරාගෙන තිබුණා. 1985.11.01 දින පාඨමාලා අංක 21 යටතේ කැඩෙට් නිලධාරීන් වශයෙන් යුද හමුදාවට බැඳුණා. 


කොතලාවල ආරක්ෂක පීඨයේ එකටම මාස එකහමාරක ඉංග්‍රීසි පුහුණුව කරලා දෙදෙනා දියතලාවේ මසක පුහුණුවකින් පසුව පාඨමාලා අංක 22 යටතට අපිව බඳවා ගත්තා. යුද හමුදාවට ආධුනික කැඩෙට් නිලධාරීන් ලෙස එක්වූ අපව පාකිස්තාන් පුහුණුව සඳහා තෝරාගෙන තිබුණා. ඒ පාඨමාලාවට ආධුනික කැඩෙට් නිලධාරීන් හැටදෙනකු සමග අපි දෙන්නාත් පාකිස්තානය බලා පිටත් වුණා. 


පාකිස්තානයේ පුහුණුවට ගියත් එහි නිලධාරීන්ට මුලින් අපි දෙන්නා නිවුන් සහෝදරයන් බවට දැනගෙන හිටියේ නැහැ. ඔවුන් සිතුවේ මේ දෙන්නා එක්කෙනෙක් කියලා. පසුව ඔවුන් දැනගත්තා අපි දෙන්නා නිවුන් සහෝදරයෝ කියලා. නිවුන් සහෝදරයෝ කියලා අපිට විශේෂ සැලකිලි ලැබුණේ නැහැ. අනිත් අයට වගේම තමයි අපිටත් සැලකුවේ. 


එහිදී අපේ හැටදෙනා කණ්ඩායම් තුනකට බෙදා වෙන් කරද්දිත් අපි දෙන්නා වැටුණේ එකම කණ්ඩායමට. මම හිතන්නේ මේ අපේ සංසාරගත බැඳීමක් කියලා. මාස 9ක එම පුහුණුවෙන් අනතුරුව 1986 ජුලි 24 දා පාකිස්තානයේදී විසිර ගියා. පසුව නැවත ලංකාවට පැමිණි පසු මාදුරුඔය වනගත සටන් ක්‍රම සඳහා පුහුණුවීම් ඇරැඹෙන විටත් පිරිස කණ්ඩායම් පහකට බෙදා වෙන් කරද්දීත් අහම්බයක් මෙන් එහිදී අපි දෙන්නාට හිමි වුණේ එකම කණ්ඩායමයි. 


මම මුලින්ම සම්මුඛ පරීක්ෂණ සඳහා ගිය නිසා බාලයා වුවත් මට හිමිවුණේ බඳවා ගැනීම් අංකය 60580. පුංචි අයියාට හිමිවන්නේ 60595 අංකය. 


එකටම කැඩෙට් පුහුණුව අවසන් කිරීමෙන් පසු අපි දෙන්නා ඒකක දෙකකට අනුයුක්ත කළා. අපි වෙන් කළේ ඒ ඒකක දෙකෙන්. පුංචි අයියා සිංහ රෙජිමේන්තුවටත්, මම සංඥා බළකායටත් අනුයුක්ත කර තිබුණා. 
අපි දෙන්නා නිවුන් සහෝදරයන් වශයෙන් කටයුතු කරන කාලේ අමතක නොවන රසවත් සිදුවීම් කිහිපයක්ම සිදු වුණා. ඒ අතරින් එකක් මතක් කළොත් අපි දියතලාවේ පුහුණුවට පැමිණ සතියක පමණ කාලයක් පුරා අපි දෙන්නා නිවුන් සහෝදරයන් කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ. බොහෝ දෙනා හිතාගෙන හිටියේ අපි දෙන්නා එක්කෙ​ෙනක් කියලා. මුලින්ම පුහුණුවීමක් තිබුණා තම සගයා කරේ තියාගෙන දුවන්න. 


ඒ හැම වෙලාවකම අපි දෙන්නා සෙට් වුණේ එකට. වෙලාවකට මම පුංචි අයියා කරේ තියාගෙන දුවනවා. සමහර වෙලාවට අයියා මාව කරේ තියාගෙන දුවනවා. එක දවසක් මම අයියා කරේ තියාගෙන දුවගෙන යද්දි එක් පුහුණු උපදේශවරයෙක් අපි දෙන්නා දැකලා අපිව නතර කළා. ඔහු හොඳින් අපි දෙන්නා දිහා බලලා “කර උඩ එකෙක්, ඒ වගේම එකෙක් බිම. මේ මොකක්ද වෙන්නේ?” කියා ඇහුවා. එදා තමයි ඔවුන් දැනගත්තේ අපි නිවුන් සහෝදරයෝ කියලා. ඒක අමතක නොවන සිදුවීමක්, වගේම රසවත් සිදුවීමක්. 


