චීනයේ ප්‍රධානම වෙළෙඳ නගරය​ට ගිය ගමන


 

ප්‍රාන්ත 22කින් හා ග්වන්ග්සි, ඉනර් - මොංගෝලියා, ටිබෙට්, ෂින්ජියන්ග්, නින්ග්ෂියා යන ස්වායත්ත කලාප පහකින් මෙන්ම විශේෂ පරිපාලන ඒකක වන හොන්කොන්ග් හා මකවු (Macau) යන ප්‍රදේශ දෙකකින් සමන්විත චීනයෙහි වැඩි කතාබහට ලක්වන ප්‍රදේශ අතර ෂැංහයි පෙරමුණේ පසුවෙයි. මූල්‍ය ආර්ථික, තාක්ෂණික හා සමාජ සංවර්ධනය අතින් චීනයේ සෙසු ප්‍රදේශ අභිබවා ගිය සංවර්ධනයක් මේ ප්‍රදේශය සතුවීම ඊට බලපා ඇති ප්‍රධාන හේතුවයි. 


මෙපරිදි ෂැංහයි චීනයේ ආර්ථිකය සම්බන්ධ වැදගත් මර්මස්ථානයක් වන නිසා එය මධ්‍යම ආණ්ඩුවේ ඍජු පාලනය යටතට වැටෙන ප්‍රදේශ හතර අතර එකකි. අනෙක් ඒවා වන්නේ චීනයේ අගනුවර වන බෙයිජින්, ටියන්ජියන් හා චොන්චින් ය. ගෙවීගිය දින කීපයේ ආසියා පැසිෆික් මාධ්‍ය මධ්‍යස්ථානය නියෝජනය කරමින් අපට මෙම ප්‍රදේශයෙහි සංචාරය කිරීමට අවස්ථාව ලැබිණි.   


චීනයේ නැගෙනහිර දෙසට වෙන්නට පිහිටා ඇති ෂැංහයි, යැංග්ට්ස් නදියෙහි මෝයකටටත් පැසිෆික් සාගරයටත් මුහුණලා පිහිටා ඇති අලංකාර ප්‍රදේශයකි. එය ආවරණය කරන මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 6340.5 කි. 2017 වසරාවසානය වෙනවිට මෙහි ජනගහනය මිලියන 24.1833 කි. ලෝකයේ ඉහළම ජනගහනයක් සහිත නගර අතර පළමු තැන පසුවන්නේද ෂැංහයි ය. 

 
ගෝලීය මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ඉතා වැදගත් ස්ථානයක් ලෙස චීනයේ ෂැංහයි ප්‍රදේශය නම් දරයි. එනිසාම එය ලෝකයේ ඇති වැදගත් මූල්‍ය මධ්‍යස්ථානයක් හැටියට ද සැලකෙන අතර ලෝක ආර්ථිකයෙහි දෙවැනි තැන සිටින චීනයේ ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ෂැංහයි ගැන කතා නොකර බැරි තරමටම එය ආර්ථික වශයෙන් ජවසම්පන්න මාවතක ගමන් කරමින් සිටියි. චීනයේ ආර්ථික හා මූල්‍ය කටයුතු වැඩි වශයෙන් මෙම ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන සිදුවන අතර සමාජ සංවර්ධනය අතින් ද එය ඉහළ ප්‍රගතියක් අත්කර ගෙන ඇත. 2017 වසර දත්තවලට අනුව චීනයේ ඇති විශාලතම ආර්ථික මධ්‍යස්ථානය වන ෂැංහැයිහි ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 18,450 කි. එලෙසම ගෝලීය මූල්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් මෙහි අන්තර්ජාතික මූල්‍ය ආයතන විශාල වශයෙන් දැකිය හැකි අතර බහුජාතික සමාගම් 625ක කලාපීය මූලස්ථාන මෙහි පිහිටා තිබේ. 2017 වසරේ මූල්‍ය දත්තවලට අනුව ෂැංහයි මූල්‍ය මධ්‍යස්ථානය කේන්ද්‍රකොට ගෙන සිදුව ඇති මූල්‍ය ගනුදෙනුවල සමස්ත වටිනාකම යුආන් ට්‍රිලියන 1428.44 කි. එනිසාම ෂැංහයි, චීනයේ මුදල් ඒකකය වන යුආන් වැඩි වශයෙන් නිෂ්පාදනය කරන ස්ථානයක් ලෙසට ද හැඳින්වෙයි.   


