සීගිරියට සමානව නිමවා ඇති ඊශ්‍රායෙලයේ හෙරෝද් රජුගේ ආලකමංදාව


 

ඊශ්‍රායෙලයේ සිට දකුණු දෙසට සැතපුම් අටක් ඔබ්බෙහි ගොවිබිම් සහ ඔලිව් වතු කාන්තාර වැලි තලාවේ කිඳී යන මායිමේ, පහතින් මළ මුහුදත් අනෙක් සෑම පසෙකින් ම ලේ රතු පැහැ ගත් කාන්තාර කඳුවැටි වලිනුත් වටවූ නිල් අහස පසුබිම් කරගෙන ඉහළට එසවීගත් ගිරි ශිඛරයකි. මෙහි බිම් ස්ථර තුනක පිහිටි උද්‍යාන, මාලිගා සංකීර්ණ දෙවොල් සහ, ඉහළම මට්ටමේ පිහිටා තිබුණු දැවැන්ත බලකොටුවක නටබුන් ද අපට සිහි ගන්වන්නේ කාෂ්‍යපගේ සීගිරියයි. එහෙත් එය ජුදයේ රජව සිටි හෙරෝද්ගේ වසන්ත මාලිගයයි. හෙරෝද්ගේ නිර්මාණ අතර ඔහු විසින් තම නමින් ම හැඳින්වීමට මනාප වූ හෙරොදියමයි. අද මෙය ඊශ්‍රායෙලයේ බටහිර ඉවුරට අයත් ය. 


ජුදයේ දේශපාලන අස්ථාවරභාවක් තිබූ යුගයක රෝම අධිරාජ්‍යයේ සහයෝගය ඇතිව හෙරෝද් බලයට පත්විය. එහෙත් ඔහුගේ රාජ්‍යත්වය තහවුරු වූයේ ඊට වසර තුනකට පසුව ජෙරුසලෙම අත්පත් කරගැනීමෙන් පසුව ය. 


ශුද්ධ බයිබලයේ අලුත් ගිවිසුමේ මතෙව්ගේ ශුභාරංචියට අනුව හෙරෝද් කුරිරු පාලකයෙකි. ඝාතකයෙකි. තම බිරිඳ ද ඇයගේ මව මෙන්ම තම ලෙයින් උපන් දරු තිදෙනෙකු ද මරා දැමුවෙකි. මරාදැමීමට තරම් බිළිඳු ජේසු සොයාගත නොහැකි වූ අවස්ථාවේ, සියළුම බිළිඳු පිරිමි ළමුන් මරාදැමුවේ ඔහු ය. ස්ත්‍රී ධුර්ථයෙකි. සංතෘෂ්ඨිය වෙනුවෙන් කාන්තාවකගේ ඕනෑම ඉල්ලීමක් ඉටුකරන්නෙකි. 


ඊශ්‍රායෙලයේ දැනට කර ඇති පුරාවිද්‍යාත්මක කැණීම්වලින් හෙළිවී ඇති පරිදි හෙරෝද් දක්ෂ යුද සෙන්පතියෙකි. එවකට ජුදා රාජ්‍ය සෞභාග්‍ය කරා ගෙනගියෙකි. රසකාමියෙකි. හෙරෝද්ගේ රසකාමිත්වය සහ නගර නිර්මාණ ශිල්පයේ දක්ෂතාව පෙන්නුම් කරන හොඳම නිදසුන වෙන්නේ හෙරොදියමයි. මෙහි පුරාවිද්‍යාත්මක කැණීම් නිල වශයෙන් ආරම්භවූයේ 1972 වසරේදී ය. 


හෙරොදියම කඳු ශිඛරයක් මත මට්ටම් තුනකට ඉදිවූවකි. පහළම මට්ටමේ වතුරමල්, පොකුණු ජල තටාක මෙන්ම, ගෘහස්ථ පිහිනුම් තටාකවලින් ද අලංකෘත උද්‍යානයකි. (ගෘහස්ථ පිහිනුම් තටාකය වර්ථමාන පාපන්දු පිටියක් තරම් විශාලව තිබී ඇත) විනෝදය සඳහා අවැසි සියළුම දේ එහි වූ බවට සොයාගෙන ඇති නටබුන් ශාක්ෂි දෙයි. දෙවැනි මට්ටමේ බිම් තට්ටුව මත මාලිග සංකීර්ණය ද, තුන්දහසකට අසුන් ගතහැකි එළිමහන් රංගන ශාලාවක් ද, තුරඟතරග පිටියක් ද, මේ සියල්ල මතින් නැගී සිටි මහා දෙවොලක් ද විය. මාලිග පරිශ්‍රයේ තිබී හමුවී ඇති අඩි දෙසීයක් පළල අඩි එක්දහස් දෙසීයක් දිග පඨය, එදා හමුදා ආචාර පෙළපාලි සඳහා යොදාගන්නට ඇති බවට අනුමාන කෙරේ. කඳු ශිඛර මස්ථකයේ තිබී ඇත්තේ සිවුමහල් දැවැන්ත බලකොටුවකි. අද නටබුන් බවට පත්ව ඇති මෙම බලකොටුව සිහි ගන්වන්නේ නිවී ගිය ගිනිකන්දක ආවාට ප්‍රදේශයයි. මේ සෑම බිම්තට්ටුවක් ම අංශක තිහක කෝණයකට මනාව තැණුනු පඩිපෙළින් සම්බධීකරණය කර තිබී ඇත. 