ඒ වගේම පාසල් කාලයේ පවා අපි දෙන්නා එක්ක කිසිම කෙනෙක් රණ්ඩුවට ආවේ නැහැ. මම හිතන්නේ අපි දෙන්නෙක්ම ඉන්න හින්දා වෙන්න ඇති. සමහර අය පුංචි අයියාට පොඩි පොඩි තර්ජන දානකොට මම තමයි ගිහින් කතා කරන්නේ. ඒ කාලේ හරිම සුන්දර කාලයක් හැටියට තමයි මම දකින්නේ.”


මේජර් ජනරාල් පූරක සෙනවිරත්න ජයන්ත සෙනවිරත්නට පෙර විවාහ දිවියට ඇතුළත්ව තිබුණි. විද්‍යා උපාධි ගුරුවරියක වන චන්ද්‍රිකා ප්‍රියංගනී මහත්මිය ඔහුගේ බිරිඳ වන අතර ජනක චතුරංග හා මධාරා තත්සරණි ඔවුන් දෙදෙනාගේ දරුවන් වෙති. 


 මේජර් ජනරාල් පූරක සෙනවිරත්න මහතා අතීත පාසල් දිවිය සිහිපත් කරද්දී මේජර් ජනරාල් ජයන්ත සෙනවිරත්න මහතා ඔවුන් දෙදෙනාගේ හමුදා ජීවිතය පිළිබඳ මෙසේ අදහස් දැක්වීය. 


“පුහුණුව නිම කරලා මම කෙළින්ම ගියේ මෙහෙයුම් කලාපවලටයි. මල්ලි සංඥා බළකායේ නිසා ඔහුට මෙහෙයුම් කලාප මෙන්ම කොළඹ, දියතලාව, පනාගොඩ යන ප්‍රදේශවල රාජකාරි කරන්න අවස්ථාව උදා වුණා. 
මගේ ආරම්භක කඳවුර කොකාවිල්. ඒ සිට මට රාජකාරි කරන්න වුණේ උතුරු නැගෙනහිර ක්‍රියාන්විත ප්‍රදේශවලයි. 


හමුදාවට බැඳිලා වසර දෙකෙන් පමණ මගේ තාත්තා නැති වුණා හෘදයාබාධයක් නිසා. එතකොට මම හිටියේ කොකාවිල් කඳවුරේ. කන්තලේ කිතුල්උතුව ප්‍රදේශයේ යුද හමුදා බස් රථයක් ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයකට ලක් වුණා. එදා තාත්තා හිතලා තියෙන්නේ මම ඒ බස් එකේ ඉන්න ඇති කියලා. එදා එයාට හාට් ඇටෑක් එකක් හැදිලා තිබුණා. ඒකෙන් එයා මියගියා. ඒක අමතක නොවන සිද්ධියක්. 


බලවේගය 1 සහ ත්‍රිවිධ බලය යන මෙහෙයුම්වලට දෙදෙනා සම්බන්ධ වුණා. එයින් ප්‍රධාන වශයෙන් මල්ලි සම්බන්ධ වුණේ බලවේගය 1 මෙහෙයුම වෙනුවෙන්. අපි එවකට කැප්ටන් නිලයේ සිටියේ. ඒ මෙහෙයුමේ මල්ලි හිටියේ මේජර් ජනරාල් විජය විමලරත්න මහතාගේ ප්‍රධාන සංඥා නිලධාරියා වශයෙන්. එවකට විජය විමලරත්න මහතා සිටියේ බ්‍රිගේඩියර් නිලයේ. 


මම මෙහෙයුම්වල නිරත වෙමින් සිටියදී මල්ලිට විශාල රාජකාරි පැවැරී තිබුණා සංඥා නිලධාරියා වශයෙන්. ඒ මෙහෙයුමේ අපි දෙන්නාටම වගකීම් වැඩියි. එම නිසා වැඩිය කතා කරන්න හම්බවුණේ නැහැ. ත්‍රිවිධ බලය මෙහෙයුමට දෙන්නා සම්බන්ධ වුණත් අපි දෙන්නා එකට හමුවුණේ නැහැ. 


