බැඳුම්කර තීන්දුවට එජාපය කියන දේ


මාස 10 ක් පුරා පැවති බැඳුම්කර ජනපති කොමිසමේ වාර්තාව දෙසැම්බර් 30 වැනිදා ජනපති අතට පත් විය.   


අගමැතිවරයා ඒ ගැන අවධානය දැක්වූ බවක් නොපෙණින. කන්ද උඩරට සීතල විඳිමින් නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්වල පළාත් පාලන ඡන්ද මෙහෙයුමේ නිරත වූ අගමැතිවරයා යළි කොළඹට පැමිණ උත්සව හා තීරණාත්මක හමු කිහිපයකට එක් විය.  


 වරාය මූල්‍ය නගරය නිරීක්ෂණය කිරීම, රට පුරා නොමිලේ ගිලන් රථ සේවාව ව්‍යාප්ත කිරීම හා එජාප මැතිවරණ අපේක්ෂකයන් සිරිකොතදී හමුවීම අගමැතිවරයා ගෙවීගිය සතියේ එක්වූ විශේෂ ක්‍රියාකාරකම් අතර මුල් තැන ගත්තේය.   



බැඳුම්කර කොමිසමේ වාර්තාවට අදාළ ජනපතිගේ ප්‍රකාශය නිකුත් කිරීම බදාදාට නියමිතව තිබියදී අගමැතිවරයාගේ නව වසරේ කැවුම් කිරිබත් කෑමේ උත්සවය ජනවාරි 02 වැනිදා අරලියගහ මැදුරේදී යොදාගෙන තිබුණේ ජනවාරි 01 වැනිදාට පසළොස්වක ‍පොහොය යෙදී තිබූ බැවිනි.   


“බැඳුම්කර වාර්තාවේ මොනවද තිබෙන්නේ”? මැති-ඇමතිවරු මෙන්ම මාධ්‍යවේදීහුද අගමැතිවරයාගෙන් විමසූහ.   


 “මම කොහොමද දන්නේ? ජනාධිපතිතුමාටයි, වාර්තාව භාර දුන්නේ. ඒකේ තියන වැදගත්ම කරුණු හෙට එතුමා රටට එළිකරනකම් ඉවසන්න” අගමැතිවරයා කීවේ සිනාසෙමිනි.   


මැතිවරණ කාලයකදී ජනමාධ්‍ය විසින් අනුගමනය කළ යුතු නියාමන ගැන මැතිවරණ කොමිසම එවා තිබූ යෝජනාවලට එහිදී එකඟත්වය පළ කරමින් අත්සන් තබා පාර්ලිමේන්තුවට යැවීමටද අගමැතිවරයා ක්‍රියා කළේ කිරිබත් කන ගමන්ය.   


 “රටේ ජනමාධ්‍යවලට අසීමිත නිදහස අප දී තිබෙනවා. දැන් මරන්නේ, පැහැර ගන්නේ, ගිනි තියන්නේ නැහැ. ඒ නිසා අඩු ගානේ ඡන්දයක් වෙලාවටවත් අසාධාරණ ලෙස ක්‍රියා නොකර මැතිවරණ කොමිසමේ නියාමනවලට එකඟව කටයුතු කිරීම කාගේත් වගකීමයි.” අගමැතිවරයා කීය.   


 “අප ජනමාධ්‍ය පාලනය කරන්න හදනවා කියා හැමදේකම අසුභ පැත්ත විතරක් දකින සමහර මාධ්‍ය දැන් බොරුවට කෑගහන්න බැරි නැහැ” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.   


ජනාධිපතිවරයා බැඳුම්කර වාර්තාව ගැන කළ ප්‍රකාශයෙන් පසුව අගමැතිවරයා බ්‍රහස්පතින්දා අරලියගහ මැදුරට ගියේ රාජකාරි සඳහාය.  
 එදින වෙනදාටත් වඩා වැඩි මැති ඇමතිවරුන් පිරිසක් එහි පැමිණ සිටියේ ජනපතිගේ ප්‍රකාශයට අදාළ අගමැතිවරයාගේ ස්ථාවරය දැන ගැනීමටය.   


