සත්වයා නම් කායික මානසික ධර්මතා සමූහයක සංකලනයකි. අප මරණය යැයි කියන්නේ ශරීරය සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රීය වූ විටය. ශරීරය අක්‍රිය වූ පමණින් මේ ධර්මතාවල ශක්තින් නිෂ්ක්‍රීය නොවේ. මේ භව ගමනේ දී එම ශක්තීන් වෙනත් විවිධ ස්වරූපයන්ගෙන් පෙනී සිටින අතර එම සංසිද්ධිය පුනර්භවය හෙවත් ප්‍රතිසන්ධිය ලෙස හඳුන්වනු ලැබේ.   


මේ සංසිද්ධියට අදාළව සාකච්ඡාවට භාජනය වන ගැටලු දෙකක් පැන නගී. ඒවා නම් මරණින් පසු නැවත උපදින්නේ කවුද? සහ භවය තුළ රැස්කළා වූ කර්මවල විපාක විඳින්නේ කවුද යන්නයි. නාම රූප පටිච්ච සමුප්පාදය චිත්ත රූපයන්ගේ ආයු කාලය සහ නාම රූප පරම්පරාවල ස්වභාවය සැලකිල්ලට යොමු කරමින් ඉහත ගැටළු දෙක පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.   


නාම රූප විභාගය   


ඉතා වේගයෙන් ඉපිද ඉපිද බිඳී බිඳී යන රූප වේදනා, සංඥා, සංඛාර සහ විඤ්ඤානය යන පංචස්කන්ධයට අයත් නාම රූප ධර්ම හැර මේ සත්ත්ව සන්තානයෙහි ස්ථීර වූ නිත්‍ය වූ අන් කිසිවක් නැත්තේය. සත්ත්වයා නිර්මාණය වී ඇත්තේ මේ නාමකය සහ රූපකය යන දෙකෙහි සංකලනයෙනි. වේදනා, සංඥා, සංඛාර සහ විඤ්ඤාන යන ස්කන්ධ සමූහයට නාමකය යැයි කියනු ලැබේ. මෙම ලිපියෙහි නාමකය යන්නෙන් විශේෂයෙන් විඤ්ඤානය හෙවත් චිත්තය පිළිබඳව සාකච්ඡා කෙරේ. රූප ස්කන්ධ රූපකය ලෙස හැඳින්වේ.   


අරමුණු දැන ගන්නා ආකාරයෙන් එකක් වුවද කාමාවචර සිත් 54, රූපාවචර සිත් 15, අරූපාවචර සිත් 12 සහ ලෝකෝත්තර සිත් 8 යනුවෙන් විඤ්ඤාණයෙහි ප්‍රභේද 89 කි. තවත් ආකාරයකින් සිත් 121 ක් ලෙස ද දැක්වේ. මහා භූත රූප සතර ප්‍රසාද රූප පහ ගෝචර රූප පහ භාව රූප දෙක හදය රූපය, ආහාර රූපය යනුවෙන් නිෂ්පන්න රූප 18 ක් ද ආකාශ ධාතුව විකාර රූප 5 ලක්ෂණ රූප 4 යනුවෙන් අනුෂ්පන්න රූප 10ක් ද වශයෙන් රූප 28 කි.    