මමයි මල්ලි දෙදෙනා හමුදා උසස්වීම් ලබන විට ලුතිනන්, කපිතාන්, මේජර්, ලුතිනන් කර්නල් නිලය දක්වාම එකම දිනයේ උස්සවීම් ලැබුවා. මට කර්නල්, බ්‍රිගේඩියර් උසස්වීම් ඉක්මනින්ම ලැබුණා. මල්ලි සංඥා බළකායේ නිසා පුරප්පාඩු නැතිව සුදුසුකම් සපුරා තිබුණත් මල්ලිට උසස්වීම් ලැබීම ප්‍රමාද වුණා. මල්ලිට ඒ උසස්වීම් පසුව ලැබුණා. වෙස් වළාගත් ආශිර්වාදයක් වශයෙන් අපි දෙන්නට එකම දිනයේ අපේ උපන් දිනය දවසේම මේජර් ජනරාල් නිලයට උසස්වීම් ලබන්න වාසනාව හිමි වුණා.


නිවුන් සොහොයුරන් වශයෙන් අපි දෙන්නාට හමුදා ජීවිතය තුළ ද රසවත් අත්දැකීම් මෙන්ම අමතක නොවන සිදුවීම් රැසක් සිදුවුණා. අපි පාස් අවුට් වෙලා වසර දෙකක් පමණ ගත වෙනකම් අපිට නිවුන් සහෝදරයෝ කියලා මුළු හමුදාවම දැනගෙන හිටියේ නැහැ. වසර දෙකක් පමණ ගිය පසු එක එක ප්‍රදේශවල හමුවෙලා කතා කළා. පසුව කට්ටිය මේ නිවුන් සහෝදරයන් කියලා දැනගත්තා.

 

මේකෙ හොඳම සිදුවීම තමයි වත්මන් හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට අප දෙන්නා පැටලුණ අවස්ථාව. එතකොට හමුදාපතිතුමා මේජර් නිලයේ හිටියේ 1 වැනි විශේෂ බළකායේ. මමත් මල්ලිත් ලුතිනන්ලා. මහේෂ් සේනානායක මහතා එක දවසක් උතුරේ ඉඳලා වව්නියාව හරහා කොළඹ එනකොට මල්ලි වව්නියාවේ දී හමුවෙලා තිබුණා. නමුත් හමුදාපතිතුමා ඒ වනවිට අපි දෙන්නා නිවුන් සහෝදරයෝ කියලා දැනගෙන හිටියේ නැහැ. මම එම කාලයේ සිටියේ අඹේපුස්ස 1 වැනි සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ. එහි කොටසකට 1 වැනි විශේෂ බළකායේ කොටසක් පවත්වාගෙන ගොස් තිබුණා. 


එදා එතුමා අඹේපුස්ස කඳවුරට පැමිණි අවස්ථාවේ මාව දැක්කා. ඒ අවස්ථාවේ හමුදාපතිවරයා පුදුමෙන් වගේ මගේ දිහා බලලා ‘අපි උදේ වව්නියාවේ දී හමුවුණා නේද වව්නියාවේ ඉඳලා කොහොම ද මේච්චර ඉක්මනට අඹේපුස්සට ආවේ?’ කියලා ඇහුවා. මම හිනාවෙලා ‘නැහැ සර්. ඒ මම නෙමෙයි, මගේ මල්ලියි’ කියලා මම කිව්වා. ඒ අවස්ථාවේ හමුදාපතිතුමා පුදුමෙන් වගේ බලා ඉඳලා දෙන්නා අඳුරගන්න බැහැ කියලා හයියෙන් හිනා වුණා. පසු කාලය වනවිට මුළු හමුදාවම දැනගත්තා අපි දෙන්නා නිවුන් සහෝදරයෝ කියලා. 


 හමුදාවේ අපිට ප්‍රථම නිවුන් සහෝදරයෝ එකම බැජ් එකට බැඳිලා නැහැ. නිවුන් සහෝදරයෝ ඉන්නවා, නමුත් අපි වගේ එකම දිනයේ එකම බැජ් එකට බැඳිලා නැහැ.” 


මෙම උසස්වීම්වලින් පසු යළිත් මෙම නිවුන් සොහොයුරන්ට යළිත් එකවර උසස්වීම් ලබන්න පසුගිය 6 වැනිදා යළිත් වාසනාව හිමි වූ අතර යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඔවුන් දෙදෙනාගේ නම් ජනාධිපතිවරයා වෙත යොමුකිරීමෙන් පසු මොවුන් දෙදෙනාටම මේජර් ජනරාල් නිලයට උසස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. 


