බැඳුම්කර නඩුව ඉක්මනින් විභාගයට අලුත් නීති


 

(දයාසීලි ලියනගේ)
බැඳුම්කර කොමිසමෙන් චෝදනා ලැබූවන්ට දැනට පවතින නීතිය යටතේ දඬුවම් ලබාදීමට වසර 10 කට අධික කාලයක් ගතවන නිසා, කෙටි කාලයකින් දඬුවම් ලබා දීමට හැකිවන පරිදි අලුතෙන් නීති සකස් කරන ලෙස දේශපාලන පක්ෂ ගණනාවකින් ජනාධිපති ​ෙමෙ​ත්‍රීපාල සිරිසේන මහතාට යෝජනා ඉදිරිපත් කර තිබේ.


මේ සඳහා බැඳුම්කර වංචාවෙන් සිදුවන පාඩුව අයකර ගැනීමට විශේෂ විධි විධාන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය උපදෙස් නිකුත් කරන ලෙස එම පක්ෂ ඉල්ලා ඇත. 

සාමාන්‍ය නීතිය යටතේ නඩු පැවරීමේදී දිසා අධිකරණය, අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කිරීමේදී අවශ්‍ය තීන්දු ගැනීමට වසර 10 කට වඩා වැඩි කාලයක් ගතවන බැවින් මෙවැනි විශේෂ පනත් කෙටුම්පතකින් කෙටි කාලයක් තුළ තීන්දු ලබා දීමට හැකිවන පරිදි අලුතෙන් නීති සකස් කළ යුතුව ඇතැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා කීය.  
වර්ෂ 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැලිකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පත් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත මේ සඳහා පූර්වාදර්ශයක් ලෙස සැළකිය හැකි බවද ඔහු කීය.  


ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ දූෂිතයන්ට දඬුවම් ලබා දීමට රජයට අවංක අවශ්‍යතාවක් තිබේ නම් ඒ සඳහා කඩිනම් පියවර ගැනීම සඳහා නීති සකස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවය.   


එජනිස ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ බිලියන 11 ක පාඩුව අයකර ගැනීමට පවතින ක්‍රමවේද යටතේ දීර්ඝ කාලයක් ගනු ලබන්නේ නම් ඒ සඳහා විකල්ප ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බවට යෝජනා කරන බවයි.