​කොරෝනා ව්‍යසනය දුරුවෙන්න සෙත් පිරිත් දේශනයක් සහ සත්බුදු බෝධි වන්දනාවක් - රෝමයේදී


 

 

මැදින් පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට වැදගත් වූ උතුම් පෝ දිනයකි. අප බුදුපියාණන් වහන්සේ ජේතවනාරාමයේ සිට තමන් වහන්සේ උත්පත්තිය ලැබූ කිඹුල්වත් පුරයට වැඩම කරන්නට ගමන් ආරම්භ කළේ මෙවන් උතුම් පොහෝ දිනයකදීය. කිඹුල්වත් පුර සිසාරා හමා එන සුළඟත් සැපයි කියා බුදුන් වහන්සේ දේශනා කළේ තමන්වහන්සේ උත්පත්තිය ලැබූ කිඹුල්පුර පින්බිමක් නිසා වෙන්නට ඇති. එමෙන්ම නන්ද කුමරුගේ සහ රාහුල කුමාරයාගේ පැවිදිවීම ද මෙම මැදින් පුර පසළොස්වක පෝ දිනයේ සිදුවීම ද විශේෂත්වයකි.   


මෙම උතුම් පෝ දිනය නිමිති කරගෙන මාර්තු මස පළමු වැනි ඉරුදින දවස පුරා ශාක්‍යමුනි විහාරයේ බොහෝ පින්කම් සිදුකෙරුණි. මුළු ලෝකයටම බලපා ඇති සෞඛ්‍ය අර්බුදයකට ලක්ව ඇති, කොරෝනා ව්‍යසනයෙන් මියගිය අයට පිං අනුමෝදන් කිරීමත් සහ එම රෝගය වැළඳී දුක් විඳින අසරණ ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරමින් සත්බුදු බෝධිවන්දනා පිංකමක් සහ සෙත් පිරිත් සජ්ඣායනාවක් ද පැවැත්වූහ.   


සෑම මසකම පවත්වන ශීල භාවනා වැඩසටහන ද මැදින් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන පළමු වැනි ඉරුදින දවස පුරා පැවැත්විණි. රෝම ශාක්‍යමුනි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගරු සිද්දත්ථ සවාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ශීල භාවනා ධර්මදේශනා - ධර්ම සාකච්ඡා - පිරිත් තුන් සූත්‍රය දේශනා කිරීම සූත්‍ර පීඨකයේ පාලි භාෂාව සිංහලෙන් තේරුම් කර සූත්‍ර පිඨකයේ එක් සූත්‍රයක තේරුම පැහැදිලි කරදීම වැනි බොහෝ ආගමික කටයුතු සිදුකළහ.   

 

 


අප ශාක්‍යමුනි විහාරාධිපති ස්වාමීන් වහන්සේ මාර්තු මස තුන්වැනි දින ශ්‍රී ලංකාවට වැඩම කරවන නිසා ශ්‍රී ලංකාවේ සිට වත්තල වාලුකාරාමාධිකාරී වෙළඟපොළ ධම්මජෝති ස්වාමීන් වහන්සේ රෝම ශාක්‍යමුනි විහාරයට වැඩම කර ඇති අතර මාස එකහමාරක පමණ කාලයක් අප විහාරස්ථානයේ වැඩ වාසය කරමින් ආගමික කටයුතු සිදුකරනු ඇත. පළමු වැනි ඉරුදින පැවැත්වූ ශීල භාවනා වැඩසටහන් අවස්ථාවේ ද වෙළඟපොළ ධම්මජෝති ස්වාමීන් වහන්සේ ඉතාමත් සුමධුර වූ කාව්‍යන් ඇතුළත් ධර්ම දේශනාවක් පැවැත්වූහ.   
එදින දහවල් දානමය පිංකම සිදුකරන ලද්දේ ශාක්‍යමුනි විහාරස්ථානයේ දායිකාවන් කිහිප දෙනෙකුගේ එකමුතුවෙනි. කුමුදුනී රම්මුතු මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා අනුර වසන්ත කුමාර මහත්මා මියගොස් වසර පහක් ගතවීම නිමිති කරගෙන කුමුදුනී මහත්මියත් ඇයගේ මෑණියන් වූ චන්ද්‍රා මහත්මියත් පවුලේ සියලු දෙනාගේ එකමුතුවෙන් ලොවුතුරු අමාමෑණි බුදු පියාණන් වහන්සේට දහවල් බුද්ධ පූජාව පූජාකර, මහා සංඝරත්නයට දහවල් දානය පිරිනමා එදින සිල් සමාදන්ව සිටි උපාසිකාවන්ට දහවල් දානය පිරිනමා අෂ්ඨපරික්කාර පූජාවක් ද පූජාකර පිං අනුමෝදන් කළ අතර විහාරස්ථානයේ දායිකාවක් වූ ඩබ්.ඩී. ඉන්ද්‍රානි මහත්මියගේ දයාබර සොහොයුරා ජයසිරි මහත්මා හදිසි අනතුරකින් මියගොස් මාස තුනක් පිරීම නිමිතිකරගෙන එම මහත්මිය විසින් අෂ්ඨ පරික්කාර පූජාවක් ද පූජා කර මෙම දානමය පිංකමට දායකත්වය දී සිය සොහොයුරාට පිං අනුමෝදන් කළහ.   


මැදින් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන පැවැත්වූ මෙම පිංකමට විශාල පිරිසක් සහභාගි වූහ. මේ එම අවස්ථාවන් කිහිපයකි.   

 

 

 


ප්‍රේමා කංකානම්ගේ
රෝමය ඉතාලිය