සයිකල් තරගවල ලෝක කුසලානට සමාන ප්‍රංශ සයිකල් සවාරිය ඇරැඹේ


 

ප්‍රථමයාට රුපියල් කෝටි 8 යි. දෙවැන්නාට රුපියල් කෝටි 4 යි. තුන්වැන්නාට රුපියල් කෝටි දෙකක් මුදලින් පමණක් ත්‍යාග ලෙස පිරිනමන ලෝකයේ පැරණිම ලෝක ප්‍රසිද්ධ 104 වෙනි ප්‍රංශ පාපැදි සවාරිය ජූලි මස 01 වැනි සෙනසුරාදා සවස 15.15 ට උතුරු ජර්මනියේ ඩසල්ඩෝෆ් නගරයෙන් ඇරඹීය. කි.මී. 14 ක දුර ප්‍රමාණයක් තනි තනියෙන් පාපැදිය පැදවීමෙන් මෙවර ප්‍රංශ සවාරිය ඇරඹුණු අතර විවිධ රටවල් 14 ක ලෝක ප්‍රසිද්ධ පාපැදි සංගම් නියෝජනය කරමින් කණ්ඩායම් 22 ක ජාතික ධජ 34 කට අයත් තරඟකරුවන් 198 ක් ප්‍රථම දින තරඟයට සහභාගී වූයේය.  


බ්‍රිතාන්‍ය ජාතික ක්‍රිස් පෝර්ම්, ප්‍රංශ ජාතික රෝ​ෙමන් බාර්ඩේ, කොලොම්බියානු ජාතික නයිරෝ කින්ටානා, ස්පඤ්ඤ ජාතික ඇල්බර්ටෝ කොන්ටඩෝර්, ඕස්ට්‍රේලියානු ජාතික රීචී පෝර්ත්, ජර්මන් ජාතික ටෝනි මාර්ටින්, ස්ලෝවේනියානු ජාතික පීටර් සෙගාන් යන සයිකල් ශූරයෝ මෙවර සවාරිය​ෙය් උණුසුම් සරන්කරුවන් ලෙස සැලකේ.  


අදියර 21 කින් අවසන් වෙන, මීටර් 2642 ක් උසැති කඳු මුදුන් තරණය කොට 23000 ක් වූ පොලිස් ආරක්ෂාව මැද ජර්මනිය, බෙල්රියම, ලක්සම්බර්ග්, ප්‍රංශය යන රටවල් හරහා කි.මී. 3540 ක් මෙවර ප්‍රංශ සවාරිය ධාවනයවේ.  


1970 දශකයේ මුල් කාර්තුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රිය ක්‍රීඩාවන් කිහිපයක් තිබුණි. වොලිබෝල්, පාපන්දු, බයිසිකල් රේස් ඒ දිනවල ලංකාව තුළ ඉතා ප්‍රසිද්ධ හා ජනප්‍රිය වී තිබූ බව එකල ක්‍රීඩාලෝලී ලක්වැසියෝ දනිති. මෙම ක්‍රීඩාවන්ට සමගාමීව ලංකාදීප පුවත්පත අනුග්‍රහයෙන් වාර්ෂිකව පැවැත්වූ ලංකාව තුළ ජනප්‍රිය ක්‍රීඩාවක් විය. එය දීපශීකා නම් වූ සමස්ත ලංකා දීපශිකා බයිසිකල් සවාරියයි. දින ගණනාවක් ශ්‍රී ලංකාව පුරා ධාවනය වූ මෙම සයිකල් රේස් බැලීමට අප කුඩා කල වතුර පුරවාගත් පලාස්ටික් බෑග් අතැතිව පාර දෙපස සයිකල් ශූරයෝ එනතුරු රැඳී සිටි අයුරු අදදමතකයට නැගෙනවිට දැ​ෙනන හැඟීම් ඒ තරමටම සුන්දරය. ඒ.එම්. සුමනවීර, මොරිස් කුමාරවේල්, බොනිෆස් ප්‍රනාන්දු, කිංස්ලි මෙන්ඩිස් ආදීන් ඒ දිනවල ලංකාවේ සිටි අති දක්ෂ සයිකල් ශූරයන් අතර සිටි කිහිප දෙනෙක් පමණය. සුමනවීර, බොනිෆස්, කඳු තරණයටද, කුමරවේල් හා කිංස්ලි මෙන්ඩිස් තැනිතලාවට ද ධාවන ශූරයෝ ලෙස කොල්ලො කුරුට්ටෝ වූ අපගේ තක්සේරුවයි. එදා මෙන් ජනතාව අතර ජනප්‍රිය වූ සිත් ඇඳ බැඳ ගන්නා බසියිකල් සවාරි දැන් අප රට තුළ මලානික වූ වකවානුවක, ලෝකයේ බොහෝ රටවල් එදාට වඩා අද උත්කර්ෂවත් ලෙස සැණකෙළි මෙන් සයිකල් සවාරි පැවැත්වීම අප රටවලට හොඳ ආදර්ශයත් සාක්ෂිත් සමගම සපයති.  


