ටිකෙන් ටික උණුසුම් ​ෙවන මනාප සටන


රටම උනන්දුවෙන් බලා සිටින මහ මැතිවරණය දවසින් දවස ළංවෙමින් තිබේ. ඒ නිසාම දේශපාලන කරළියද දිනෙන් දින ගිනියම් වෙයි. දවස් ගණනින් බැලුවොත් ඡන්දයට තවත් ඇත්තේ හරියටම දින 17 ක් පමණි. පක්ෂ අතර සටනකටත් වඩා මෙවර දකින්නට ඇත්තේ එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර මනාප සටනකි. ඇතැම් දිස්ත්‍රික්කවල එය ඉතා දැඩිව තිබෙන බවක් පෙනෙන්නට ඇත.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සති අන්තයේ ගත කළේ මහනුවරය. ඒ පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයන්ට සහාය පළකරමින් මාතලේ සහ මහනුවර පැවැති ජනහමු කිහිපයකටම ජනාධිපතිවරයා සහභාගිවීම හේතුවෙනි. ඉකුත් සිකුරාද‌ා දිනයේ ජනාධිපතිවරයා දවසම ගතකළේ මාතලේය. ඒ පොදුජන පෙරමුණෙන් මාතලේට තරග කරන අපේක්ෂකයන්ට සහාය පළකිරීම වෙනුවෙනි. ජනාධිපතිවරයා පොහොට්ටුවෙන් තරග කරන සියලුම අපේක්ෂකයන්ගේ එක ජනහමුවකට බැගින් සහභාගි වීමට තීරණය කර ඇති අතර ඒ අනුව අනුරාධපුරය, පොළොන්නරුව සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ජනහමුවලට මීට පෙර සහභාගි විය. ඉකුත් සතියේ සිකුරාද‌ා ජනාධිපතිවරයා මාතලේට ගියේ එහි තවත් පියවරක් වශයෙනි.


කොළඹ සිට ගුවනින් ගලේවෙලට ගිය ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයා විසිනි. ගලේවෙල නගරයේ ජනහමුවක් ද සූද‌ානම් කර තිබූ අතර ජනාධිපතිවරයා දැකගන්නට විශාල පිරිසක් පැමිණ සිටියහ. ජනාධිපතිතුමා විවේචනය කරනවා නම් ඔන්න හොඳ අවස්ථාවක් කියමින් ජනාධිපතිවරයා ජනතාව අතරට ගියේය. නෑ නෑ ඔබතුමා විවේචනය කරන්න දෙයක් නෑ. ඔබතුමා රටට ලොකු සේවයක් කරනවා රැස්ව සිටි පිරිසගෙන් ලැබුණු ප්‍රතිචාරය එය විය.


ජනාධිපතිවරයා ජනක තෙන්නකෝන් ඇමැතිවරයා ද නංවාගෙන ඊළඟට ගියේ දඹුල්ල පොළ භූමියේ පැවැති ජනහමුවටයි. ගලේවෙල සහ දඹුල්ල ජනහමු දෙකම සංවිධානය කරනු ලැබුවේ ජනක සහ ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසිනි. ප්‍රමිත ද මෙවර පොහොට්ටුවෙන් මාතලේට තරග කරන අපේක්ෂකයෙකි. ජනාධිපතිවරයා දඹුල්ලේදී ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ප්‍රශ්න විමසීය. ඔන්න ජනාධිපතිතුමා දඹුල්ලට ඇවිත් ඉන්නෙ, ඔබතුමාලට තියෙන ප්‍රශ්න ජනාධිපතිතුමාට කියන්න.’ ජනක කීවේය. රැස්ව සිටි පිරිස ලොකු ලූනු ප්‍රශ්නය ඇතුළු ප්‍රදේශයේ ජනතාවට තිබෙන කෘෂිකාර්මික ගැටලු ගැන ජනාධිපතිවරයා දැනුවත් කළහ.
ජනාධිපතිවරයා මාතලේ, ලග්ගල, රත්තොට, නාඋල ඇතුළු දිස්ත්‍රික්කය පුරා පැවැති ජනහමු අටකට පමණ සහභාගි විය. නාඋල ජනහමුව සංවිධානය කරනු ලැබුවේ ලක්ෂ්මන් වසන්ත  පෙරේරා හිටපු මන්ත්‍රීවරයා විසිනි. ජනක ද ජනාධිපතිවරයා සමග එම ජනහමුවට ගියේය. ජනාධිපතිවරයා වෙනුවෙන් එදින දිවා ආහාරය සූද‌ානම් කර තිබුණේ ලග්ගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසේය. ජනාධිපතිවරයා සමග දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ අපේක්ෂකයෝ ද දවල් කෑමට එහි පැමිණ සිටියහ.


