හිටපු ජනපති මෛත්‍රී සමග ජනපති ගෝඨාභය පො​ෙළාන්නරුවේ


​කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධ ප්‍රශ්නයත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා හිරේයාමත් ඉකුත් සතියේ දේශපාලන කරළිය ගිනියම් කළ මාතෘකා විය. කොරෝනා ප්‍රශ්නය හමුවේ වුවද වරායට සම්බන්ධ වෘත්තිය සමිති ගණනාවක් ගිය සතියේද විරෝධතාවලට එක්ව සිටියේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමට විරුද්ධ බව කියමිනි.


මේ අතර එජාපයේ හිටපු මන්ත්‍රීවරයකු වන මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වරායේ නැගෙනහිර ජැටිය ආයෝජකයකුට දිය යුතු බවය. දේශපාලන පොරපිටියේ මේ දිනවල එතරම් ක්‍රියාකාරී නොවන මංගල ඒ ගැන විශේෂ නිවේදනයක්ද නිකුත් කළේය. ඔහු කියා තිබුණේ වරාය ජැටිය ආයෝජකයකුට දීමට දේශප්‍රේමියකුට විරුද්ධ විය නොහැකි බවය.


වරාය ජැටිය ප්‍රශ්නය දේශපාලන කරළිය එසේ උණුසුම් කරද්දී කොරෝනා වයිරසයද සාමාන්‍ය ජන ජීවිතයට තවමත් හිරිහැර කරමින් තිබේ. කොළඹින් පමණක් නොව දුර බැහැර ප්‍රදේශවලින්ද ගිය සතියේ කොරෝනා රෝගීන් හමුවූ අතර ප්‍රදේශ කිහිපයක ඇඟලුම් කම්හල් කිහිපයක්ද වසා දමන්නට සිදුවිය.


පාර්ලිමේන්තු මන්ත්‍රී පොකුර හතරට නගී


කොරෝනා හැදුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පොකුර ගිය සඳුදා වනවිට හතර දක්වා ඉහළ ගියේ පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය ඇමැති පියල් නිශාන්තටද කොරෝනා වයිරසය වැළඳී ඇති බවට තහවුරු වීමෙනි. පියල් නිශාන්තට මෙන්ම ඔහුගේ බිරිඳට සහ දියණියකටද කොරෝනා වැළඳී ඇති බව වාර්තා විය. ඔහු ඉකුත් සති අන්තයේ දිස්ත්‍රික්කයේ පැවැති උත්සව කිහිපයකටද ගොස් ඇති නිසා බොහෝ පිරිසකට ස්වයං නිරෝධායනය වන්නට ද සිදුවිය. අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් ද ඉන් කෙනෙකි. ඉකුත් සෙනසුරාදා උදේ කළුතර ටැංගරින් හෝටලයෙ පැවැති විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ රැස්වීමකට ජී. එල්. සහභාගි වූයේ අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක්ද සමගිනි. උත්සවය අවසානයේ දිවා භෝජනයද හෝටලයෙම සූදානම් කර තිබූ අතර ජී. එල්. සමග පියල් නිශාන්ත ද ඊට සහභාගි විය. ජීඑල්ට ස්වයං නිරෝධායනයවීමට සිදුවූයේ පියල් හා එකට එදින දහවල් කෑම ගැනීම හේතුවෙනි. එහෙත් පියල් නිශාන්තට කොරෝනා වැළඳී ඇති බවක් එදින වාර්තාවී නොතිබූ නිසා ජී.එල්. හවස මහනුවර බලා පිටත්ව ගියේය. ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු අස්ගිරි අනුනාහිමිවරුන් දැනුම්වත් කිරීම වෙනුවෙනි. සවස ගැටඹේ පන්සලේ නායක හාමුදුරුවන්ද බැහැදුටු ජී.එල්. එදින රාත්‍රිය මහනුවරම ගත කළේ පසුදින උදේ මල්වතු අස්ගිරි අනුනාහිමිවරුන් බැහැ දැකීමට නියමිතව තිබූ බැවිනි. නියංගොඩ විජිතසිරි මල්වතු අනුනාහිමියන් හා ආණමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනුනාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියන්ද බැහැදුටු ජී.එල් නීති පීඨයේ සිටි සමකාලීනයකු වන මහින්ද කටුගහ ගේ උත්සවයකටද එක්විය. ඒ මහනුවර නගරයේ පුස්තකාලයක් විවෘත කිරීමටය. එතැනදි ජී.එල්.ට නීති පීඨයෙ සිටි තවත් සමකාලීනයකු වන නීතිඥ ඇලිකේවල ද හමුවිය. විශ්වවිද්‍යාලයෙ සිටි සගයන් තිදෙනා කතාබහට වැටුණේ සිය අතීත සිදුවීම්ද සිහිපත් කරමිනි. කොළඹට ආ ජී.එල්.ට සනත් නිශාන්තට කොරෝනා වැළඳී ඇති බව දැන ගන්නට ලැබුණේ සඳුදා දහවල්ය. එතැන් සිට ඔහු නාරාහේන්පිට සිය නිවසේම ස්වයං නිරෝධායනය වූයේ සෞඛ්‍ය අංශවලද උපදෙස් සැලකිල්ලට ගනිමිනි.


