සත්‍ය දෙස හෙළන බුද්ධිමය දෘෂ්ඨිය හෙවත් තෙවැනි ඇසින් ලොව දැකීම


තරගකාරී සමාජය තුළ අධිධාවනකාරී මිනිසා, ගිලිහී යන මානව හා පාරිසරික වටිනාකම් පිළිබඳව මෙනෙහි කිරීමට පවා කාලය අහිමි කරගෙන ඇත. දන්නා, එහෙත් අමතකව ගිය හෝ පිළිගැනීමට අකමැති යතාර්ථය පෙන්වාදී, සමාජය යහමඟ යැවීම යතිවරයාණන්ගේ කාර්යයයි. මේ අරබයා දලයි ලාමා විසින් විවිධ අවස්ථාවල කරන ලද දේශනයන්ගෙන් උපුටා ගන්නා ලද මෙම කෙටි ෙඡ්ද, ජීවිතයේ යතාර්ථය දෙස හෙළනු ලබන බුද්ධිමය දෘෂ්ඨියකි. 


අද මිනිසා තුළ පවත්නා කෲරත්වය දෙවියන් විසින් හෝ ඒ හා සමාන බලයක් ඇති වෙනත් මැවුම්කරුවකු විසින් හෝ මවන ලද්දක් නොවේ. එහි නිර්මාතෘවරයා මිනිසාමය. මිනිසා විසින් නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන දෙයක් ඉවත් කරන ලෙස ඉල්ලා දෙවියන් යැදීම නිෂ්පලය. මිනිසා තුළින් කෲරත්වය ඉවත් කළ යුත්තේ මිනිසා විසින්මය. 


බිහිසුණු සතුන්ගේ නිය තියුණුය. දත් දිගුය. උල්ය. පෙනුම රෞද්‍රය. ශරීරය ශක්තිමත්ය. එහෙත් මිනිසාගේ නිය තියුණු නැත. දත් කෙටිය. මුව කුඩාය. ගත සියුමැළිය. ශක්තිමත් බවද සිව්පාවකුට සමාන නැත. මිනිසා නිර්මාණයවී ඇත්තේ බිහිසුණු වීමට නොවේ. කාරුණික වීමටය. 


තවුසකුට වඩා ධර්මය අවශ්‍ය වෙන්නේ දේශපාලකයකුටය. තවුසා ධර්මයෙන් ඉවත් වූ විට මග වරදින්නේ ඔහුට පමණි. එහෙත් නොදැහැමි දේශපාලකයා හේතුවෙන් මුළු සමාජයම පීඩාවට පත්වේ. 


ඔබට රිදවන්නෝ කරනු ලබන්නේ ඔබේ ඉවසීම ප‍්‍රගුණ කිරීම සඳහා අවස්ථාව ලබාදීමය. ඔවුන්ගෙන් තොරව ඔබට ඔබේ ඉවසීමේ ශක්තිය උරගා බැලිය නොහැකිය. එය දේශකයන් දහසකගේ දේශනයෙන් වුවද කළ නෙහැක්කකි. ඉවසීම ඔබ අධෛර්යයට පත්කිරීමෙන් වළකයි. ඔබට රිදවන්නා කෙරෙහි ඔබ වෛර කළ යුතු නැත. ඔහු ඔබට ධර්මදේශකයන් දහසකට වඩා වටනේය. 


ඉතිහාසයේ අඳුරුම යුගයක අප උපත ලබා ඇතැයි අපි සිතමු. එම අභියෝගය ජය ගැනීමට අපට ශක්තිය හා ධෛර්යය අවශ්‍ය වේ. ශක්තිය හා ධෛර්යය උරගා බැලීමට අපට අවස්ථාව ලබාදෙන්නේ නම්, එය අඳුරු යුගයක් වීමට කිසිසේත්ම බැරිය. අපි වාසනාවන්තයෝ වෙමු. 