උද්‍යාන මාලිග සංකීර්ණ සහ බලකොටුව එකවර ඉදිකෙරී නැති අතර, වරින් වර වුවද එකිනෙකට ගැලපෙන අයුරින් මනා සම්බන්ධීකරණයකින් නිර්මාණශීලීව සියල්ල ගොඩනගා ඇත. බිසවුන් දසදෙනෙකු සහ දූදරුවන් fදාළොස්දෙනෙකු සමග හෙරෝද් රජු කුවේරයා මෙන් මෙහි කල්ගෙවන්නට ඇත. 


එළිමහන් රංගන ශාලාව මෙන් ම මාලිගයේ බිම සැරසූ ඇතැම් විසිතුරු මොසැයික් රටා ද අද සංරක්ෂණය කර සංචාරකයාගේ දැකගැනීම පිණිස විවෘත්ත කර ඇත. 
හෙරෝද්ගේ අවසන් කාලය ඉතාම ශෝචනීය විය. ඔහුගේ ආහාර රුචිය පහවිය. දෙපා ඉදිමී ගියේය. වකුගඩු රෝගයෙන් ද දියවැඩියාවෙන් ද පෙළෙන්නට විය. ශරීරයේ සහ ආමාෂයේ දැවිල්ලක් ද විය. ලිංගාශ්‍රිත රෝගයකින් ද පෙළෙන්නට වූ බව කියැවේ. සහෝදරියගේ කේලම්බස් අසා තම බිසවකව සිටි මීරියම් කුමරිය ඝාතනය කිරීම පිළිබඳව ද ඔහු පසුතැවෙන්නට විය. අවසානයේදී ජෙරිකෝ නගරයේ තිබූ මාලිගයේදී වයස අවුරුදු හැටනවයේදී හෙරෝද් අවසන් හුස්ම හෙළීය. 


හෙරෝද්ගේ අවසන් කැමැත්තට අනුව ඔහුගේ භූමිදානය කළ යුතුව තිබුණේ ඔහු විසින් නිර්මාණය කරගන්නා ලද හෙරොදියමේ ය. ජෙරිකෝවේ සිට හෙරොදියම දක්වා වූ සැතපුම් විසිපහක දුර, රන්දෝලාවක තැබූ හෙරෝද්ගේ දේහය මහත් ගරුසරින් ගෙන ආහ. හෙරොදියමේ මාලිග සංකීර්ණයත් උද්‍යාන කලාපයත් අතර වූ බෑවුමේ සූදානම් කරන ලද සොහොන් කුටියක හෙරෝද්ගේ දේහය තැන්පත් කර තිබී, පුරාවිද්‍යාත්මක කැණීම් මගින් 2007 අප්‍රේල් මස 24 වැනිදා සොයාගන්නා ලදී. 

 

 


හෙරෝද්ගෙන් පසුව දසවසරක ඔහුගේ පුතුගේ පාලන සමයේදීම ජුදා රාජ්‍ය බිඳවැටෙන්නට විය. ඒ සමගම හෙරොදියම ද නටබුන් බවට පත්වෙන්නට විය. ක්‍රි. ව. හැත්තෑවේදී සිදුවූ පළමුවැනි ජුදා විප්ලවයේදී හෙරෝද් රෝම අධිරාජ්‍ය ගැත්තෙකු ලෙස සලකා, ජුදා කැරළිකරුවන් විසින් ඔහුගේ සෙහොන් කුටිය පවා කඩා විනාශකර දමන ලදී. එහෙත් මෙම සොහොන් කුටිය දැන් පෙර වූ පරිද්දෙන් ම සංරක්ෂණය කර ඇත. 


කාෂ්‍යප පීතෘ ඝාතකයෙකි. හෙරෝද් තම ලෙයින් උපන් දරුවන් පවා මරාදැමූවෙකි. රෞද්‍ර බව මෙන් ම සෞම්‍ය බව ද, සහසික බව මෙන් ම කලාකාමී බව ද, දෙදෙනා තුළ ම විය. දෙදෙනම සොඳුරු පරිසරයක තමන් රිසි ලෙස මිහිබට ආලකමන්දාවන් ගොඩනගාගත්තෝ වෙති. කාෂ්‍යපගේ සීගිරිය මෙන් ම අද හෙරෝද්ගේ හෙරොදියම ද නටබුන් ය. සීගිරිය මෙන් ම හෙරොදියම ද ලොව ප්‍රධාන පෙළේ සංචාරක ආකර්ශණයන් ය. සීගිරියේදී පීතෘ ඝාතක කාෂ්‍යප කෙනෙකුන් හෝ හෙරොදියමේදී සහසික හෙරෝද් කෙනෙකුන් හෝ සංචාරකයා දකින්නේ නැත. මේ දෙතැනදී අද සංචාරකයා දකින්නේ රසකාමී නරපතීන් දෙදෙනෙකුගේ විශ්මිත නිර්මාණයන් දෙකක් පමණි. 


ජෙරුසලෙම් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති හෙරෝද්ගේ පැරණි පිළිරුවක්, සංරක්ෂණය කර ඇති හෙරෝද්ගේ සොහොන, එළිමහන් රංගන ශාලාව, මාලිගයේ බිමක් සමග හෙරොදියම ජායාරූපයන්ගෙන් දැක්වේ. 

 


යටියන 
ක්ලැරන්ස් කොස්තා. 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.