මාතලේ රැස්වීම් හමාර කළ ජනාධිපතිවරයා හැන්දෑවේ මහනුවර බලා පිටත්ව ගියේ එදින රාත්‍රිය මහනුවර ජනාධිපති මන්දිරයේ ගත කිරීම සඳහාය.


ජනාධිපතිවරයා ඉකුත් සතියේ සෙනසුරාදාත් ඉරිදාත් දෙකම ගත කළේ මහනුවරය. ඒ දින දෙකේම පොදු ජන පෙරමුනේ අපේක්ෂකයන්ගේ ජනහමුවලට ජනාධිපතිවරයා සහභාගී විය. සෙනසුරාදා උදේ ජනාධිපතිවරයා දළදා වහන්සේ වැඳපුදා ගෙන මල්වතුඅස්ගිරි මහනාහිමිවරුන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට අමතක නොකළේය. සෙනසුරාදා හැන්ඳෑවේ ජනාධිපතිවරයා ජනහමුවලට ගොස් කටුගස්තොට දෙස සිට මහනුවර මන්දිරයට යන අතරේ රෝගියකු රැගත් ගිලන් රථයක් ද පසු පසින් මහනුවර දෙසට ධාවනය විය. ජනාධිපතිවරයා ආරක්ෂක නිලධාරින්ට දැනුම් දී තම වාහනය මාර්ගයෙන් අයින් කර ගත්තේ ගිලන් රථයට යාමට ඉඩ සලසමිනි. වාහන පේළි පිරිවරාගෙන ලයිට් ගසමින් පිම්මේ යන ඇතැම් අගමැතිවරුන් ද සිටින රටේ ජනාධිපතිවරයා මේ ආකාරයෙන් ආදර්ශමත්ව කටයුතු කිරීම එවෙලේ මඟ දෙපස සිටි බොහෝ දෙනාගේ ඇගයීමට ලක් විය.


ජනාධිපතිවරයාගේ ඒ විනය ගරුක බව බොහෝ දේශපාලනඥයන්ට ආදර්ශයක් බව ඔවුහු කියා සිටියහ.
ජනාධිපතිවරයා වෙනත් දිස්ත්‍රික්ක වල මෙන් මහනුවර ද සියලුම අපේක්ෂකයන්ගේ ජනහමු වලට සහභාගී වූයේ ඔවුන්ට සහාය පළ කරමිනි. පොහොට්ටුවේ අපේක්ෂකයන්ගේ පමණක් නොව පොහොට්ටුව ලකුණින් තරග කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ඇමැති සරත් ඒකනායක ඇතුළු අපේක්ෂකයන්ගේ ජන හමු වලට ද ජනාධිපතිවරයා සහභාගි වුයේ සියලු දෙනාට සම ලෙස සලකමිනි. මහනුවර ගත කළ දින දෙකේම අපේක්ෂකයන් සියලු දෙනාටම මහනුවර ජනපති මැඳුරේ දවල් කෑමට ද ජනාධිපතිවරයා ආරාධනය කළේය. සඳුදා දිනයේ නුවරඑළියේ රැස්වීම් යොදා ගෙන තිබු නිසා ජනාධිපතිවරයා තීරණය කළේ ඉරිදා රාත්‍රිය ද මහනුවරට ගත කිරීමටය. එහෙත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොවිඩ් රෝගීන් හමුවීමත් සමග නුවරඑළියේ රැස්වීම් අවලංගු කළ ජනාධිපතිවරයා එදින හවසම කොළඹ බලා පිටත්විය. 


