ජූනි 20ත් බැරිවුණොත් මහ ඡන්දය සැප්තැම්බරයේ?


(දයාසීලි ලියනගේ)  

ජුනි 20 වැනි දිනට නියම කර ඇති මහමැතිවරණය එදිනට පැවැත්විය නොහැකි වුවහොත් ලබන සැප්තැම්බර් මාසයට කල් යනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.  

පවතින වාතාවරණය යටතේ මහමැතිවරණය ලබන සැප්තැම්බර් මාසය දක්වා කල් දැමිය යුතු බවට දැනටමත් මැතිවරණ කොමිසමට යෝජනා ඉදිරිපත්ව ඇතැයිද දැනගන්නට ඇත.  


මහා මැතිවරණය පැවැත්වීමට පෙර අවශ්‍ය ප්‍රචාරක කටයුතු සඳහා සති පහක කාලයක්වත් අවශ්‍ය බව විපක්ෂයේ දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසමෙන් තරයේ ඉල්ලා ඇත. දැනට නිරෝධායනය සඳහා යොදවන ජනතාව දින 21 ක් රඳවා ගෙන සිටියහොත් ඔවුන්ගේ නිරෝධායන කාලය අවසන් වෙන්නේ මැයි මස අවසානයේ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද සඳහන් කරයි.  


ඊට අමතරව සමාජය සාමාන්‍ය තත්ත්වයට පත්වීමටද කාලයක් ලබාදිය යුතුව ඇති බැවින් ලබන සැප්තැම්බර් මාසය වෙනතුරු ඡන්දය පැවැත්වීම නුසුදුසු බවට යෝජනාවී ඇතැයි කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.