මිනිසාට ශක්තිය හා ධෛර්යය ලැබී ඇත්තේ ඒ පිළිබඳව පුරසාරම් දෙඩීමට හෝ එය ප‍්‍රදර්ශනය කිරීමට හෝ නොවේ. වරද දුටුවිට එයට එරෙහිව නිවැරැද්ද වෙනුවෙන් පෙනී සිටීමටය. 


ඔබ තුළ දුක හෝ වේදනාව හෝ ඇත්නම් ඉන් මිදීම සඳහා කළ යුතු දේ සොයා බැලිය යුතුය. කළ හැකි දෙයක් වේ නම්, ඔබ දුක වේදනාව පිළිබඳව කම්පා විය යුතු නැත. දුක හා වේදනාවෙන් මිදීම සඳහා කළ හැකි කිසිවක් නැතිනම්, එවිට ද කම්පාවීම නිෂ්පලය. 


ත්‍යාගශීලී වීම සඳහා ඇල්මෙන් බැඳීමෙන් මිදිය යුතුය. ඇල්මෙන් බැඳීමෙන් මිදීම සඳහා සියල්ල අතහැර සමාජයෙන් වෙන්ව යා නම්, ත්‍යාගශීලී වෙන්නේ කාටද? 


නොගැලපෙන දේ අප විසින් තවත් රැකගැනීමට උත්සහ කරනු ලබන්නේ එය ඉවත්කර දැමීමට ඇති අකමැත්තට වඩා, ඉවත දැමූ පසුව එය අන්සතු වේ යැයි යන ආත්මාර්ථකාමී සිතුවිල්ල නිසාය. මෙය ප්‍රේමය සම්බන්ධයෙන් වඩාත් ගැලපේ. අද ප්‍රේමයේ නාමයෙන් කෙරෙන බොහෝ අපරාධවලට හේතුව මෙයයි. 


ශාස්තෘවරයකු පූජනීය වෙන්නේ ඔහුගේ දේශනයෙන් නොවේ. එම ධර්මය වෙනත් කෙනෙකුන් විසින් පිළිපැද, සාර්ථක ප‍්‍රතිපල ශාක්ෂාත් කරගැනීමෙන් පමණි. 


පූජකයකුට හෝ දේශපාලකයකුට කිරීමට අසීරු අන්දමින් මිනිසාගේ රසඥතාව, සිතුම් පැතුම් පමණක් නොව ගතිපැවතුම් ද වෙනස් කිරීමේ මාහැඟි ශක්තියක් මාධ්‍ය සතුය. එබැවින් සමාජ සුභසාධනය මාධ්‍යයේ පරම යුතුකම විය යුතුය. 


 තෘෂ්ණාව නොහොත් ඇලීම ධනයට, රූපයට, සමාජ හෝ ආර්ථික තත්ත්වයට, ආහාරයට ලෙස විවිධ ය. රාගයට ඇලීම තරම් බිහිසුණු ඇලීමක් තවත් නැත. එය පංචේන්ද්‍රියම ඇදබැඳගනී. මිනිසා තුළ ආකූල ව්‍යාකූලතා නිර්මාණය කරමින් පරිහානිය කරාගෙන යයි. 


රාගී හැඟීමට අවනතවීම දදයක් කැසීමට සමානය. දදය කැසීමෙන් ලබන්නේ තාවකාලික සුවයක් පමණි. එය සදාකාලික නැත. නිය පහරින් දදය තවත් අනතුරුදායක වේ. දදයට හේතුව සොයා එය සුවපත් කළ යුතුය. සදාකාලික සුවය වෙන්නේ එයයි. 


කාලයත් අපත් නොනැවතී ඉදිරියට ගමන් කරමින් සිටිමු. මේ මොහොතේ අප අතින් සිදුවෙන කිසියම් වරදක්, ඊළඟ මොහොතේ අතීතයට එක්වී හමාරය. කාලය මෙන්ම අපට ද අතීතයට ආපසු යා නොහැකි බැවින්, වැරදී ගිය තැනක් නිවැරදි කරගැනීම සඳහා දෙවැනි අවස්ථාවක් ලැබෙන්නේ නැත. 