මහින්ද මාතර යයි


අගමැති මහින්ද රාජපක්ෂ රාජපක්ෂ මහතා ඉකුත් සති අන්තයේ මාතරට ගියේ පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන්ට සහය පළ කිරීමේ ජන හමුවලට සහභාගී වීම වෙනුවෙනි. ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද පොහොට්ටුවෙන් ඉල්ලන සෑම අපේක්ෂකයකුගේම එක් ජන හමුවකට හෝ සහභාගී වෙයි. ජනාධිපතිවරයා ජනහමු ඇමතීමක් නොකළ ද අගමැතිවරයා ඒ සෑම ජනහමුවකටම සහභාගී වී රැස්වීම් ඇමතුවේ පොහොට්ටුවේ නායකයා වශයෙනි. ගිය සතියේ මාතරට ගිය අගමැති මහින්ද පිළිගනු ලැබුවේ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක අධ්‍යපන ඇමැති ඩලස් අලහප්පෙරුම විසිනි. ඩලස්ගේ රැස්වීම් සංවිධානය කර තිබුණේ කඹුරුපිටිය ආසන්නයේය. යටියන ප්‍රදේශයේ පැවැති එම ජනහමුවට අගමැතිවරයා සහභාගී වූ අතර කංචන විජේසේකර හිටපු මන්ත්‍රීවරයා ඇතුළු අපේක්ෂකයෝ පිරිසක් ද සහභාගි වූහ. යටියනින් අනතුරුව, අගමැතිවරයා හක්මණ, මුලටියන, මාකඳුර, දෙනියාය, මාතර, අකුරැස්ස, වැලිගම ආදී ස්ථාන රැසකම ජන හමුවලට සහභාගී වූයේ එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් සහාය පළකරමිනි.


එජාප අපේක්ෂකයෝ දෙදෙනෙක් මහින්දට එක් වෙති


මෙවර මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් මාතරට තරග කරන අපේක්ෂකයන් දෙදෙනෙක් එජාපයෙන් ඉවත්ව මහින්දට එකතු වූහ. එක් කෙනෙක් අකුරැස්ස එජාප සංවිධායක චන්දන ප්‍රියන්තය. අනෙක් කෙනා හක්මණ එජාප සංවිධායක එම්.ඒ. ප්‍රේමරත්නය. දෙදෙනාම මෙවර මහ මැතිවරණයට එජාපයෙන් මාතර තරග කිරීමට නාම යෝජනා බාර දී ඇත. මේ දෙදෙනා මාකඳුරේ මහින්දගේ රැස්වීමට කැඳවා ගෙන එනු ලැබුවේ හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසිනි. ඔහු ඔවුන් දෙදෙනා මහින්දට මුණ ගස්වන්නට පෙර බත්තරමුල්ල පොහොට්ටුව කාර්යාලයට කැඳවාගෙන ගොස් බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා මුණ ගස්වා තිබුණේ ඊට කලින් දවසේය. ඔවුන් දෙදෙනා මාකඳුරේ රැස්වීමේදී මහින්දට මුණ ගස්වා පොහොට්ටුවට එක් කර ගන්නැයි බැසිල් උපදෙස් දී තිබිණි.


පොහොට්ටුවේ මෙවර මහ ඡන්දයෙ අපේක්ෂකයන් අතර කියාපු සටනක් ඇත්තේ පොළොන්නරුවේ සහ මාතරය. පොළොන්නරුවේ හිටපු ජනපති මෛත්‍රීත් හිටපු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහත් අතර මනාප සටන ප්‍රබල ලෙස දකින්නට ලැබේ. ඊළඟ මානාප සටන ඇත්තේ මාතරය. ඊට එක් හේතුවක් වන්නේ මාතර දිස්ත්‍රික්කයට වෙන්ව තිබු මන්ත්‍රී ධුර අටෙන් එකක් මෙවර මොණරාගල දිස්ත්‍රික්කයට ඇතුළත් වීමය. මාතරට මෙවර ඇත්තේ මන්ත්‍රී දුර හතකි. ගියවර සන්ධානයෙන් පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරු පස් දෙනාම මෙවර පොහොට්ටුවෙන් තරග වඳිති.