පටිච්ඡ සමුප්පාදය   


අනවරාග්‍ර සංසාරයේ සත්වයා මැරෙමින් ඉපදෙමින් යන සංසාර ගමන සිදුවන ආකාරයත් එය නවතාලන ආකාරයත් බුදු ඇසින් දටු සේක. එය පහදා වදාළ ප්‍රධාන දේශනාවකි පටිච්ච සමුප්පාදය. සත්ත්වයා අතීත භවයේ අවිජ්ජාවත් සංඛාරත් මේ භවයේ ප්‍රතිසංධි විඤ්ඤාණ ප්‍රධාන කොට විඤ්ඤාණ නාමරූප සලායතන ඵස්ස, වේදනා, තණ්හා උපාදාණ කම්ම භව සමග විපාක විඳිමින් සහ සංස්කාර එකතු කරමින් සිටියි. මේ එකතු කරගන්නා සංස්කාර නිසා නැවත සත්ත්වයාට උත්පත්ති භවයක්, ජාතියක්, ජරාවක්, මරණයක්, ශෝක, පරිදේව උපායාස, දුක්ඛ දෝමනස්ස ඊළඟ භවයේදී ලැබෙන බව පටිච්ඡ සමුප්පාද ධර්මය පැහැදිලි කරයි. ඒ අනුව භවයෙන් බවයට නාමරූපයන්ගේ ඇතිවීම හේතු ඵල දාමයක් සේ ගලායයි.   


චිත්ත රූපයන්ගෙන් ආයු කාලය   


සිත යනු ඉතා කෙටි කාලයක් තුළ ඇති වී පැවති නිරුද්ධ වීම ස්වභාව කොට ඇති ධර්මයකි. ක්ෂණය යනු ඉතාම කෙටි කාලයක් හඳුන්වන පදයකි. සිත උපදින කාලය උත්පාද ක්ෂණයයි සිත පවතින කාලය ස්ථිතික්ෂණයයි. සිත නිරුද්ධ වන කාලය භංගක්ෂණයයි. මෙලෙස සිතක් ඉපිද පැවත නිරුද්ධ වීමට ගතවන කාලයට සිත්තක්ෂණයක් යැයි කියනු ලැබේ. එනම් චිත්තයක ආයු කාලය චිත්තක්ෂණයකි. චිත්තක්ෂණයක කාලය තප්පරයකින් ලක්ෂයෙන් පංගුවටත් වඩා අඩුය.   


එක් එක් සත්ත්වයෙකු පිළිබඳ වූ චිත්ත සන්තතිය අනාදිමත්ය. එක් සිතක් ඉපිද තිබී නැතිවීම සමගම තවත් සිතක් ද ඉපිද තිබී නැතිවීම චිත්ත සන්තතියේ ස්වභාවයයි. සිත ඉපදීමේ සහ නැතිවීමේ ක්‍රමය ඉතා සූක්ෂම බැවින් එහි වෙනස අපට දත නොහැකිවේ.   


අපට පෙනෙන සියලුම වස්තුන් සැදී තිබෙන්නේ රූප කලාපවලිනි. ඉහත විස්තර කළ චිත්තක්ෂණ 17ක් එක රූපයක ආයු කාලය වෙයි. චිත්තක්ෂණ 17ක් හෙවත් ක්ෂණ 51 ක් වූ රූපයක පළමු ක්ෂණය උත්පාද අවස්ථාවයි. පනස් එක්වැනි ක්ෂණය රූපයක භංග අවස්ථාවයි. අතරමැද පවත්නා ක්ෂණ 49 රූපයක ස්ථිති අවස්ථාවයි.   


ඒ අනුව සිතක් මෙන් නොව රූපයක උත්පාද, ස්ථිති සහ භංග යන අවස්ථාවල ආයු කාලය එක සමාන නොවේ. එක වස්තුවක ඇති වයසින් නොයෙක් ප්‍රමාණ වන රූප සියල්ලම ගැන චිත්ත විථි ඇති නොවේ. චිත්තවිථි ඇතිවන්නේ එක වස්තුවක ඇත්තාවූ වයසින් සමාන වූ රූප සමූහයක් අරමුණු කරගෙනය.   
අපට පෙනෙන වස්තුන්හි ඇති රූප කලාප චිත්තක්ෂණ 17න් නැති වී යන නමුත් ඒ වස්තුවල අමුත්තක් නොපෙනෙන්නේ කරුණු 2ක් නිසාය. උදාහරණයක් ලෙස අබ ඇටය ගතහොත් අබ ඇටය එක දෙයක් නොව රූප කලාප කෝටි ගණනක සමූහයකි. එක වස්තුවක රූප කලාප සියල්ලම නොබිඳීම එක් කරුණකි. බිඳෙන රූප කලාප වෙනුවට ඒ ඒ තැන්වලම අලුත් රූප කලාප පහළවීම තවත් කරුණකි. එම වෙනස් වීම ක්ෂණිකව සිදුවන බැවින් එම වෙනස් වීම සත්වයාගේ ඉන්ද්‍රියනට ග්‍රහණය කර ගත නොහැක. එබැවින් රූප නොවෙනස්ව පවතී යැයි සිතේ. අබ ඇටය දෙස බලා සිටිය දී එය වෙනස් වන බව නොපෙනේ.   


