අඟුලානේ දුම්රිය ඛේදවාචකය


 

ඔබේ ආරක්ෂාව ඔබ ආරක්ෂා කරන තරමට දුම්රියේ ගමන ආරක්ෂිතය. ඇයි මම එසේ පවසන්නේ? එයට ආසන්නම උදාහරණය අපට ඇහෙන්නේ අඟුලානෙනි.   


සෙනඟ පිරුණ ශීඝ්‍රගාමී දුම්රියක පා පුවරුවේ එල්ලීගෙන තව බෑග් එකකුත් පිටේ එල්ලගෙන යන අවදානම් ගමනකි.   


අනාරක්ෂිතව ලොරියක් මග නැවතු රියැදුරෙකි.   


අරක්ෂිත වැටක් ඉදි කරන ලෙස කළ ඉල්ලීම් රැසකට කන් නොදුන් වගකිවයුත්තන්ය.   


අනවසර ඉදි කිරීම්, ආරක්ෂාව දරුණු ලෙස අනතුරට දාපු පසුබිමකදී වන්දිය ජීවිතයෙන් ගෙවන්න වීම මොන තරම් ඛේදවාචකයක්ද?   


පසුගිය (5) වැනිදා අඟුලානේ සිදු වූ දුම්රිය ඛේදවාචකයෙන් මියගිය ගණන තුන් දෙනෙකි. තුවාල ලැබූ සංඛ්‍යාව අටදෙනෙකි.   


(31) පවත් අසංක (19) පී .ඩී. පැතුම් (24) එච්. ඒ. තිවංක (20) පී. අරුණ (23) රෝහිත එස් චමල් (23) නිහාල් ලක්මාල් (23) සුපුන් කුලසේකර (23) බාල හෙට්ටිගේ රෝහිත යන තරුණයන්ට බරපතළ තුවාල ලබනකොට තිදෙනකුට ජීවිතේ අහිමි වී ගොස් ඇත.   


මේ ​වන විට තුවාල ලැබූ අට දෙනාගෙන් දෙදෙනෙක් තවමත් ඉන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක. රෝහල් ආරංචි මාර්ග පවසන ආකාරයට ඒ දෙදෙනාගේ තත්ත්වය බරපතළයි. කොළඹ ජාතික රෝහලේ, දකුණු කොළඹ ශික්ෂණ රොහලේ සහ පානදුර මූලික රෝහලේ මෙම රෝගින් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.  

 

“අනතුර වු දවසෙ මගේ මල්ලි කෙනෙක් කතා කරලා කිව්වා අඟුලානේ දුම්රිය අනතුරක් වෙලා තියෙන බව දැන ගන්න ලැබුණා ධම්මිකගේ ෆෝන් එකේ රිංස් යනවා විතරයි කව්රුවත් අාන්ස්වර් කරන්නේ නෑ කිව්ව”   
“මම දන්න හැමෝටම කෝල් කළා. පස්සේ දැන ගන්න ලැබුණා අනතුරෙන් මියගිය අය අතරේ මල්ලි ඉන්න බව”   


“මල්ලිට දුවයි පුතයි දරු දෙන්නෙක් ඉන්නවා මේ වෙනකොට මල්ලිගේ නෝන තුන්වැනි දරුව ලැබිලා කළුතර නාගොඩ රෝහලේ නේවාසිකව ඉන්නවා.  


“මල්ලි ඇක්සිඩන්ට් වුණු බව පොඩි තුවාලයක් තියෙන බව අපි ඇයට කිව්වා. නමුත් මැරුණ බව කිව්වෙ නෑ.”   


“අලුත උපන් දුව බලන්න මල්ලි එනකන් එයාගේ නෝනා බලන් ඉන්නවා.මල්ලි මැරුණ බව කොහොම කියන්නද මට තේරෙන්නේ නෑ”   


අංක 17 උක්ගල්ගොඩ, කළුතර ලිපිනයේ පදිංචිව සිට මිය ගිය (42) ධම්මික බණ්ඩාර මහතාගේ වැඩිමල් සොහොයුරා මරණ පරික්ෂණයේදී එසේ පැවැසීය.   


පොඩ්ඩක් හිතල බලන්න. තමන්ගේ අලුත උපන් දරුව සිය සැමියට පෙන්නන්න රෝහලේ මග බලන් ඉන්න ඒ බිරිඳට සැමියා අනතුරෙන් මියගිය බව කිව්වම මොනවා හිතේවිද?   


සැමියා මියගිය බව නොදත් බිරිඳක් වගේම තම සැමියා මියගිය බව දැක වේදනාවෙන් විලාප දෙන බිරිඳක් දකුණු කොළඹ ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයට ඇවිත් හිටියා. 