පාර්ලිමේන්තුවේ කොරෝනා පොකුර හේතුවෙන් ගිය සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද දින දෙකකට සීමා කරන්නට සිදුවිය. පාර්ලිමේන්තු රැස්වීම් ගිය අඟහරුවාදා සිට සිකුරාදා දක්වා දින හතරක් තිස්සේ පවත්වන්නට මුලින් තීරණය කර තිබුණද එය පැවැත්වුණේ අඟහරුවාදා සහ බදාදා යන දින දෙකේ පමණි. ඒ සම්බන්ධයෙන් තීන්දු ගැනීමට ගිය සඳුදා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබූ අතර එහි විශේෂත්වය වූයේ පක්ෂ නායක රැස්වීමට වෛද්‍ය විශේෂඥයින්ද කැඳවා සිටීමය. මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට හා කාර්ය මණ්ඩලවල පිරිසකට කොරෝනා වැළඳීම නිසා පාර්ලිමේන්තු රැස්වීම දින හතරක් නොපවත්වා දින දෙකකට සීමා කරන්නැයි වෛද්‍ය විශේෂඥයින් උපදෙස් දී තිබිණි. ඒ සමගම ඔවුන්ගේ උපදෙස වූයේ මන්ත්‍රීවරුන් අඩු පිරිසක් සහභාගි කරවා ගන්නා ලෙසය. ඒ අනුව පාර්ලිමේන්තු රැස්වීම අඟහරුවාදා සහ බදාදා යන දින දෙකට පමණක් සීමා කරන්නට පක්ෂ නායකයෝ තීරණය කළහ.


ඒ අතර මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සඳහා ගිය සතියේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනු ලැබීය. කලින් වාර්තාවූ මන්ත්‍රීවරුන් සිවුදෙනා හැර මන්ත්‍රීවරුන් කිසිවකුටත් කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වූයේ නැත. එසේ වුවද ගිය සතියේ පැවැති පාර්ලිමේන්තු රැස්වීම්වලටද මන්ත්‍රීවරුන් පැමිණියේ ඉතා අඩුවෙනි.
ජනාධිපතිවරයා සහභාගි වූ ගම සමඟ පිළිසඳරක් වැඩසටහන ගිය සති අන්තයේ පැවැත්වුණේ පොළොන්නරුව මැදිරිගිය බිසෝපුරදීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උදේ 10.00ට පමණ එතැනට පැමිණි අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය ඇමැතිවරුන් වන සිරිපාල ගම්ලත් සහ රොෂාන් රණසිංහ යන මහත්වරුද ඊට සහභාගි වූහ. මුලින්ම සිදුවූයේ බිසෝපුර කනිටු විදුහලේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමය. එහි ඉදිකිරීම් කටයුතු සිදුවූයේ මෛත්‍රී ජනාධිපතිවරයා ලෙස සිටියදීය. ඒ නිසා ජනාධිපතිවරයා කළේ මෛත්‍රී ලවා ගොඩනැගිල්ල විවෘත කරවීමය. ‘ඔබතුමානෙ මේක හදන්න පටන් ගත්තෙ, ඔබතුමා මේක විවෘත කරන්න’ ජනපති ගෝඨාභය කීවේය.