ඊට අමතරව තවත් ප්‍රබල අපේක්ෂකයෝ කිහිප දෙනෙක් ද මෙවර එක්ව සිටිති.


මහින්ද යාපාත්, ලක්ෂ්මන් යාපාත් ඥාති සහෝදරයන් වුවද වසර ගණනාවක් තිස්සේ ඔවුන් දේශපාලන කරළියේ සිටියේ විරසකයෙනි. එහෙත් මෙවර යාපලා දෙන්නා එකට එක්ව සිටිති. ගිය සතියේ හක්මණ රැස්වීම්වලට ගිය අගමැති මහින්ද මාකඳුරෙ ලක්ෂ්මන් යාපා නිවසට ගියේද මහින්ද යාපා කැටුවය. ලක්ෂමන් යාපාගේ නිවසේ පැවැති ජන හමුවට ද මහින්ද යාපා එක්ව සිටිනු දක්නට ලැබිණි. යාපලා එක්ව ඇති බව මහින්ද ද එහිදී කිවේය. මහින්දගේ සහෝදරියකුගේ පුත්‍රයකු වන නිපුණ රණවක ද මෙවර මැතිවරණයට පොහොට්ටුවෙන් තරග වඳියි. මහින්ද නිපුණ රණවකගේ දෙනියායේ පැවැති රැස්වීමකට ද එදින පස්වරුවේ සහභාගී විය.


අගමැති ජනමාධ්‍ය ප්‍රධානීන් හමුවෙයි


අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් බ්‍රහස්පතින්දා උදෑසන අරගලියගහ මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන්, සාමාන්‍ය පරිදි හමුවුව ද මෙවර හමුවූයේ විශේෂ කරුණක් හේතුවෙනි. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ගිය සතියේ හමුවූ කොරෝනා පොකුරත් සමග කොරෝනා දෙවැනි ව්‍යාප්තියක් ඇතිව තිබෙන බවට ප්‍රවෘත්ති රට පුරා පැතිර ගියේය. දේශපාලන වේදිකාවේ පමණක් නොව ඇතැම් සමාජ මාධ්‍ය වල ද ඊට වැඩි ඉඩක් වෙන් වූ බැවින්, එහි සත්‍යතාව ගැන පැහැදිලි කිරීමට අගමැතිවරයාට අවශ්‍ය විය. මාධ්‍ය ආයතන ප්‍රධානීන් පුවත් පත් කතුවරුන් අරලිය ගහ මැඳුරට කැඳවුයේ එබැවිනි. සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍ර්‍රා වන්නිආරච්චි ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ, රජයේ වෛදය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිසක් ද කැඳවනු ලැබ සිටියේ කොරෝනා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු වලට පිළිතුරු දීම සඳහාය. අගමැතිවරයා දිගින් දිගටම කීවේ කොරෝනා දෙවන රැල්ලක් හෝ සමාජයෙන් පැතිරීමක් නැති බවය. එවැන්නක් කියන්නේ විපක්ෂයේ දේශපාලන වේදිකාවල බවද අගමැතිවරයා කීවේය. සෞඛ්‍ය අගමැතිවරයා කීවේය. සෞඛ්‍ය අැමතිවරියත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරායත් කීවේ කොරෝනා සමාජයෙන් පැතිරීමක් හෝ දෙවැනි රැල්ලක් ඇති වී නැති බවය. මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට්ටුව ද පසුගිය දින කිහිපයේදීම ආන්දෝලනයට ලක් වු මාතෘකාවකි. ඊට පිළිතුරු දෙමින් සෞඛ්‍ය ඇමැති පවිත්‍රා කීවේ ගැසට්ටුව අද හෙටම ගසන බවය.