 “ජනාධිපතිතුමාගේ ප්‍රකාශය අනුව කොමිෂන් වාර්තාව ටිකක් දුබල එකක් බව පෙනී යනවා කියලයි, නීති විශාරදයෝ කිහිප දෙනකු මට කිවුවේ” දයා ගමගේ කීවේය.   


 “ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ආවේ වාර්තාව අනුවයි. මහ බැංකුව කඩපු මහ මොළකරු අගමැතිතුමා කියා විපක්ෂයයි, ජනමාධ්‍යයි කෑගැහුවට එතුමාට චෝදනා කිසිවක් නැහැ” ලක්ෂ්මන් කිරිඇල්ල කතාවට මුල පිරුවේය.   


“මා අර්ජුන පත් කිරීම නීත්‍යානුකූල බව කොමිසම පිළිගෙන තිබෙනවා. ඒත් මා පාර්ලිමේන්තුවේදී අර්ජුන හා සමරසිරි ගැන කතා කළා කියා ඒ වාර්තාවේ තිබිලා වගකීමක් ඇතිව වැඩ කරන්න පත් කළ ඒ නිලධාරීන් මට කියපු දේවලුයි, මා පාර්ලිමේන්තුවේදී කිවුවේ. 

 
අර්ජුන මහ බැංකු අධිපති, සමරසිරි නියෝජ්‍ය අධිපති හා ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියායි. ඔවුන් නොමග යැව්වද, නැද්ද මා අදටත් දන්නැහැ” අගමැතිවරයා පැහැදිළි කළේය.   


 “ඔබතුමා ත්‍රි පුද්ගල කමිටුව පත් කර වාර්තාවකුත් ගත්තා. ඒවා අදාළ අංශවලට හා කෝප් එකෙහි මේ ප්‍රශ්නය ගැන සොයන්නත් පසුබිම හැදුවා. සමහරුන්ට මේවා මතක නැහැ” ගයන්ත කරුණාතිලක මතක් කළේය.   


 “රවීට අල්ලස් එකේ හා අපරාධ නීතිය යටතේ නඩු දැමිය යුතු බව කොමිසම් වාර්තාව කියා ති​ෙබන එකයි දැන් ප්‍රශ්නය වෙලා ති​ෙබන්නේ” වජිර අබේවර්ධන කීවේය.   


“අල්ලස් ගත්තා නම් ඒක බැඳුම්කරයට සම්බන්ධ කොහොමද කියා වාර්තාවේ තිබිය යුතුයි. එහෙම එකක් පේන්න නැහැ. එහෙම නම් අල්ලස් කොමිසම මේවා විභාග කර ඔප්පු කළ යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුව මෙතනදි එක්කෝ බාගෙට වැඩ කරලා. නැතිනම් අනවශ්‍ය ප්‍රශ්නයක දැන හෝ නොදැන හෝ පැටලිලා කියලයි නීති අංශවල මතය වෙන්නේ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.   


“රවී එල්ලන්න සමහරුන්ට ඕන වුණත් ඒකට පසුබිම නැහැ” අගමැති කීවේ නළල රැළි ගන්වමිනි.  


ඒත් අයුතු ලාභය ලැබුවා නම් ඒවා අය කර ගත යුතු බවට කොමිසම නිර්දේශ කිරීම වටිනවා. අයුතු ලාභ ලබලා නම් ඒවා අය කර ගත යුතු බව අගමැතිතුමාගෙත් මුල ඉඳ තිබූ ස්ථාවරයයි” දයා ගමගේ කළ විග්‍රහයට සියලු දෙනා එකඟත්වය පළ කළහ.   


 “මා ඇතුළු එජාප මන්ත්‍රීවරුන් පහක් හා ඇලෝසියස් අතර දුරකථන සංවාද තිබිලාය කියා නීතිපති අංශ හා කොමිසම හරහා ජනමාධ්‍යවලට ගිහින් තිබුණා. වාර්තාවේ ඒ ගැන චෝදනාව නැති නිසා අප මේ ගැන තදින් ක්‍රියා කරනවා. මේ මහා බොරුව ගැන කරුණු කියන්න ඉල්ලුවත් මට කොමිසමෙන් අවස්ථාව ලැබුණේ නැහැ.   