මෙපරිදි ආර්ථික ක්‍රියාකාරකම් අතින් ඉතා කඩිසර ප්‍රදේශයක් බවට පත්ව ඇති ෂැංහයි ආසියානු කලාපයේ ඇති තරගකාරී නගර අතර හතරවැනි තැන පසුවෙයි. පිළිවෙළින් එහි මුල් ස්ථානවල පසුවන්නේ සිංගප්පූරු, හොන්කොන් හා ටෝකියෝ යන නගරය. ෂැංහයි වැදගත් අන්තර්ජාතික නාවික කටයුතු මධ්‍යස්ථානයක් හැටියටත් ප්‍රවාහන මධ්‍යස්ථානයක් හැටියටත් සැලකෙයි. මේ ප්‍රදේශය කෙරෙහි අන්තර්ජාතික ප්‍රජාවගේ අවධානය වැඩි වශයෙන් යොමුවීමට බලපාන තවත් හේතුවක් නම් මෙහි නිතරම ජාත්‍යන්තර සමුළු සම්මන්ත්‍රණ ආදිය පැවැත්වෙන නිසාය.   


1978 වසරේදී චීනය විවෘතභාව ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණවලට අවතීර්ණ වූ තැන් සිට ගෙවී ගිය දසක හතරක කාලය ඇතුළත එම ආර්ථික ගමන් මගේ සක්‍රීය කාර්ය කොටසක් ඉටු කළ සහ කරමින් සිටින ප්‍රදේශ අතර පෙරමුණේම පසුවන ප්‍රදේශයක් හැටියට ද ෂැංහයි සැලකෙයි. චීනයේ සෙසු ප්‍රාන්ත හා ප්‍රදේශවල සිදුවන පරිදිම මෙහිද නිශ්චිත සැලැස්මකට අනුව සංවර්ධන කටයුතු සිදුවන අතර වසර 2035 දක්වා දිවෙන දිගුකාලීන සැලැස්මකට අනුව ෂැංහයිහි ඉදිරි සංවර්ධන කටයුතු සිදුවන බව ෂැංහයි නාගරික ජනතා ආණ්ඩුවේ විදේශ කටයුතු කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෆු ජිහොන් මහතා කීවේය. එම සැලැස්මට අනුව වසර 2035 වනවිට ෂැංහයි විශිෂ්ට සමාජවාදී ගෝලීය අගනගරයක තත්ත්වයට පත් කරන බවත් ආර්ථික, මූල්‍ය, වෙළෙඳ, නාවික, තාක්ෂණික හා නව්‍යකරණ යන ක්ෂේත්‍රවලට අදාළව මානව හිතවාදී ලක්ෂණවලින් සමන්විත අන්තර්ජාතික මධ්‍යස්ථානයක් වශයෙන් ගොඩනගන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කීවේය. කොමියුනිස්ට් පක්ෂයේ තනි පාලනය යටතේ පවතින චීනයේ අභ්‍යන්තර දේශපාලන වියවුල් හෝ විරෝධතා නොමැති නිසා ඔවුන්ට සංවර්ධන ඉලක්ක හඹායෑම එතරම් අසීරු දෙයක් නොවුණත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය නිශ්චිත සැලසුම් හා ප්‍රතිපත්ති නොමැතිවීමේ අර්බුදයෙනුත් දේශපාලන ස්ථාවරත්වය සහතික නොවීමේ අර්බුදයෙනුත් හැකිළී ඇති ආකාරයක් දැකිය හැකිය.   


අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් ලොව ඉහළ අවධානයට ලක්ව ඇති ෂැංහයි, සංචාරක පුරවරයක් හැටියට ද ඉමහත් කීර්තියක් උසුලයි. විසිතුරු නානාමාදිලියේ අලංකාර ගොඩනැගිලි හා කුලුනු විශාල වශයෙන් මෙහි දක්නට ලැබෙන අතර ඇතැම් ඒවා විස්මය දනවන තරමේ ඉදිකිරීම්ය. එවැනි එක් කුලුනක සංචාරය කිරීමට අපට හැකිවූ අතර එය හැඳින්වෙන්නේ Shanghai Oriental Pearl TV Tower වශයෙනි. මෙම කුලුන ෂැංහයිහි සංචාරක කර්මාන්තය සම්බන්ධ වැදගත් සලකුණක් ලෙස ද සැලකෙයි. එය ගුවන්විදුලි හා රූපවාහිනී විකාශන කටයුතු සඳහා මෙන්ම සංචාරකයන් සඳහා ද පහසුකම් සපයයි. මීටර් 468ක උසකින් යුත් මෙම අලංකාර කුලුන ආසියානු කලාපයේ ඇති වැඩිම උසකින් යුත් රූපවාහිනී කුලුන වශයෙනුත් ලොව ඇති උසම කුලුනු අතර තෙවැනි තැන පසුවන කුලුන වශයෙනුත් වාර්තා තබා ඇත. එය ඉදිකර ඇති ආකාරයෙහි විශේෂත්වය නිසාම ඉහළ ආකර්ෂණයක් හිමිවන අතර කුලුනෙහි බිම්මහලෙහි ඇති අපූරු කෞතුකාගාරය එයට එක්කර ඇත්තේ මනා ආලෝකයකි. ෂැංහයිවල ඉතිහාසය නිරූපණය වන ආකාරයට නූතන තාක්ෂණය සම්බන්ධ කරමින් ඉදිකර ඇති මෙම කෞතුකාගාරය, අතීත ෂැංහයි වැසියන්ගේ ජීවන විලාශය වටහා ගැනීම සඳහා සංචාරකයන්ට පහසුකම් සලසයි. මෙය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා සියලු ආකාරයේ පහසුකම් සපයා තිබෙන අතර කුලුනේ බිම්මහලෙහි සිට මීටර් 263ක උසකින් පිහිටි නිරීක්ෂණාගාරය ඒ අතර වැදගත් තැනක් ගනියි. හාත්පස මනාව නිරීක්ෂණය කළහැකි ආකාරයට වීදුරුවලින් එම කොටස ආවරණය කර ඇත. එහි සිට තවත් මීටර් හතරක් ඉහළට ගියවිට අපූරු අවන්හලක් මුණගැසෙන අතර එහි ඇති විශේෂත්වය නම් එය වෘත්තාකාරව ගමන් කිරීමයි. එහි ගමනේ වේගය සංචාරකයන්ගේ ආහාර අනුභවයට බාධාවක් නොවන අයුරින් මන්දගාමීව සිදුවෙයි. චීන ආහාර සංස්කෘතියෙහි එන බොහොමයක් ආහාරපාන වර්ග මේ අපූරු අවන්හලෙහි දැකිය හැකි අතර අප එහි ගිය දවසෙහි ශ්‍රී ලංකාවේ ධජයත් අපේ රටට අනන්‍ය වන ආහාර වර්ග රැසකුත් තිබෙනු දැකගන්නට ලැබිණි.   


මේ ආකාරයේ අලංකාර කුලුනු ගණනාවක්ම ෂැංහයිවල දක්නට ලැබෙන අතර Jin Mao, Shanghai Tower යනු එවැනි සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන දෙකකි.   