දයාබර මැණිකේ පවිත්‍රාට බන්දුලගෙන් ලිපියක්


මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවෙන් අනතුරුව අගමැතිවරයා සියලු දෙනාටම උදේ කෑමට අාරාධනය කළේය. කැබිනට් මාධ්‍ය හමුව තිබෙන නිසා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා අගමැතිවරයාට ද කියා උදේ කෑමට ද නොඉඳ පිටව ගියේ පවිත්‍රා අතට ලිපියක්ද දෙමිනි. පවිත්‍රා ඇමැතිවරිය ලිපිය කඩා බැලුවේ අගමැතිවරයා ඇතුළු පිරිස ඉදිරියේය. හිනාව නවතා ගත නොහැකිව පවිත්‍රා ද ලිපිය කියවන්නට වූවාය. දයාබර මැණිකේ බන්දුල පවිත්‍රා ආමන්ත්‍රණය කර තිබුණේ මෙසේය. අගමැතිවරයා ඇතුළු හැමෝටම හයියෙන් හිනාය. ඇමතිතුමිය එක දිගටම කියවන්නකෝ. අගමැතිවරයා ද කීවේ හිනාවෙමිනි. පවිත්‍රා ද ලිපිය දිගමට කියවන්වනට වූයේ හැමෝගේම හිනා මැදය. දයාබර මැණිකේ හෝමාගම රෝහල ශික්ෂණ රෝහලක් කර ගැනීමට අපි කතා වූ පරිදි එය ඔබ සෞඛ්‍ය ඇමැති ලෙස ඉන්නා අතරතුර කර දේවි යැයි සිතුවත් එය දිනෙන් දින කල්ගියා. ඉතින් මම පොරොන්දු වූ පරිදි රත්නපුරේට විශ්ව විද්‍යාලයක් ලබා දෙන්න කටයුතු කළා. ඒ අනුව කල් යන්නට නොදී හෝමාගම රෝහල ශික්ෂණ රෝහලක් කර දෙන්න. පවිත්‍රා ලිපිය කියැවීය. එය හොඳින් අසා සිටි අගමැතිවරයා ආදරණීය ආමන්ත්‍රණයකුත් එක්ක බන්දුල ඇමතිතුමා පොඩි තර්ජනයකුත් කරලා නේ දැයි පවිත්‍රා දෙස බලමින් කීවේ හැමෝගෙම සිනා මැදය.


මෙවර කැබිනට් රැස්වීමේදී ද වැඩි වේලාවක් ගත වුණේ කොරෝනා ප්‍රශ්නය ගැන කතා බහ වෙනුවෙනි. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා රෝගීන් පිරිසක් හඳුනා ගැනීමත් එක්ක සමහරු අනියත බියක් රට තුළ ඇති කරන්න හදනවා. බය වෙන්න ඕන නෑ. අපි තත්ත්වය පාලනය කරලයි තියෙන්නේ. ජනාධිපතිවරයා කීවේය. අනතුරුව කතා කළේ අගමැතිවරයාය. මේක මේ මුළු ලෝකයම මුහුණ දෙන ප්‍රශ්නයක්. ලෝකයේ ඉහළම රටවලුත් මේ අභියෝගයට මුහුණපාලා තියෙනවා. නමුත් අපි ගන්න ක්‍රියාමාර්ග නිසා කොරෝනා පාලනය වෙලා. ඉදිරියටත් අපි හැම පියවරක්ම මේ වෙනුවෙන් ගන්නවා.


අගමැතිවරයා කීවේය. සර් රනිලුයි, සජිතුයි නම් කියන්නේ ඡන්දය කල් දාන්න කියලයි. ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා කීවේය. අපි එ්වට කලබල වෙන්න ඕන නෑ. ඒක ඒ අයගේ හැටි. එයාලා හැමදාම හදන්නේ බොරදියේ මාළු බාන්නනෙ. මහින්ද පිළිතුරු දුන්නේය.


රටේ ප්‍රශ්න විසඳන හැටි එජාප නායකයා පහදයි.


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ බියගම ආසනයේ පාක්ෂිකයන් හමුවීමට ගියේය. 1977 වර්ෂයේ සිටම බියගම ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා දිගු කලක් එම තනතුර දැරීය.