නාම රූපයන්ගේ සංකලනයකින් සැකසී ඇති සත්ත්වයාගේ එක් භවයකට අයත් ජීවිතය කෙළවර වීම මරණය ලෙස හැඳින්වේ. එයට සම්මුති මරණය යැයි කියනු ලැබේ. මෙලොව උපත ලැබූ සත්ත්වයකු ආයුක්ඛය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය සහ උපච්චේදක මරණය යන ක්‍රම සතරින් එක් ආකාරයකින් මරණයට පත්වේ. සත්ත්වයා වර්තමාන භවයේ සිට ඊළඟ භවයට යාමේදී එනම් ප්‍රතිසන්ධියේ දී විශේෂ සිත් කිහිපයක් පහළ වේ. ඒවා නම් මරණාසන්න චිත්ත වීථිය චුති චිත්තය සහ ප්‍රතිසන්ධි චිත්තය වේ.   


මරණාසන්න චිත්ත වීථිය   


ඉහතින් විස්තර කරන ලද සතරාකාර මරණයන්ගෙන් කුමන හෝ ක්‍රමයකින් මරණයට පත්වන සත්වයකුට මරණාසන්න මොහොතේ දී තමා විසින් ජීවත්වුනු කාලය තුළ දී කරන ලද කුසල් හෝ අකුසල් සහගත කර්මයන් සිතට නැගෙයි. එබඳු කර්මයක් සිතට අරමුණු නොවුණි නම් කර්මය කිරීමට පාදක වූ කිසියම් නිමිත්තක් සිතට අරමුණු වෙයි. උදාහරණයක් ලෙස දැක්වුවහොත් සතුන් මැරීමට ගත් දඬු, මුගුරු, තුවක්කු ආදිය සිහියට නැගෙයි.   


එසේත් නැතිනම් ගති නිමිත්තක් අරමුණු වෙයි. එනම් මතු භවය සම්බන්ධ යම් යම් දේ දැකීමය. සිතට අරමුණු වූ කර්මය, කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත යහපත් එකක් නම් එකී මරණාසන්න පුද්ගලයාට කුසල් සිතක් ද අයහපත් එකක් නම් අකුසල් සිතක් ද උපදී. ඒ වනාහි ඒ පුද්ගලයාට ඇතිවන අවසාන චිත්ත විථියයි. එයට මරණාසන්න චිත්ත විථිය යැයි කියනු ලැබේ.   


චුති චිත්තය   


මරණාසන්න චිත්ත විථිය දුර්වල එකක් බැවින් අනිකුත් චිත්ත විථිවලදී මෙන් නොව ජවන් සිත් 7ක් නූපදි. උපරිම වශයෙන් ජවන් සිත් පහක් ඉපිද නිරුද්ධ වීමෙන් අනතුරුව වර්තමාන භවයේ අවසාන චිත්තය වන චුති චිත්තය ඉපිද නිරුද්ධ වේ. ඒ අවස්ථාව මරණය නමින් හැඳින්වේ. 

 

අමර සතරසිංහ
අභිධර්මාචාර්ය දර්ශනපති