අනතුරුව ගම සමග පිළිසඳරක් වැඩසටහන ආරම්භ විය. ජනතා ගැටලු ආදී ප්‍රශ්න රැසක් ඉදිරිපත් වූ අතර සවස තුන පමණ වනතෙක් වැඩසටහන පැවැත්විණි. බොහෝ ප්‍රශ්නවලට ජනාධිපතිවරයා පිළිතුරු දුන් අතර ඇතැම් ඒවාට උත්තර දීම මෛත්‍රීට පැවරිණි. ‘මේ මෛත්‍රී ජනාධිපතිතුමාටත් මයික් එකක් දෙන්න’ ජනාධිපතිවරයා කීවේ ‘එතුමානෙ මේ පැත්ත ගැන දන්නේ’ යැයි සඳහන් කරමිනි.


කොවිඩ් අර්බුදය හේතුවෙන් ගිය සඳුදා කැබිනට් රැස්වීමද පැවැත්වූයේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේය. ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ සිටත් අගමැතිවරයා විජේරාම මාවතේ නිල නිවසේ සිටත් කැබිනට් රැස්වීමට සම්බන්ධ වූ අතර ඇමැතිවරු සිය කාර්යාලවල සිට ඊට සම්බන්ධ වූහ. රාජ්‍ය ඇමැති පියල් නිශාන්තට කොවිඩ් ආසාදනය වී ඇති බව දැන ගත්තේද එදින පස්වරුවේ නිසා බොහෝ දෙනාගේ කතාබහට එයද මාතෘකාවක් විය. කැබිනට් රැස්වීමට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ ඇමැතිවරුන්ගෙන් පීසීආර් පරීක්ෂණ කර ගත්තේ දැයි ගම්මන්පිල ඇමැතිවරයා විමසීය. පියල් නිශාන්තද කළුතර නිසා ගම්මන්පිල පීසීආර් ගැන මුලින්ම ඇසුවේ රෝහිත අබේගුණවර්ධන ගෙනි. ‘පීසීආර් එක කළා දැයි’ ගම්මන්පිල ඇසූ ප්‍රශ්නයට රෝහිත උත්තර දුන්නෙ ‘අපොයි ඔව්. ඒක නෙගටිව්’ යැයි කියමිනි. ඊළඟ ප්‍රශ්නය බන්දුලටය. බන්දුල ගම්මන්පිලගේ ගුරුවරයෙකි. ඔහු ඇසුවේ ‘බන්දුල සර්ත් පීසීආර් කළා දැයි’ යනුවෙනි. ‘ඔව් ඔව් කළා. ඒක නෙගටිව්’ යැයි බන්දුල කීවේය. ‘මම හිතාගෙන ඉන්නෙ සති දෙකක් නිරෝධායනය වෙන්න’ යැයි බන්දුල කියද්දි ගම්මන්පිල පෙරළා ප්‍රශ්න කළේ ‘මොකද හදිසියෙම’ යනුවෙනි. ‘සති දෙකක් නිරෝධායනය වුණාම මට පොත් දෙකක් ලියන්න පුළුවන්’ යැයි බන්දුල හිනාවෙමින් උත්තර දුන්නේය. ‘මම හිරේ ඉන්නකොට පොත ලිව්වේ දවස් දෙකෙන්’ යැයි ගම්මන්පිලද කියා සිටියේය.