රනිල්ගෙන් පසු බියගම ආසන සංවිධායක ධුරයට පත්වූයේ හිටපු රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාය.
මැතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු පැවැති ජනහමුවලදී බියගම ජනතාව හමුවීම එජාප නායකයාට විශේෂයක්වී තිබුණි. රැස්වීම පැවැත්වූයේ බියගම පී.ටී. ගාඩ්න්ස් හෝටලයේදීය. එම හෝටලය පිහිටි ස්ථානයේ එදා ගෝනි කර්මාන්ත ශාලාවක් පැවැති බව ජනතාව හමුවේ ප්‍රකාශ කළ රනිල් එදා නරි හූ කී බියගම අද විශාල දියුණුවක් ලබා ඇති බව ද කීවේය.


තමන් බියගම ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කරද්දී තමන්ට සහාය දැක්වූ පාක්ෂිකයන් ගණනාවක්ම මෙහිදී හමුවී කතා බහ කිරීමට අවස්ථාව ලැබීම ගැන එජාප නායකයා බලවත් ප්‍රීතියට පත්ව සිටියේය. පැරණි මිතුරකු මෙහිදී ඔහුට පොතක් පරිත්‍යාග කළේය.


තවත් අයෙක් එජාප නායක රනිල්ගේ ඡායාරූපයක් පිරිනැමුවේය. ඒ ඡායාරූපය දෙස බැලූ එජාප නායකයා ෂා මම ඉන්නවට වැඩිය ලස්සනයි නේ කියමින් එය රුවන් විජයවර්ධනට ද පෙන්නුවේය. බියගමට අමතරව මිනුවන්ගොඩ මීරිගම ආදී ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන කීපයකම පැවැති රැස්වීම් ගණනාවකද රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.


පරපුර තරුණ ව්‍යාපාරයේ සමාරම්භක උත්සවය පිටකෝට්ටේ සෝලීස් ශාලාවේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවැත්විණි. සාගල රත්නායක, දයා ගමගේ යන හිටපු ඇමැතිවරුන් සමග එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් කළමනාකාර ලසන්ත ගුණවර්ධන ජාතික යොවුන් පෙරමුණේ සභාපති උදාර රත්නායක යන මහත්වරු ඇතුළු තරුණ සේවා සභාව ග්‍රීන් බ්ලඩ් සංවිධානය ජාතික යොවුන් පෙරමුණ යොවුන් පාර්ලිමේන්තුව ඇතුළු සංවිධාන ගණනාවක නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.
මෙම අවස්ථාවට සහභාගිවූ තරුණ පිරිසට එජාප නායක රනිල්ගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථා ලැබී තිබුණි. ඩිජිටල් මාධ්‍ය මගින්ද පිටස්තර අයට රනිල්ගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව හිමිවී තිබුණි.


තරුණ කණ්‍ඩායමෙන් එජාප නායකයාට ඉදිරිපත්වූ ප්‍රධානම ප්‍රශ්නය වූයේ තරුණ ප්‍රශ්න විසඳීමට එක්සත් ජාතික පක්ෂ රජයකට ඇති සැලැස්මය. රැකියා විරහිත බවට විසඳුම ආර්ථික ප්‍රශ්නයට විසඳුම තරුණ සුබසාධනය නගා සිටුවීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී විමසා සිටියහ. මහනුවර ඊ.එල්. සේනානායක ළමා පුස්තකාල ගොඩනැගිල්ලේ හා රත්මලාන එජාප බල මණ්ඩල රැස්වීමට ද රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේදී සහභාගි විය.


හිටපු රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ජාඇල, කටුනායක, සීදූව පැවැති පක්ෂ ක්‍රියාකාරී රැස්වීම්වලට ඉකුත්දා සහභාගි වූයේය. මීට අමතරව ප්‍රදේශයේ විහාරස්ථාන කීපයකටම ගොස් විහාරස්ථානාධිපති හිමිවරුන් බැහැ දුටුවේය. එහිදී විහාරාධිපති ස්වාමීන්වහන්සේ රුවන්ට ප්‍රකාශ කර සිටියේ ඔබට දෙන ඡන්දය අපතේ යන්නේ නැහැ යනුවෙනි.


ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවී සියලුදෙනා ඒකාබද්ධව පක්ෂයේ වැඩ කටයුතු කිරීම පිළිබඳවද රුවන් විජයවර්ධන මහතා සාකච්ඡා කළේය.