 

 

 

රත්මලාන දුම්රිය අංගණ වැඩ බිමේ තාක්ෂණ ශිල්පියෙක් වන නගර සභා නිවාස කළුතර උතුර ලිපිනයේ පදිංචිව සිට අනතුරෙන් මිය ගිය (40) කේ රවින්ද්‍ර උදයන මහතාගේ බිරිඳ වන ප්‍රියංගනී කරුණාවීර මහත්මිය මෙසේ පැවැසුවාය.   


“මට මගේ මහත්තයගේ මුණ බලන්න බෑ. මම කොහොම හිතන්නද එයා මැරුණ බව. උදේ ගෙදරින් ගියේ හවස ඉක්මනට ගෙදර එනවා කියලා. මෙහෙම එයි කියලා හිතුවේ නෑ.   


මගේ දරුව එයා නැතිව නිදියන්නේ නෑ. මං කොහොම කියන්නද තාත්තා අපිව දාලා ගියා කියලා.”  


“එක මනුස්සයෙකුගේ වැරැද්දට ජීවිත කීයක් නැති වුනාද?   


ජීවිත කීයක්ද බලන්න.”   


‘මගේ මහත්තයා මට නැති කළේ ලොරියෙ ඩ්‍රයිවර්. මට වෙන මොකුත් එපා ඒ ඩ්‍රයිවර්ගේ රියැදුරු බලපත්‍රය නැති කරන්නයි මට ඕනෑ” මේ විදිහට අඬා වැළපෙමින් ඇය කියනකොට   


අනතුරට හේතු වූ බව කියන ලොරියේ රියැදුරු බව කියන අංක 16/11 සුබ සාධන මාවත, එගොඩ උයන, මොරටුව ලිපිනයේ පදිංචිව සිටින මරක්කලගේ පත්මසිරි පෙරේරා යන අය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක පාරින්ද කොටුගොඩ මහතා හමුවේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙහෙම කිව්වා.   


මම අඟුලානට ගියේ මළගෙදරකට මළ බත අරගෙන. මා එහි යන වෙලාවේ අවමඟුල් පෙරහර මගේ ඉස්සරහට එනවා දැකලා මම ලොරිය අයිනට කර නැවැත්තුවා. දුම්රිය ළං වෙනකොට කව්ද කෑ ගහනවා ඇහුණා ලොරිය ගන්න කියලා. මමත් තව යාළුවෙකුත් ලොරියේ හිටියා. ලොරිය පස්සට ගත්තා. දේහයට අවසන් ගෞරව දක්වන්න ලැහැස්ති වෙනකොට ලොරිය පිටුපස මොකක්ද වදිනවා ඇහුණා. දුම්රියේ ගිය අය වැටෙනවා දැක්කා. ලොරිය රේල් පාරට ළඟින් නවත්තලා කළේ වරදක් බව පිළිගන්නවා” යයි පැවැසීය.   


අංක 219/21 ලිපිනයේ පදිංචිව සිටි (46) එස්. කේ. පෙරේරා මහතාත් ජීවිතය හැර ගිහින් ඔහුගේ මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේ දී පැවැත්විණි.   


මේ අනතුර ඇසින් දුටු සාක්ෂියක් වන නීලක පෙරේරා ඉරිදා ලංකාදීපයට මෙසේ පැවැසීය.   


“ඇක්සිඩන්ට් එක වෙන වෙලාවේ මම මළගමට ඇවිත් හිටියෙ වෙලාව හතරයි විස්සට විතර ඇති දුම්රියක් කොළඹ පැත්තේ ඉඳලා ආවා. වේගෙන් ආව දුම්රිය පා පුවරුවෙ එල්ලී ආව කෙනෙක්ගේ පිටේ තිබුණ බෑගය ලොරියෙ පැටලිලා ඔහු විසිවෙලා පාරට වැටුණා.   


ඒ අවස්ථාවේ ලොරිය වේගෙන් දෙපැත්තට වැනුණා තව කෙනෙක් ඒත් එක්කම විසිවෙලා ගිහින් දුම්රිය පාරට වැටුණා. එක මොහොතකින් ලේ විලක් බවට පත් වුණා.   


මං දැක්කා කිහිප දෙනෙක් අනතුරට ලක් වෙනව.   


ජීවිත තුනක් බිලි අරන් නවදෙනෙක්ට බරපතළ තුවාල සිදුකළ මේ අනතුරට හේතුව කුමක්ද?   