අප අගමැතිතුමාට, ජනාධිපතිතුමාට, කතානායකට හා අනික් වගකිවයුතු හැම තැනටම මේ ගැන පැමිණිලි කරනවා. අපට යුක්තිය ඉටු කිරීම සියලු පාර්ශ්වවල වගකීමයි, අජිත් පී. පෙරේරා කීවේ එවැන්නකි.   


‘ඔබ ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනා ගැන එජාපය පෙනී සිටිනවා. අගමැතිතුමා දැනටමත් මට ඒ ගැන උපදෙස් කීපයක් දී තිබෙන්නේ, ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ අජිත් පී. පෙරේරා අස්වසාලමිනි.   


‘මේ වාර්තාව මැතිවරණයට බලපාවිදැයි සමහරුන් අහනවා. ඡන්දයක් මැද වාර්තා හා දූෂණ වංචා වාර්තා එළිදැකීම පුදුමයක් බවත් සමහරුන් කියනවා, ගයන්ත කරුණාතිලක කීය.   


‘ඡන්දයට මේකේ බලපෑමක් නැහැ. මහින්ද ලොකු ෂෝ එකක් දාලා පොහොට්ටුවේ වැඩ පටන් ගත්තා. ඡන්ද ප්‍රතිඵල අනුව පෙබරවාරිවල ශ්‍රී.ල.නි.ප. ය එජාපයේ ඔඩොක්කුවටම වැටේවි කියලයි ගම්වල අය කියන්නේ, එහි සිටි මැති ඇමතිවරුන් සියලු දෙනා කීවේ එවැන්නකි.   


‘ඊයේ එක ටී.වී. චැනල් එකක් බැඳුම්කර වාර්තාව ගැන බලන් ඉන්න බැරි තරමේ ලජ්ජ නැති රැඟුම කළා කියා මිනිස්සු මට කිව්වා. ඔය ටී.වී. කාරයාගේයි වටේ ඉන්න එජාප වීරෝධීන්ගේ ලණු කාලයි ශ්‍රී.ල.නි.ප. ය තවත් අනාථ වෙන්නේ, පී. හැරිසන් කීවේය.   


‘ජනාධිපතිතුමාත් ඔය අවස්ථාවාදීන්ගෙන් පරෙස්සම් විය යුතුයි. එතුමාගේ පක්ෂය ශ්‍රී.ල.නි.ප. ය වුණාට එතුමාගේ ඡන්ද පදනම තිබෙන්නේ එජාපය එක්කයි. ඒ අනුව වැඩ නොකළොත් එතුමාගේ රැකවරණයටත් අන්තිමට කවුරුවත් නැති වේවි” ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ අගමැතිවරයාද අනුමත කළේය.


 

කතානායකගේ දෙනෙත තෙත් කළ සිදුවීම

නව වසර උදාවීමට ඔන්න මෙන්න කියා තිබියදී ලෝකයේ සැතපුම් දහස් ගණනක් දුර බැහැර සිට පැමිණ නිවස පුරාම පැන ඇවිදින්නට වූ සුරතලුන් දෙදෙනකු කතානායකවරයාගේ නිවස ආදරයෙන් පුරවාලීය. මෙලෙස මහා බ්‍රිතාන්‍යයේ සිට මුත්තනුවන්, මිත්තනිය හා ඥාතින් දැකීමට පැමිණ සිටියේ මින් වසරකට පෙර ජීවිතයෙන් සමුගත් ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මියගේ (කරු ජයසූරිය මහතාගේ කනිටු දියණිය) දරු දෙදෙනාය.  


සිය පියා සමඟ ඔවුන් පැමිණ සිටියේ කුසෙහි හොවා සිටි සිය පුතුට නිරෝගී උපතක් ලබා දෙනුවස් පිළිකා රෝගයට ලබාදෙන වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් වැළකී සිටි සිය මව සිදුකළ ශ්‍රේෂ්ඨ ආත්ම පරිත්‍යාගය සිහි කරමින් බිහිකළ පිළිකා සරණ භාරයේ පළමු වසර සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැති වැඩ සටහනටද එක්වීමේ අරමුණෙනි.  


ස්වකීය කුස පිළිසිඳගත් පුත්‍ර සම්පත්තිය නිරුපද්‍රිතව ලෝකයට දායාද කළ ඇගේ අසිරිමත් මව් සෙනෙහසේ සංකේතය සිඟිති “ඩීලාන්” පුතුය.  