රුවන් විජයවර්ධන හා අර්ජුන රණතුංග හිටපු ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතුවූ මෙම අවස්ථාවට කිත්සිරි මංචනායක, වරුණ රාජපක්ෂ, අනිල් රොද්‍රිගු ඇතුළු අපේක්ෂකයෝ ගණනාවක් සහභාගි වූහ.
එහිදී රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම වැදගත් බවය. වෛද්‍ය උපදෙස් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් නොකිරීම පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ රුවන් විජයවර්ධන කියා සිටියේ රජය තමන්ගේ වාසියට කටයුතු කරන බවයි.


එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති හිටපු ඇමැති රවී කරුණානායක මහතා පසුගිය සතියේදී කොළඹීන් පිටත පැවැති දේශපාලන රැස්වීම් ගණනාවකටම සහභාගි වූයේය. කෑගල්ල, මඩකළපුව, ත්‍රිකුණාමලය, මහනුවර රත්මලාන හා මොරටුව රැස්වීම්වලට ඔහු සහභාගි විය.


මීට අමතරව පසුගිය සඳුදා කෝට්ටේ පිහිටි සෝලීස් ශාලාවේදී හිටපු ඇමැති රවි කරුණානායක මහතා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විද්වත් පිරිසක් හමු විය. විද්වතුන් 150 කට අධික පිරිසක් සහභාගිවූ මෙම අවස්ථාවේදී රවි කරුණානායක මහතා ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේය. කොරෝනා වසංගතයෙන් කඩා වැටුණු රටේ ආර්ථිකය යළි ගොඩනැංවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ වැඩ පිළිවෙළ කුමක්දැයි මෙහිදී විද්වතුන්ගෙන් ඉදිරිපත් වූ ප්‍රධානතම ප්‍රශ්නය විය.


රවී කරුණානායක හිටපු ඇමැතිවරයා මෙහිදී පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියේ රට ගොඩ නැංවීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග දැනටමත් සකස් කර ඇති බවයි. එම ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කළ රවී කරුණානායක මහතා මේ රටේ ආර්ථිකය ගොඩ දැමිය හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව ද ප්‍රකාශ කර සිටියේය.


මහරගම පිහිටි පෞද්ගලික ආපන ශාලාවකදී වෘත්තීය සමිති ගණනාවක නියෝජිතයන් හමුවූ රවි කරුණානායක මහතා එම වෘත්තීය සමිතිවලට සීමාවී ඇති ගැටලු පිළිබඳව වෙන වෙනම සාකච්ඡා කළේය. එම ගැටලුවලට එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ලබාදෙන සහන පිළිබඳව ප්‍රකාශ කළ රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ රජය යටතේ ලබා දෙන ලද සහන පිළිබඳවද අවධානය යොමු කළේය.


ආණ්ඩුව විසන්ධි කරන්න සජිත්ගෙන් සැලැස්මක්


සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතියේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූයේ ගෝල්ෆේස් හෝටලයේදීය.
සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට දුරකථනයෙන් කතා කළ මහ ලේකම් රංජිත් මද්දුම බණ්‍ඩාර සජිත් සමග හමුවට මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ආරාධනා කළේය. සජිත්ගේ ​ෙපෟද්ගලික ලේකම් රවි ජයවර්ධන ඔවුන්ට වෙනම ආරාධනාවක්ද යවා තිබුණේ එයට නිල වටිනාකමක්ද ලබා දෙමින්ය.


සඳුදා උදෑසන අටයි තිහවන විටම සජිත් ​ගෝල්ෆේස් හෝටලයට පැමිණ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග උදෑසන ආහාරය ගත්තේය.


පසුගිය ජනාධිපතිවරණයේදී පාවෙන ඡන්දදායකයින්ගේ ඡන්ද මගේ ප්‍රතිවාදියාට ලැබුණේ. ඒත් දැන් පාවෙන ඡන්ද දායකයා සිටින්නේ අපි සමගයි. සජිත් කතාව ආරම්භ කළේ ඇතැම් මාධ්‍ය විසින් තමන්ගේ අදහස් කට් ඇන්ඩ් පේස්ට් කර විකෘති කරන බවට සුහදව චෝදනාවක්ද කරමිනි.


