යුනෙස්කෝවේ මුල් පුටුව ප‍්‍රංශයේ දෙදරු මවකට


 

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ පැරීසිය මූලස්ථානය කොට ක‍්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනේස්කෝ ආයතනයයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස 45 හැවිරිදි ප‍්‍රංශ ජාතික ඔඩ්රේ අශුලේ මහත්මිය තෝරා පත් කර ගත් බව පැරිස් මූලස්ථානය ප‍්‍රකාශයට පත් කළේය. 


රටවල් 195ක් සමාජිකත්වය දරන එයින් රටවල් 58ක් විධායක සභාව ද නියෝජනය වෙන යුනේස්කෝ ආයතනයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් තෝරා පත් කර ගැනීම සඳහාවූ ඡන්ද විමසීම පසුගිය සතිය පුරාවට පැරිස් යුනේස්කෝ මූලස්ථානයේදී පැවැති අතර, ඒ සඳහා අසර්බයිජානය, වියට්නාමය, චීනය, ඊජිප්තුව, කටාර් රාජ්‍ය, ගෝතමාලා, ඉරාකය, ලෙබනනය සහ ප‍්‍රංශය යන රටවල අයදුම්කරුවන් 9 දෙනෙකු ඉදිරිපත් වූහ. ප‍්‍රථම හා දෙවැනි වටයේ ඡන්ද විමසීමෙන් පසු කටාර් රාජ්‍ය, ඊජිප්තුව සහ ප‍්‍රංශ අයදුම්කරුවන් හැර අනෙක් සය දෙනා තම අයදුම්පත් ඉල්ලා අස්කර ගත් හෙයින් විධායක සභාවේ නිත්‍ය නියෝජිතයන් 58 දෙනා ඉදිරියේ ඉහත අයදුම්කරුවන් තිදෙනා අතර සිව්වැනි වටයේ ඡන්ද විමසීමේදී කටාර් රාජ්‍යයට ඡන්ද 22ක් ද ඊජිප්තුව හා ප‍්‍රංශය සමව ඡන්ද 18 බැගින් හිමිකර ගත්තේය. 


එහිදී කටාර් රාජ්‍යයේ අයදුම්කරු මුදල් අල්ලස් ලබාදී ඡන්දයට බලපෑම් කර ඇති බවත් ඒ සම්බන්ධව පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් පවසමින් ප‍්‍රංශ ජාතික අයදුම්කරුට ඡන්දය පාවිච්චි කරන මෙන් ප‍්‍රකාශයක් කරමින් ඊජිප්තු ජාතික අයදුම්කරු හිටපු ඇමතිවරයෙකු වූ මුසහිරා කහීටාබ් මහත්මිය තරගයෙන් ඉවත් වූවාය. එබැවින් අවසන් පස්වැනි වටය සඳහා කටාර් රාජ්‍යයේ හමාඩ් බෙන් අබ්දුල් අසීස් අල්කවාරී මහතා හා ප‍්‍රංශ ජාතික ඔඩ්රේ අශුලේ මහත්මිය තේරී පත්වූ අතර අවසන් ඡන්ද විමසීමෙන් කටාර් රාජ්‍යය ඡන්ද 28ක් ද ප‍්‍රංශය ඡන්ද 30ක් ද ලෙස ලබා ගනිමින් ප‍්‍රංශයේ හිටපු සංස්කෘතික හා ජන සන්නිවේදන ඇමති ලෙස කටයුතු කළ ඔඩ්රේ අශුලේ මහත්මිය ඉදිරි වසර 5 සඳහා යුනේස්කෝ ආයතනයේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ලෙස තේරී පත් වූවාය. 


1972 අගෝස්තු මස 04 වැනිදා පැරීසියේදී මොරොක්කෝ ජාතික යුදෙව් පවුලකට දාව උපත ලැබූ ඇය පාසල් අධ්‍යාපනයෙන් පසු පැරීසියේ පිහිටි සයන්ස්පෝ දේශපාලන උසස් අධ්‍යාපන පීඨය, රාජ්‍ය කළමනාකරණය පිළිබඳ උසස් අධ්‍යාපන පීඨය, ඩෝර්ෆින් සරසවිය සහ එංගලන්තයේ ලැන්කැස්ටර් සරසවියේ අධ්‍යාපනයෙන් පසු ප‍්‍රංශ රාජ්‍ය සිවිල් සේවයට එක් වෙමින් වසර 2003 දී සංස්කෘතික හා ජන මාධ්‍ය කටයුතු පිළිිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත්වේ. ඉන්පසු වසර 2008 දී ජාතික සිනමා හා සජීවිකරණ ඡායාරූප මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකාවක් ලෙස සේවය කළාය. ඒ අතරතුර ප‍්‍රංශ චිත‍්‍රපටි දෙකක සහකාර අධ්‍යක්ෂ ලෙස සහායවී ඇත. වසර 2014 දී හිටපු ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද් මහතාගේ සංස්කෘතික හා ජන සන්නිවේදන පිළිබඳ විශේෂ ජනාධිපති උපදේශිකාවක් ලෙස ජනාධිපති මැදුරේ කාර්යමණ්ඩලයට එක්වේ. අනතුරුව වසර 2016 දී සිදුවූ ඇමති මණ්ඩල සංශෝධනයේදී සංස්කෘතික හා ජන සන්නිවේදන ඇමති ලෙස තේරී පත්වී 2017 ජුනි මස දක්වා ඇමති ලෙස කටයුතු කළාය. 


ප‍්‍රංශ ජන සන්නිවේදන ක්‍ෂේත‍්‍රයේ සාධනීය වෙනස්කම් රැසක් සිදු කිරීමට මූලිකව කටයුතු කළ අවංක සරල උගත් කාන්තාවක් ලෙස ප‍්‍රංශ රාජ්‍ය සේවය තුළ පිළිගැනීමට ලක්වේ. කාන්තා අයිතීන් වෙනුවෙන් ප‍්‍රබල හඬක් නගන ඇය ප‍්‍රංශ සමාජවාදී පක්ෂයේ සමාජිකාවකි. හිටපු ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද් මහතාගේ සහකාරිය වූ ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ සිනමා නිළි ජුලියා ගයේට්ගේ කිට්ටුම හිතවතියකි. 


ඇගේ පියා අන්​ඩ්‍රෙ​ෙර් අශුලේ ප‍්‍රංශ බැංකු ක්‍ෂේත‍්‍රයේ ඉහළම තනතුරු දැරූ මුල්‍ය කටයුතු පිළිබඳ උගතෙකි. මොරොක්කෝවේ නැසීගිය දෙවැනි හසන් රජුගේ හා වර්තමාන පස්වැනි මොහොමඩ් රජුගේ ද ප‍්‍රධාන උපදේශකයෙකු ලෙස වසර 1999 සිට ඔහු සේවය කරයි. 


යුනේස්කෝ ආයතනයේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඔඩ්රේ අශුලේ මහත්මිය දරුවන් දෙදෙනෙකුගේ මවකි. 


සුනිල් ආනන්ද 
පැරීසියේ සිට