එයට ආසන්නම හොඳම සාක්ෂිය, ප්‍රංශ සයිකල් සවාරියයි. මේ දක්වා පවත්වන ලෝකයේ පැරණිම බයිසිකල් සවාරිය ප්‍රංශ සවාරියයි. පළමු හා දෙවැනි ලෝක යුද්ධ සමයන්හි වර්ෂ ගණනාවක් ප්‍රංශ සවාරිය පවත්වා නොමැත. ඒ අනුව මෙම වර්ෂයේ පවත්වන්නේ එහි 104 වැනි බයිසිකල් සවාරියයි. ප්‍රංශ සයිකල් සවාරිය ජුලි මස මුල් සතියෙන් ආරම්භවී දින 21 කට පසුව අවසන්වේ. එය නීතිගත නොවූ එද​ා සිට සම්ප්‍රදායානුකූලව පැවැත එන සිරිතකි. එයට ප්‍රධානම හේතුව මෙම සවාරිය ආරම්භ කළේ 1903 ජූලි 01 වැනිදාවක වීමයි. එම නිසාම ජූලි මස ප්‍රංශ බයිසිකල් සවාරියෙන් අවදි වෙන ප්‍රංශ ජාතිකයෝ එම සවාරියෙන්ම දවස නිමාකර නින්දට යති. 2013 දී ලොව ප්‍රථම සියවැනි සයිකල් සවාරිය සමරන්නේ ප්‍රංශයයි. එයද ඉතිහාසයට එක්වෙන අමරණීය සිහිවටනයකි. ප්‍රංශ සවාරිය මෙතරම් ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ ඇයි?  


ලෝකයේ ඇති පැරණිම සයිකල් තරගාවලිය මෙයයි. ලොව සිටින හොඳම සයිකල් ශූරයෝ සියල්ලෝම ප්‍රංශ සවාරියට තරඟ වදිති. ලොව ඇති හොඳම හා ප්‍රසිද්ධ සයිකල් ක්‍රීඩා සමාජයන් මෙයට එක්වෙති. වැඩිම දුර ප්‍රමාණයක් ධාවනය කරනුයේ මෙම සවාරියයි. ජයග්‍රාහකයන්ට වැඩිම මුදලක් පිරිනමන්නේ මොවුන්ය. ලෝකයේ වැඩිම පිරිසක් මෙය නරඹති. රූපවාහිනී චැනලයන් 118 කින් විකාශය කරති. ගුවන්විදුලි තරඟ මාලා 75 කි. ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩා පුවත් හා සඟරා 398 ක ප්‍රධාන මාතෘකාව ප්‍රංශ සවාරියයි. වෙබ් අඩවි 61 ක්ද, ජාතීන් 41 කට අයත් ජන මාධ්‍යවේදීන් 2500 ක් පමණද මේ සඳහා සහභාගී වෙති. ලෝකයේ රටවල් 186 ක රූපවාහිනී චැනලයන් හී ප්‍රදර්ශනය වන අතරම රටවල් 60 ක සජිව විකාශනයන් සිදුකරති.  


මේ අනුව මෙය ලෝකයේ සුප්‍රසිද්ධ සයිකල් සවාරිය වන අතරම, ඇත්ත වශයෙන්ම සයිකල් ක්‍රීඩාවේ ලෝක කුසලානය ලෙස හැඳින්වුවද එහි කිසිදු අතිශෝක්තියක් නොමැත. බයිසිකල් ශූරයන්ට ප්‍රංශ සවාරිය ජයගැනීම යනු එහි ලෝක කුසලානය ජය ගත්තා හා සමානය. වසර 4 කට වරක් පවත්වන ලෝක පාපන්දු ශූරතාවය හා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පසු ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩා උත්සවය ලෙස සැලකෙන්නේ මෙම ප්‍රංශ සවාරියයි.  