 

 

චීනයේ දේශපාලන ක්‍රමය ඇතුළත කොමියුනිස්ට් පක්ෂයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එරටෙහි ආර්ථිකය, දේශපාලනය, සමාජ ක්‍රමය මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම සියලු තීන්දු තීරණ ගන්නේ පක්ෂය වන අතර පක්ෂයත් ආණ්ඩුවත් දෙකක් නොව එකක් ලෙසින් ක්‍රියාත්මක වෙයි.  


චීන කොමියුනිස්ට් පක්ෂය සම්බන්ධ ඉතා වැදගත් ඓතිහාසික ස්ථාන කීපයක් ද අපට මෙම සංචාරයේදී දැක බලාගත හැකිවිය. කොමියුනිස්ට් පක්ෂය සම්බන්ධ ඓතිහාසික ස්ථාන අතර එම පක්ෂයේ ආරම්භය සිදුවූ ස්ථානය විශාල වැදගත්කමක් උසුලයි. ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් වන නිසාම මේ ස්ථානය මධ්‍යම ආණ්ඩුවේ සුවිශේෂී ආරක්ෂාවක් යටතේ පවතියි. චීන කොමියුනිස්ට් පක්ෂයේ පළමු ජාතික සම්මේලනය මෙම ස්ථානයේදී පවත්වා ඇත්තේ 1921 වසරේ ජූලි 23 වැනි දිනය. එම ඓතිහාසික සම්මේලනය පැවැති රැස්වීම් කාමරය මෙන්ම ඊට සහභාගී වූ පක්ෂ නියෝජිතයන්ගේ පිළිරූ ද මෙහිදී දැකගත හැකිය. ඊට අමතරව පක්ෂය සම්බන්ධ වැදගත් ඓතිහාසික ලේඛන හා මාඕ සේතුං ඇතුළු චීන විප්ලවයේ නියමුවන්ගේ ජීවිත සම්බන්ධ තොරතුරු ද මෙහිදී දැක ගැනීමට පුළුවන.  


1917 රුසියානු විප්ලවයෙන් පසු මාක්ස්වාදය සම්බන්ධ ශාස්ත්‍රීය ලේඛන චීනයට හඳුන්වාදීමෙහිලා ප්‍රමුඛ කාර්ය කොටසක් කළ බුද්ධිමතුන් දෙදෙනකු හැටියට Chen Duxiu හා Li Dazhao සැලකෙයි. ඔවුහු චීනයේ කම්කරු ව්‍යාපාර මාක්ස්වාදය සමග සම්බන්ධ කර ප්‍රවර්ධනය කිරීමෙහිලා වැදගත් වැඩ කොටසක් සිදු කළහ. ඒ අතරින් ලි ඩෝසාඕ මාක්ස්වාදය සම්බන්ධයෙන් පළ කළ සුවිශේෂී ලිපියක් ද මෙහිදී දැකගත හැකි අතර එය සැලකෙන්නේ මාක්ස්වාදය ගැන චීනයේ පළවූ පළමු ලිපිය ලෙසය. නවීන තාක්ෂණය සමග නව්‍යකරණයට ලක්කොට ඇති මේ කෞතුකාගාරය නැරඹීමට දෛනිකව දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන අතර චීන විප්ලවය සම්බන්ධ වැදගත් අවස්ථා ඩිජිටල් තිර මත නැරඹීමේ පහසුකම් ද මෙහි සලසා තිබේ.  


චීන කොමියුනිස්ට් පක්ෂය සම්බන්ධ තවත් වැදගත් ස්ථාන දෙකක් වන පක්ෂයේ දෙවැනි හා සිව්වැනි සම්මේලන පැවැත් වූ ස්ථානත් චීනයේ අසහාය නායක මාඕ සේතුං නවාතැන් ගෙන සිටි නිවාස දෙකක් ද අද දවසේදී ෂැංහයිවල දැකගත හැකිය.

 

 

 

 

 

 

 

සටහන හා ඡායාරූප : 
උපුල් වික්‍රමසිංහ
චීනයේ ෂැංහයි සිට.... 
upul.wickramasinghe@yahoo.com