මේ අතර කතාබහට එක්වූයේ සෞඛ්‍ය ඇමැති පවිත්‍රාය. ‘පියල් නිශාන්ත ඇමැතිතුමාටත් කොවිඩ් හැදිලා. අපේ කීප දෙනකුත් එතුමා සමීපව ඇසුරු කරල’ යැයි පවිත්‍රා කියද්දි ජනාධිපතිවරයා ඇසුවේ ‘කවුද ඒ’ යනුවෙනි. ‘ජී.එල්. ඇමැතිතුමා’ යැයි කී පවිත්‍රා ‘පියල් එක්ක ළඟින් ඇසුරු කරපු තව කීප දෙනෙක් ඉන්නවා’ යැයි සඳහන් කළේය. දිනේෂ් කීවේ ‘මේ වෙලාවේ හැමෝම පරිස්සම් වෙන එක හොඳයි’ කියාය. ‘පාර්ලිමේන්තු පොකුරක් බිහිවෙනකම් බලන් ඉන්න පිරිසකුත් ඉන්නවා. අපි ඒකට ඉඩ තියන්න හොඳ නෑ’ ප්‍රසන්න රණතුංගද කීවේ කතාවට එක්වෙමිනි.


හුදෙකලා කළ ප්‍රදේශවල ජනතාවට විදුලිය බිල් ගෙවීමට සහන කාලයක් දීමට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයාය. සංචාරක හෝටල් හා ලැගුම්හල් සඳහාද බිල් ගෙවීමට සහන කාලයක් දෙන්නැයි ඉල්ලා ප්‍රසන්න රණතුංගද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. ‘අපි බදාදට ගුවන් තොටුපොළ විවෘත කරනවා. හැබැයි සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වෙන්න කාලයක් යාවි’ යැයි කී ප්‍රසන්න යෝජනා කළේ විදුලියබිල ගෙවීමට දී ඇති සහන කාලය තවත් අවුරුද්දක්වත් ලබා දෙන්නැයි යනුවෙනි. ඒ අතර ජනාධිපතිවරයා කීවේ ණය ක්‍රමයකින් හඳුන්වාදෙන්න යන ’සෝලා සිස්ටම් එක සංචාරක කර්මාන්තයටත් හඳුන්වා දෙන්න’ යනුවෙනි.


ගුවන් තොටුපොළ විවෘත කිරීම පිළිබඳ මාධ්‍ය හමුවක් ගිය අඟහරුවාදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණේ කෙහෙළිය රඹුක්වැල්ල හා ප්‍රසන්න රණතුංග යන ඇමැතිවරුන් දෙදෙනාගේ සහභාගිත්වයෙනි. ඔන්ලයින් ඔස්සේ පැවැති මාධ්‍ය හමුවට මාධ්‍යවේදීන්ද සම්බන්ධ වූයේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේය. මාධ්‍යවේදීන් අහන ප්‍රශ්නවලට මග නොහැර උත්තරදීම කෙහෙළියගේ සිරිතකි. ඇසූ ප්‍රශ්න හැම එකකටම පාහේ ඔහු උත්තර දුන්නේය. ‘අයියෝ ඇමැතිතුමා මේකනම් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි’ ප්‍රසන්න කීවේ මාධ්‍ය හමුව අවසන් වී එළියට එන ගමන්ය. ‘හයියෙන් හිනාවුණ කෙහෙළිය ‘ඒකටනෙ මට අපුල්ලනවා කියන්නෙ’ යැයි උත්තර දුන්නේය. ‘කාටුන්කාරයො මාව අල්ලගෙන රඹුක්වැල්ල ලොන්ඩරිය කියල ඒ දවස්වල කාටුන් දහස් ගාණක් ඇන්දෙ ඒ හින්දනේ’ යැයි කෙහෙළිය කීවේය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර කොවිඩ් ප්‍රශ්නය නිසා එය තරමක් ප්‍රමාදවී ඇත. එහෙත් ඒ පිළිබඳ සාකච්ඡා බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ මේ දිනවල පැවැත්වෙන්නේ එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. බැසිල් ගිය සතිය පුරාද එක් එක් දිස්ත්‍රික්කවල මැති ඇමැතිවරුන් පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන් හා පළාත් පාලන ආයතනවල ප්‍රධානින් නෙළුම් මාවත කාර්යාලයට කැඳවා ඉදිරියේ පැවැත්වෙන දිස්ත්‍රික් සමුළු ගැන දැනුවත් කළේය.