දුම්රිය පා පුවරුවේ ඒල්ලී යාමද? දුම්රිය මගට ආසන්නව ලොරිය නැවැත්වීමද? ආරක්ෂිත වැටක් නොමැතිවීමද? දුම්රිය මැදිරිවල මගින්ට ඉඩ කඩ මදි වීමද? එහෙම නැතිනම් මේ සියල්ලම හේතු වුණාද?  
තවමත් නවීකරණය නොවූ වටපිටාවකදී පිටරටින් ගෙන්වන දුම්රිය මැදිරියෙන් ඇවිත් අප ගොඩ වෙන්නේ සුද්දගේ කාලේ තනපු දුම්රිය වේදිකාවට.   


අලුතින් ගෙන්වන දුම්රිය මැදිරියෙන් පැරණි වේදිකාවට ගොඩවීම වෙලාවකට බෝට්ටුවෙන් ගිහින් විශාල නැවකට ගොඩ වෙන්න හදනවා වගේ දුෂ්කර ක්‍රියාවකි.   


මන්දයත් දුම්රියේ ගමන් යන්නේ තරුණ පරම්පරාව පමණක් නොවෙයි. මහලු රෝගී කාන්තාවන් ආබාධිත පිරිස් කොතෙකුත් ගමන් යන්නේ දුම්රියෙනි.   


එවන් අයට පැරණි වේදිකාවට අලුත් දුම්රියෙන් පැමිණ බැසීමත් අවදානම් සහිතය.   


මෙවැනි විවිධාකාර ගැටලු රැසක් සඳහා ගෙන ඇති විසඳුම් සහ දිය හැකි විසඳුම් මොනවාද? මේ සම්බන්ධයෙන් විමසීමට අප සම්බන්ධ කර ගත්තා දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එම්. අබේවික්‍රම මහතාව.   


“මෙම අනාරක්ෂිත දුම්රිය මගට ආරක්ෂිත වැටක් ඉදි කිරීමට අවශ්‍ය බව මටත් හිතෙනවා. එම වැට ඉදි කිරීමේ කාර්ය සඳහා දුම්රිය උප දෙපාර්තමේන්තු තුනකින් යුත් කමිටුවක් පත් කළා.   


දුම්රිය උප දෙපාර්තමේන්තු තුනකින් යුත් කමිටුවක් පත් කළා. දුම්රිය උප දෙපාර්තමේන්තුව වන සංඥා අංශය, ධාවන බල අංශය, මාර්ග නඩත්තු අංශය මේ සඳහා පත් කළා.   


යම් යම් අනාරක්ෂිත ස්ථානයන්ට අපි හයි කළ යකඩ වැටවල් හොරු කපන් ගියා. සිමෙන්ති බැම්මක් දාන්නත් විශාල මුදලක් වැය වෙන නිසා ඒ සඳහා යොමු වෙන්න බෑ.

 

නමුත් ඉවත දාන රේල් පීලි පාවිච්චි කරලා හරි යකඩ වැටවල් ඉදි කර දෙන්න බැරි කමක් නෑ. නමුත් එය ආරක්ෂා කිරීමට කොයි කාටත් යුතුකමක් තියෙනවා මොකද දුම්රිය ආරක්ෂක අංශයටම පමණක් මේ වැටවල් ආරක්ෂා කරන එක කරන්න අමාරුයි. කොහොම වුනත් ඔය අනතුර වුණු තැනට ආරක්ෂිත වැටක් කඩිනමින් ඉදි කරනවා.   


ඒ වගේම පා පුවරුවේ යාම තහනම්. සමහර දුම්රිය මගීන් ඉන්නවා බහින්න ලේසි වෙන්න ෆ්ලැට්ෆෝම් එක තියෙන පැත්තටම බරවෙලා ගමන යනවා. සෙනඟ නොහිටියත් ෆුට් බෝඩ් යන අය ඉන්නවා.   


පහු ගිය කාලේ මට මතකයි පාලම්වල පවා වැදිලා බෙලි ගලවල ගිය අය හිටිය. අඟුලානේ අනතුර ගැන තවම ලොකු විස්තරයක් මම දන්නේ නෑ. නමුත් මම දැනගත් තොරතුරුවලට අනුව මේ අනතුරට ලක්වෙලා තියෙන්නේ පා පුවරුවේ ගිය අය කියලා දැන ගන්න ලැබුණා. කොහෙත්ම පා පුවරුවේ යන්න එපා.   


අනිත් කාරණය තමයි ලොරි රියැදුරාට රථය අයිනට ගන්නකොට හිතන්න තිබුණ රථය තියෙන්නේ රේල් පාරට ආසන්නයේ කියලා.   