සිය මුත්තණුවන් දරන භාරධූර පදවි තානාන්තර ගැන වගේ වගක්වත් නොමැතිව ඔහුගේ අතට පැන බහ තෝරමින් උණුසුම සොයන පුංචි මුණුබුරා සහ මේ අපූරු මුත්තණුවන්ගේ සෙනෙහස දුටු මාධ්‍යවේදියකු කවි පද කිහිපයක් ලියා කථානායකවරයාට එවා තිබිණි. එහි මෙලෙස සටහන් විය.  


“නැලවිලි ගී අසන්නට නොසොයන් අම්මා  
දරු දුක මමත් කඳුළැලි සයුරක දැම්මා  
මගේ දෑතේ උඹට උණුසුම නැත නිම්මා  
බඩ බැඳ රකිමි නුඹ තනි නැත මයෙ අම්මා”  


ජීවිතයේ කොතරම් මිහිරි අමිහිරි අත්දැකීම්වලට මුහුණ දුන් පරිනත පුද්ගලයකු වුවද මෙම කවි පද කිහිපය කෙරෙහි කරු ජයසූරිය මහතා බෙහෙවින් සංවේදී විය.  


එය ලියා එවා තිබූ ප්‍රියන්ත කොඩිප්පිලි මාධ්‍යවේදියා අමතා බෙහෙවින් ස්තුති කිරීමටද ඔහු අමතක නොකළේය.  


කතානායකවරයා නිල වශයෙන් නව වසරේ වැඩ කටයුතු ආරම්භ කළේ සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා සමඟ එක්ව දිවුරුම් ප්‍රතිඥාව දීමෙන් අනතුරුවය. එහිදී හෙතෙම සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් නව වසරේ පූර්වාදර්ශයක් ලබාදීමට පාර්ලිමේන්තුව කටයුතු කරනු ඇති බවය.  


ඒ අනුව ආහාර නිපයුම සඳහා දිගුකාලීන හා කෙටි කාලීන භෝග පැළ බෙදාදීම ඇතුළු වැඩ සටහන් රැසක් පාර්ලිමේන්තුව කේන්ද්‍ර කර ගනිමින් නව වසරේ සැලසුම් කරන බවද හෙතෙම සඳහන් කළේය. 


 

දූෂණ සෙවීමේ කටයුත්තෙදි විනිවිදභාවයෙන් කටයුතු කළා

එක්සත් ජාතික පක්ෂයේ බියගම ආසන සංවිධායක ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා නව වසර ආරම්භයේදී පාක්ෂිකයන් මුණගැසුණේ වඩුවේගම ප්‍රදේශයේ ඉදිකළ අලුත් පක්ෂ කාර්යාලයේදීය. මේ අවස්ථාවට එජාප පාක්ෂිකයන් ආසන සංවිධායකයන් ඇතුළුව විශාල පිරිසක් සහභාගිවූ අතර චාරිත්‍රානුකූලව කිරි උතුරවා වැඩ කටයුතු ආරම්භ කිරීම සිදුවිය. පැමිණි ජනතාව සමඟ කතාබහ කරමින් ඔවුන්ට අලුත් අවුරුද්දට සුබ පතන්නටද ඇමැති රුවන් අමතක නොකළේය. මේ අවස්ථාවට පැමිණ සිටි මාධ්‍යවේදින් ඇමැති රුවන්ගෙන් බැඳුම්කර නිකුතු පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ගැන විමසූ විට අමාත්‍යවරයා කියා සිටියේ “අපිට 2015 දි ජනවරම ලැබුණෙ දූෂණ විරෝධී ස්ථාවරයකින් කටයුතු කිරීමට. ඒ කටයුත්තෙදි මේ කොමිෂන් සභාව විනිවිදභාවයකින් කටයුතු කළා. ඒ නිර්දේශ යථාර්ථයක් බවට පත් කිරීම සඳහා පියවර ගැනීම රජයේ වගකීමක්” කියාය.  


මේ අතර පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා බියගම ආසනයෙන් තරග කරන එජාප අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කර තිබූ කුඩා ජනහමු කීපයකටද ඇමැති රුවන් ගෙවී ගිය දින කීපයේදී සහභාගි විය.