රන්ජන්ගේ අසුන රකින්න විපක්ෂනායක ඉල්ලයි


කොරෝනා දෙවැනි රැල්ල සමගින් පීඩාවට පත්වූ පිරිස් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීමට සමගි ජන බලවේගය කටයුතු කළේය. බස්නාහිර පළාත වසා දැමීමත් සමග හදිසි දුරකතන අංකයක් හඳුන්වා දුන් සමගි ජන බලවේගය ජනතාවගේ ගැටලු පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කළේය.


එපමණක් නොව මේ ගෝලීය ව්‍යසනය ගැන වැඩිම වාර ගණනක් කතා කරමින් ඒ පිළිබඳව දැනුම්වත් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය.


උපකාරක පංති ගුරුවරුන් පසුගිය සතියේදී විපක්ෂ නායකවරයා හමුවූයේ ඔවුන් මුහුණදෙන ගැටලු ගැන සාකච්ඡා කිරීමටය. උපකාරක පංති ගුරුවරුන් තමන් මුහුණදී තිබෙන ගැටලුව ගැන විපක්ෂ නායකවරයා දැනුවත් කළ අතර ඔහු හමුදාපතිවරයා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ ගැටලුව විසඳිය හැකි ආකාරය ගැන අවධානය යොමු කළේය.


මොනරාගල, බුත්තල, ඔක්කම්පිටියේදී සත්කාරය විපක්ෂ නායක ජංගම සේවය පසුගියදා පැවැත්විණි. ඊට පෙර විපක්ෂ නායකවරයා පාසල් ළමුන්ගේ නිල ඇඳුම් පිළිබඳ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණි.
‘සර්, අපේ ළමයින්ට තියෙන්නේ එක ඇඳුමයි. ඒක මහගන්නේත් ආණ්ඩුවෙන් දෙන රෙදි කෑල්ලෙන්. මේ අවුරුද්දේ තාම රෙදි ලැබුණේ නෑ. ළමයින්ට අලුත් ඇඳුමක් මහලා දෙන්න විදියක් නෑ.’ දෙමාපියෝ පැවැසූහ.
‘මම මේක ගැන පාර්ලිමේන්තුවේදී කතා කළා’ විපක්ෂ නායකවරයා කීවේය.


‘අපි ටී. වී. එකෙන් දැක්කා සර්. ආණ්ඩුවේ ඇමැතිතුමා කියපු කතාවත් අහගෙන හිටියා. හැබැයි ඇමැතිතුමා නම් කිව්වේ ඇත්ත නෙමෙයි’ ජනතාව සජිත්ට කීවේ ඇමැතිවරයා කළ කතාවක් ගැනය.


‘ළමයින්ගේ ප්‍රශ්න ගැන අපි ගොඩක් සංවේදීව කතා කරනවා. ළමයින්ගේ ප්‍රශ්න තියෙන ඒවා මට දෙන්න’ විපක්ෂ නායකවරයා කීවේය.


‘නිල ඇඳුම් විතරක් නෙමෙයි, පෙළ පොත් ටිකත් ලැබිලා නෑ’ තවත් ළමයකුගේ මවක් කියන විට ඒ ගැනත් අවධානය යොමු කිරීමට ඔහු එකඟ විය.


පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මසේන විජේසිංහ සමග විපක්ෂ නායකවරයා ඉන් පසුව ගියේ බුත්තල ජංගම සේවයටය.