මේජර් ජනරාල් ජයන්ත සෙනවිරත්න මහතා සහ පූරක සෙනවිරත්න මහතා වන්නි මානුෂීය මෙහෙයුමේ මේ රට වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ නිලධාරීහු වූහ. 


එවකට ජයන්ත සෙනවිරත්න මහතා 2 කාර්ය සාධක බළකායේ බළසේනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය. පූරක සෙනවිරත්න මහතා එක කාලයේ 55 වැනි සේනාංකයේ සිට සංඥා නිලධාරියකු වශයෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළේය. 


2 කාර්ය සාධක බළකායේ 622 බළසේනාවේ බලසේනාධිපතිවරයා වශයෙන් සිටියදී වන්නි මානුෂීය මෙහෙයුමේ වව්නියාවේ සිට පුදුකුඩිඉරිප්පු දක්වා එතුමාගේ මෙහෙයවීමෙන් මෙහෙයුම් ආරම්භ කර තිබූ අතර එල්.ටී.ටී.ඊ. සතුව තිබූ මුතියංකට්ටුවැව අත්පත් කර ගැනීමේ ගෞරවය ඒ මහතාට හිමි වේ. තව ද එහිදී එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරු මෙන්ම ප්‍රබල කඳවුරු රැසක් අත්පත් කරගැනීමට ඔවුහු සමත් වූහ. 


ජයන්ත සෙනවිරත්න මහතා 2000-2005 වසරවල 9 වැනි සිංහ රෙජිමේන්තුව සහ 12 වැනි සිංහ රෙජිමේන්තුව යන බළඇණි දෙකක අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කර ඇති අතර 514 බළසේනාව, 622 බළසේනාව, 611 බළසේනාව යන සේනාවල බළසේනාධිපති වශයෙන් කටයුතු කරමින් ත්‍රස්වාදය පරාජය කිරීමට සටනේ දක්ෂ ලෙස කටයුතු කළ නිලධාරියෙකි. 


1999 වසරේ ජයසිකුරු මෙහෙයුමෙන් පසු එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ තිබූ මඩු පල්ලිය අත්පත් කරගැනීමට රජයට අවශ්‍ය වී තිබූ අතර එය නැවත අත්පත් කරගැනීමේ මෙහෙයුමේ එතුමා 1 වැනි සිංහ රෙජිමේන්තුව සමඟ ගොස් මූලිකව කටයුතු කර පෙරමුණ ගත්තේය. එවකට ඒ මහතා කටයුතු කළේ ගුවන් සංක්‍රමණික බළසේනාවේය. 


එම තනතුරුවලට අමතරව එතුමා 53, 54, 56, 57 යන සේනාංකවල සේනාංකාධිපතිවරයා වශයෙන් ද කටයුතු කර තිබුණි. 


ජයන්ත සෙනවිරත්න මහතාගේ බිරිඳ වන ඉන්දු සෙනවිරත්න මහත්මිය රත්නපුර සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය හෙද සොහොයුරිය වශයෙන් වසර කිහිපයක් කටයුතු කර ඇති අතර මෑතකදී ඇය ව්‍යාපාරවල ද නිරත වන්නීය. ශවීන් ලක්සර සහ ලිහිණි පබෝදා ඔවුන්ගේ දරු දෙදෙනා වෙති. 


සංසාරේ පුරුද්දට එකට ඉපදී එකම ගමන් මගක ගොස් ජය ගන්නට වාසනාව හිමි වන්නේ ඉතාමත් අතළොස්සකට පමණි. ඒ අතරින් මේජර් ජනරාල් ජයන්ත, පූරක යන සොහොයුරන් සංසාර පුරුද්දට එක මව් කුසින් මෙලොව ඉපිද එකම ගමන් මගට ගොස් ජය ලබන්නට වාසනාව දෝතින්ම රැගෙන පැමිණි සොහොයුරන් දෙපළක් ලෙස හැඳින්විය හැක. 


 එකම දිනයේ යුද හමුදාවට බැඳී එකම දිනයේ මේජර් ජනරාල් නිලයට උසස්වීම් ලැබීමට වාසනාව හිමිකර ගත් එම සුවිශේෂී අවස්ථාවෙන් යුද හමුදා ඉතිහාස පොතට නව වාර්තාවක් එක් කරන්නට ඔවුහු වාසනාව හිමි කරගත්හ. අපි ද ඔවුන් දෙදෙනාට සුභ පතමු.

 

 

 

සටහන
ඉන්දිකා රාමනායක