සෑම වසරකම ප්‍රංශ සවාරිය ගමන් කරන මාර්ගය බොහෝ විට වෙනස් කරනු ලැබේ. කඳු බෑවුම්, කඳු මුදුන්, තැනිතලා, ගල් බොරලු යන හැම බොධකයක්ම එම දුර ප්‍රමාණයටඇතුළත් වෙති. සවාරියේ අතුරු ඵලයන් ලෙස සෑම දිනකම සවාරියේ ආරම්භක හා අවසන් නගරයන්, ඊට වර්ෂයකට පමණ පෙර සිට අලුත්වැඩියා කරති. එම නගරයන් අලංකාර කරති. සියලුම පහසුකම් සම්පූර්ණ කරති. ඒ අනුව එම සෑම නගරයක්ම දියුණු වෙති. ඊට අමතරව සවාරිය ගමන් ගන්නා මුළු දුර ප්‍රමාණය අළුත්වැඩියා කරති. හොඳ තත්ත්වයේ ඇති විශාල මංමාවත් තව තවත් නවීන තාක්ෂණය ඇසුරෙන් උසස් ප්‍රමිතීන්ට ගෙන එති. ඒ අනුව මේ දක්වා ප්‍රංශය තුළ විශාල මාර්ග පද්ධතියක් ප්‍රංශ සවාරියට සමගාමීව දියුණූ කර ඇත. නගර හා ගම් දියුණු කර ඇත. ඒ නයින් ප්‍රංශ සවාරිය යනු ප්‍රංශ භූමිය වැඩි දියුණු කරවන එක්තරා ව්‍යාපෘතියක් ලෙස හැඳින්වීමේ වරදක් නැත.  


මෙම අවුරුදු 104 තුළ ප්‍රංශ සවාරිය ධාවනය කර ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර් 356,000ක් පමණ වන අතර එය පෘතුවියත් හඳත් අතර දුර ප්‍රමාණයට ඉතාමත් ආසන්නය.  


ප්‍රංශ සවාරියේ අතුරු ඵලයන් ලෙස සෑම දිනකම සවාරියේ ආරම්භක හා අවසන් නගරයන්, ඊට වර්ෂයකට පමණ පෙර සිට අලුත්වැඩියා කරති. එම නගරය අලංකාර කරති. සියලුම පහසුකම් සම්පූර්ණ කරති. ඒ අනුව එම සෑම නගරයක්ම දියුණු වෙති. ඊට අමතරව සවාරිය ගමන් ගන්නා මුලු දුර ප්‍රමාණයම අලුත්වැඩියා කරති. හොඳ තත්ත්වයේ ඇති විශාල මංමාවත් තව තවත් නවීන තාක්ෂණය ඇසුරෙන් උසස් ප්‍රමිතීන්ට ගෙන එති. ඒ අනුව මේ දක්වා ප්‍රංශය තුළ විශාල මාර්ග පද්ධතියක් ප්‍රංශ සවාරියට සමගාමීව දියුණුකර ඇත. නගර හා ගම් දියුණු කර ඇත. ඒ නයින් ප්‍රංශ සවාරිය යනු ප්‍රංශය වැඩිදියුණු කරවන එක්තරා ව්‍යාපෘතියකි.  


විවිධ නගරයන් ආරම්භක ස්ථානය වුවද මෙම සවාරිය අවසන් වෙන්නේ ප්‍රංශයේ අගනුවර වූ පැරීසියේදීය. පසුගියදා ත්‍රස්තවාදී ප්‍රහාර දෙකක් සිදුවූ ලෝකයේ ලස්සනම මාවත ලෙස හඳුන්වන පාරාදීසයේ ක්ෂේම භූමියවූ ඇවනිව් ජෙ ෂොම් සෙඑලිෂේ (්Avenue De Champs Elysse) යන සුප්‍රසිද්ධ මාවතේ ධාවන වට 10 කින් පසු මෙම ලෝක ප්‍රසිද්ධ ප්‍රංශ සවාරිය ජූලි මස 23 වැනි ඉරුදින අවසන් වීමට නියමිතය. එදිනට මෙම භූමිය සැණකෙළි භූමියකි. බැලූ බැලූ අත විවිධ හැඩයේ බයිසිකල් දැකගතහැක. ඒ දවස බයිසිකල් සැණකෙළියකි. මිනිස් හිස් ගෙඩි වලින් මුළු මාවතම වැසී යයි. උත්කර්ෂවත් සිරියෙන් බැබලෙයි. සත්‍ය ලෙසම ලෝකයේ ලස්සනම මාවත එදිනට බයිසිකල් පාරාදීසයේ ක්ෂේමභූමියකි.  
සුනිල් ආනන්ද  පැරිසියේ සිට.