රංජන්ට පාර්ලිමේන්තු ඉඩ ඉල්ලයි


පසුගිය සතියේදී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙනි. එහිදී රංජන් රාමනායක මන්ත්‍රීවරයා පිළිබඳවත් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට එල්ලවී තිබෙන තර්ජන ගැනත් අවධානය යොමුවිය. ඒ අතර මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන කටයුතු ගැනත් විපක්ෂ නායකවරයා අදහස් දැක්වූවේය.


‘දැන් පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරු කරන කතා ගැන සමාජයෙන් ලොකු දෝෂාරෝපනයක් එල්ලවෙනවා. ඒකට හේතුව තමයි අධ්‍යයනයක් කරන්නේ නැතිව කතා කරන එක. ඔය සමහර ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු කරන කතා කාටවත් අහගෙන ඉන්න බෑ’ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කණ්ඩායම් රැස්වීම ආරම්භයේදීම අදහස් දැක්වූවේය.


‘මන්ත්‍රීවරුන් විපක්ෂයේ ඉන්නකොට තමයි හොඳටම අධ්‍යයන කටයුතු කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා මන්ත්‍රීවරුන්ට උපාධි මට්ටමේ අධ්‍යාපනයක් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් අපි සකස් කළා. ඒකට ලියාපදිංචිවීමට කැමැති මන්ත්‍රීවරු ලියාපදිංචි වෙන්න’ විපක්ෂනායකවරයා අලුත් වැඩසටහන ගැන පැහැදිළි කළේය.


‘මේ සතියේ හරින්ගේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී කතා කරන්න ඕනැ. ඒ වගේම රංජන්ගේ ප්‍රශ්නයත් අපි ඇදලා ගන්න ඕනැ. නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා යෝජනා කළේය.


‘පාර්ලිමේන්තුව රැස්වුණාට අනාරක්ෂිත තත්ත්වයක් තමයි තියෙන්නේ. පාර්ලිමේන්තුවේ අයටත් දැන් කොරෝනා හැදිලා’ ​ජේ. සී. අලවතුවල මන්ත්‍රීවරයා කීය.


‘පාර්ලිමේන්තුව කල් දැමීමේ යෝජනාවක් ආණ්ඩුවේ අය අරගෙන ආවානේ. හැබැයි පාර්ලිමේන්තුව කල්දාන යෝජනාව ගෙනාපු දවසේම පාසල් විවෘත කිරීමේ යෝජනාවකුත් ආණ්ඩුව ගෙනාවා. පාසල් ළමුන් ආරක්ෂා වෙන්න ඕන නෑ. මන්ත්‍රීවරු විතරක් ආරක්ෂා වුණාම ඇති කියලාද ආණ්ඩුව කියන්නේ’ විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.


‘ආණ්ඩුවට ජීවිත ගැන ගානක් නෑ’ මරික්කාර් කීවේය.


‘දැන් කොවිඩ් එන්නත ගේන එක පරක්කු කරලා තියෙනවා. පැණියක් දාගෙන එන්නත හංගන්න තමයි ආණ්ඩුව හදන්නේ’ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා චෝදනා කළේය.


පාර්ලිමේන්තුව රැස්වූ විට රංජන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළේය. හරින් පාර්ලිමේන්තුවට පැමිණියේ කළු පැහැති සාටකයක් අතේ තබාගෙනය. ඔහු පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීම ආරම්භ කළේ සාටකය අතට අරගනිමිනි. ‘රංජන්ට යුක්තියක් ඉටු විය යුතුයි. ඔහුට යුක්තිය ඉටුවන තෙක් මම පාර්ලිමේන්තුවේදී මේ සාටකය දාගෙන ඉන්නවා’ හරින් සාටකය කරට දා ගත්තේය.


මේ අතර විපක්ෂ නායකවරයා ද රංජන් වෙනුවෙන් පෙනී සිටියේය.


‘රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කළ යුතුයි. රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු අසුන මාස හයක කාලයකට අහිමි වෙන්නේ නෑ. මේ කාරණාව සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගත්තා. ඒ අනුව ඔහුට පාර්ලිමේන්තු පැමිණීමට අවස්ථාව ලබාදිය යුතුයි’ විපක්ෂ නායකවරයා පැවැසුවේය.