මහ මැතිවරණයෙන් ජයගෙන ඔබ අගමැතිධුරයට පත්වුනොත් ජනාධිපතිවරයා සමග වැඩ කරන්නේ කොහොමද? මාධ්‍ය ආයතන ප්‍රධානියෙක් ඇසුවේය.


‘‘මට වැඩ කරන්න කිසිම ගැටලුවක් නැහැ. මම මහ මැතිවරණයෙන් පසුව පොලිටික්ස් පර්සනලයිස් කරන්නේ නැතිව ප්‍රයිවෙටයිස් කරන්නේ නැතිව වැඩ කරනවා. මැති ඇමැතිවරුන්ගේ රහස් ගනුදෙනු ඩීල් නැතිව ජනතාව වෙනුවෙන් සේවය කරනවා.’’ සජිත් ​උත්තර දුන්නේය.


සාකච්ඡාව අවසන් කිරීමෙන් පසුව සජිත් මාධ්‍ය ප්‍රධානීන් සමග ආගිය කතා කරමින් බොහෝ වේලාවක් ගත කළේය.


මෙයාගේ පිටේ නම් අලියෙක් ගහලා ඉන්නේ සජිත් මාධ්‍ය ආයතන ප්‍රධානියෙක්ගේ පිටට තට්ටුවක් දමමින් කීවේය.


‘‘ඉස්සර අලියෙක් හිටියේ. දැන් ඒක දුරකථනයක්වෙලා’’ තවත් මාධ්‍ය සගයෙක් කීවේ සියල්ලෝම සිනා ගන්වමිනි.


මේ හමුව අවසන් කළ සජිත් පැමිණියේ නෙළුම්පොකුණ රඟහලටය. ඒ සමගි ජන බලවේගයේ කාන්තා සමුළුවට සහභාගිවීමටය. ජලනි ප්‍රේමදාස, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කණ්ඩායමක් එය සංවිධානය කර තිබුණි.


අපි පසුගිය ජනාධිපතිවරණයේදී කාන්තාවන් වෙනුවෙන් ප්‍රඥප්තියක් එළිදැක්වූවා. අපි මේ මැතිවරණයෙන් පස්සේ එ්ක නීතියක් බවට පත් කරනවා. සජිත් සහතිකයක් දුන්නේ කාන්තාවන්ගේ මන්දපෝෂණය දුරු කරමින් නිරෝගී ශක්තිසම්පන්න මවක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ගැනද අදහස් දක්වමිනි.


මෙයට පැමිණි හිරුණිකා ගැන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත්වී තිබුණේය. මට ළමයෙක් හම්බවෙන්න ඉන්න නිසා ස්ටේජ් එකට යන්න පහසු වෙන්න තමයි ඒ ළඟ ආසනයක් ජලනි ප්‍රේමදාස මහත්මිය මට පෙන්නුවේ ඒකේ තත්පර දෙකක් විතර පෙන්නලා මට මඩ ගහනවා හිරුණිකා ඇත්ත කතාව පසුව හෙළි කළාය.


සජිත් මේ දිනවල සිටින්නේ රැස්වීම්වලට සහභාගි වෙමින්ය. විදුලි බිලට ජල බිලට සහනයක් ලබා නොදීම ගැන ඔහු රැස්වීම්වලට සහභාගිවෙන ජනතාවගෙන් විමසන්නේය.


විදුලි බිලට ජල බිලට සහනයක් ලැබුණු කවුරු හරි ඉන්නවා නම් අත උස්සන්න සජිත් අත් උසන්න යැයි කියන විට කිසිවෙක් අත් උස්සන්නේ නැත.


ආණ්‍ඩුව දැන් ඔබලාගේ විදුලි බිල විසන්ධි කරන්න යනවා. ඊට කලින් අපි ආණ්‍ඩුව විසන්ධි කරනවා සජිත් කියන්නේ ජනතාවට ලබාදෙන සහන ගැන ද සිහිපත් කරමින්ය.

 

-ගජබා-