ඒ වගේම දුම්රිය ඉඩම් අල්ලගෙන නිවාස හැදීම තහනම්. ඔය කියන හරියේ අනවසර ඉදිකිරීම් වගයකුත් තියෙනවා. මේ අනතුරට එම නිවාස හේතු නොවුණත් මීට පෙර අවස්ථාවකදී ඒ නිවසක ෂීට් එකක් රේල් පාරට බැහැල තිබිලා හමුදා නිලධාරියෙක් මියගියා.   


පිටතින් ඉඳ බලන කෙනෙකුට පේන්න පුලුවන් මේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න අපි පියවර ගන්නේ නෑ කියල. රට වටේම දුම්රිය ඉඩම්වල තියෙන අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න නඩු මගට පවා අපි යොමුවී සිටිනවා. කැලණි වැලි දුම්රිය මාර්ගයේ මෙවැනි ඉදිකිරීම් විශාල ලෙස තිබෙනව. සමහර ස්ථානවලින් ඒ අල්ලන් ඉන්න ජනතාව ඉවත් කරන්න අපි පියවර ගන්නකොට සමහර දේශපාලනඥයන් ඔවුන්ව නැවත පදිංචි කරනවා. ඒ විතරක් නෙවේ ජනතාව උද්ඝෝෂණවල නිරත වෙනවා. උද්ඝෝෂණය කරලා ඔවුන් දිනා ගන්නේ ජීවිත අවදානමක්.  

 

 

අනපේක්ෂිතව සිදු වූ මේ අනතුරේ සිදුවීම් පෙළ එකින් එක සොයාගෙන ගිය ඉරිදා ලංකාදීප අපට හෙළි වූ අවස්ථා සහ සම්බන්ධයක් තියෙනවා.   


පටු මාර්ගයේ මග ඇහිරෙන ආකාරයට ලොරි රථය නතර කළ බව කියන රියැදුරා අඟුලානට ඇවිත් තිබුණේ මළ ගෙදරකට මළබත අරගෙන. ඔහු පැමිණි මළ ගෙදර මියගොස් තිබුණේ දුම්රිය සේවකයකු ලෙස රත්මලාන සාප්පු අංක 16 යේ වැඩ කරන අයෙකුගේ බිරිඳකි.   


මරදානේ සිට උතුරු කළුතරට 4:40ට පමණ ගමන් කළ බව කියන ශීඝ්‍රගාමී කාර්යාල දුම්රියේ එම අවස්ථාවේ අනතුරට පත් මැදිරිවල වැඩි වශයෙන් ගමන් කර තිබුණේ දුම්රිය සේවකයෝ සහ දුම්රිය කාර්මික අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනගන්න තරුණයෝය.   


අනතුරින් මියගිය දෙදෙනෙක් දුම්රිය වැඩ බිමේ සාප්පු අංක 24 සහ 12හි වැඩ කරන තාක්ෂණ ශිල්පියෝය.   


අනාරක්ෂිත වැට ඉදි කරදෙන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විවිධ පාර්ශ්ව ලිඛිතව සහ වාචිකව ඉල්ලීම් කළත් ඒ පිළිබඳව නොසලකා හැරි බව කියන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන්මය.   


ඒ පමණක් නොවේ 2015 වසරේ ඔය ස්ථානයේම ඔය ආකාරයටම සිදු වූ ලොරි දුම්රිය අනතුරෙන් මියගිය සහ තුවාල ලැබුවන් රෝහලට රැගෙන යන මනුස්සකම ඉටු කරමින් සමහර ජීවිත මරණයෙන් බේර ගන්න මැදිහත් වුණ බව කියන්නේ මෙවර අනතුරෙන් බරපතළ තුවාල ලබා මියගිය ධම්මි බණ්ඩාර කියන දුම්රිය තාක්ෂණ ශිල්පියාය.   


එකිනෙකට බැඳුණු සිදුවීමේ ඵලය දරුණු ඛේදවාචකයකින් අවසන්ව ඇත.   


මහා ලොකු බලාපොරොත්තු සිහින නැතත් මේ වෙනකොට අනතුරෙන් පසු සිහි නොලබා දැඩි සත්කාරෙ සිටින තරුණයන්ගේ වගේම මිය ගිය තුවාල ලැබූ තම දරුවන්ගේ තත්ත්වය දෙස බලාගෙන ඒ අම්මා තාත්තා උහුලන දරු දුකට මොන උපමාද?

 

 

 

සටහන 
ෙර්ඛා තරංගනී ෆොන්සේකා