මේ අතර හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද අදහස් මතුවිය. හරින්ට පොලිස්පතිවරයාගෙන් ලිපියක් ලැබී තිබුණේය. එයින් කියැවුණේ ජනාධිපතිවරයා විසින් හරින් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය තර්ජනාත්මක ප්‍රකාශයක් නොවන බවය.


‘සාමාන්‍යයෙන් දිනපතාම පාහේ විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ සාකච්ඡා රාශියක් පැවැත්වේ. මේ අතර සජිත් පසුගිය සති තුනක් තිස්සේ වෘත්තීයවේදීන් රැස්කොට විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්විය. විවිධ ක්ෂේත්‍ර පිළිබඳව නිපුණතාවය සහිත වෘත්තීයවේදීහු සහ විශේෂඥයින් එම හමුවලට සහභාගි වෙති.
ඒ වනවිටත් විපක්ෂනායකවරයා දෙසීයකට අධික වෘත්තීයවේදීන් පිරිසක් මේ කටයුත්තට දායක කොටගෙන තිබේ. ඊට අමතරව මීට විශ්වවිද්‍යාල පද්ධතිය නියෝජනය කරන ආචාර්යවරු මහාචාර්යවරු සහ කථිකාචාර්යවරු එකට එක් කරමින් විශේෂ හමු මාලාවක්ම විපක්ෂ නායකවරයා විසින් සිදු කරනු ලැබීය.


එජාප නව නිලධාරි මණ්ඩලය වැඩ භාරගනියි


එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය වැඩ භාර ගැනීම පසුගිය බ්‍රහස්පතින්දා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුවිය. මෙම වැඩ භාර ගැනීමේ උත්සවය පවත්වනු ලැබුවේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ඉතා චාම් අන්දමිනි.


නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාද ඒ අවස්ථාවට සහභාගි විය.


නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රමුඛ පිරිස පක්ෂ මූලස්ථානයේ ඉදිකර තිබෙන බුදු මැදුර වෙත ගොස් මල් පහන් පූජා කිරීමෙන් පසු සර්ව ආගමික වතාවත්වලට සහභාගි වූහ.


ඉන් පසු නිලධාරි මණ්ඩලය වැඩ භාර ගැනීමේ ලේඛන අත්සන් තැබූ අතර එම ලේඛන පක්ෂයේ නායකයා වෙත භාරදෙනු ලැබුවේ රුවන් විජයවර්ධන මහතා විසිනි.


රුවන් විජයවර්ධන මහතා අලුත් පත්වීම් ලැබූ නිලධාරි පිරිසට සුබපැතීමෙන් පසු පක්ෂයේ ආදි කර්තෘ පිළිරූවලට පුෂ්පෝපහාර දැක්වූහ. රුවන් විජයවර්ධන මහතා ඩී. එස්. සේනානායක පිළිරුවට සුදු මල් මාලයක් පළඳවා පුෂ්පෝපහාර දැක්වීය.


ඉන්පසුව පිරිස විවිධ මාතෘකා මත කතාබස් කරමින් සිටියහ. රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ උතුරු ආසියානු කලාපයේ රටවල් ගණනාවක් කොවැක්ස් අරමුදල හරහා ඉන්දියාවෙන් ඔස්ෆර්ඩ් ඇක්සා සෙනිටා එන්නත ගෙන්වා ගන්නා නමුත් ලංකාවට තවම එන්නත් ගේන පාටක් නොමැති බවයි.
පක්ෂයේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය හා යළි දිස්ත්‍රික්ක පුරා සංචාරය කරමින් පක්ෂ නියෝජිතයන් හා ක්‍රියාකාරින් හමුවීමේ අවශ්‍යතාවද මෙහිදී රුවන් විජයවර්ධන මහතා පෙන්වා දුන්නේය.

 

-ගජබා-