පොළොව අපට මවක හා සමානය. අප විසින් කරනු ලබන දේ ඇය විසින් මැදිහත් සිතින් විඳ දරාගන්නීය. එහෙත් වර්ථමානයේ වැඩිවෙන ජනගහණය පෝෂණය කිරීමත්, මිනිසා විසින් කරන ලබන පරිසර දූෂණයත්, ඇයට ඔරොත්තු නොදෙන තරම් ය. සියල්ල විඳ දරාගැනීමේ සීමාවක් ඇයට ද ඇත. 


මානව වර්ගයාගේ යහපැවැත්ම සඳහා මිනිසා හා මිනිසා අතර මෙන්ම, මිනිසා හා පරිසරය අතර ද අන්‍යෝන්‍ය සබඳතාවය වැදගත්ය. න්‍යෂ්ටික ප‍්‍රහාරයකින් සිදුවෙන්නේ මිනිසා මෙන් ම පරිසරය ද විනාශවී යාමය. මෙය වැළැක්වීම සඳහා විශ්වීය අවබෝධයක් මිනිසා තුළ තිබිය යුතුය. 


මිනිසා සත්වයකු බැවින් තිරිසන් බව මිනිස් හද පත්ලෙහිද නිද්‍රාශීලීව ඇත. මනස කැළැඹුණු ඇතැම් අවස්ථාවක එය හිස ඔසවයි. එහි ආක‍්‍රමණශීලී බව මර්දනය කරගැනීමට මිනිසා උගත යුතුය. 


මිනිසා විසින් වඩාත්ම හීලෑ කරගත යුත්තේ මනස ය. හීලෑ නොකළ මනස අත්තෙන් අත්තට පැන යන රිළවකුට සමානය. හුදකලාව ඉබාගාතේ පැන යයි. ධනාත්මක නොවූ ඍණාත්මක සිතුවිලිවල එල්ඹගැනීම, හීලෑ නොකළ මනසේ ස්වභාවයයි. 


ව්‍යසනයකදී මුලින්ම කළ යුත්තේ විපතට පත්වූවන්ට පිහිට වීමය. විපතට හේතුව හා දේශපාලන වගකීම සොයාබැලීම පසුවටය. මෙවැනි ඉන්දියානු කියමනක් ඇත. විස හී පහරක් ලද විට මුලින්ම කළ යුත්තේ එය ඉවත් කිරීමය. විස හීය විද්දේ කවුරුන් ද, එයට කවා ඇත්තේ කිනම් විසක් ද යන්න සොයා බැලීම දෙවැනි කාර්යයකි. 


තමන්ගේ යහපත, තම පවුලේ යහපත හෝ තම රටේ යහපත පිළිබඳව පමණක් සිතීම ප‍්‍රාථමික චින්තනයකි. අප පොදුවේ සිතිය යුත්තේ මානව සංහතියේ පොදු යහපත පිළිබඳවය. මේ ශතවර්ෂයේ අධ්‍යාත්මික හා භෞතික ගෝලීය සංවර්ධනය සඳහා එය අත්‍යවශ්‍යය. 


මානව සංහතියේ අභිවෘද්ධිය පතා බටහිර තාක්ෂණය හා පෙරදිග දර්ශනවාදය එක්තැන් කිරීමට කාලය දැන් පැමිණ ඇත. 


දලයි ලාමා විසින් විවිධ අවස්ථාවල පවත්වන්නට යෙදුණු දේශන කොටස් අඩංගු THE DALAI LAMA'S BOOK OF DAILY MEDITATION ග‍්‍රන්ථයෙන් උපුටාගන්නා ලද මෙම ෙඡ්දයන් සිංහලට පරිවර්ථනය කළේ,

 


යටියන 
ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.