IMG-LOGO

දුම්රිය ටිකට් පත සහ මුද්‍රා තබන මැෂිමේ කතාව

 

කෝච්චියෙන් ගමන් බිමන් යන්න අපි කවුරුත් ගොඩක් කැමතියි. කෝච්චියට නගින්න දුම්රිය ස්ථානයකට ගියාම අපි ඉස්සෙල්ලාම කරන්නේ, දුම්රිය ස්ථානයේ ටිකට් කවුළුවට ගිහිල්ලා වලංගු ප්‍රවේශපත්‍රයක් ගන්න එකයි. දුම්රියක් ගමනාන්තය දක්වාම ගමන් කරන විට කිහිප වතාවක්ම දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරනවා. දුම්රිය ප්‍රවේශ පත්‍රය කාඩ්බෝඩ් කැබැල්ලක තමයි මුද්‍රණය කරලා තියෙන්නේ.   


දුම්රිය සහ දුම්රිය මාර්ග පද්ධතිය බ්‍රිතාන්‍යයන් විසින් ලොවට ද‌ායාද කළා සේම දුම්රිය ඉතිහාසයට බ්‍රිතාන්‍යයන් එක් කළ තවත් ද‌ායාදයක් තමයි දුම්රිය ටිකට්පත් ක්‍රමය. අද ලෝකයේ බොහෝ රටවල භාවිතයට ගන්නා දුම්රිය ටිකටිපත්වලට එඩ්මන්සන් දුම්රිය ටිකට්පත් කියලා තමයි කියන්නේ. ශ්‍රී ලංකාවේ ද භාවිතයට ගැනෙන්නේ එඩ්මන්සන් දුම්රිය ටිකට් පත්‍රයි. එඩ්මන්සන් දුම්රිය පත්‍ර ක්‍රමය ලොවට හඳුන්වා දුන්නේ බ්‍රිතාන්‍ය ජාතික තෝමස් එඩ්මන්සන් කියන දුම්රිය ස්ථානාධිපතිවරයා විසිනි. තෝමස් එඩ්මන්සන් 1792 ජුනි 30 ද‌ා එංගලන්තයේ ලැන්කැස්ටර් කියන නගරයේ තමයි ඉපදිලා තියෙන්නේ. ඔහු දක්ෂ වඩු කාර්මිකයකු වන අතර කැබිනට් නිෂ්පාදන සමාගමක කැබිනට් නිෂ්පාදකයෙකු වශයෙන් සේවයේ නියුතුව සිටි අයෙක්.   


ඔහු 1836 දී එංගලන්තයේ නිව්කාසල් සහ කාර්ලිඩ්ලී දුම්රිය මාර්ගයේ, මිල්ටන් කියන දුම්රිය ස්ථානයේ (අද මෙම දුම්රිය ස්ථානය බ්‍රැම්ප්ටන් යන නමින් තමයි හඳුන්වන්නේ) දුම්රිය ස්ථානාධිපතිවරයා වශයෙන් වයස අවුරුදු 44දී සේවයට පත්වෙනවා. ඒ අවධියේදී ටිකට්පත් නිකුත් කරන්නේ, දුම්රිය වේදිකාවේ ඉඳලයි. කොළයක දුම්රිය ගමන් ගන්නා වේලාව, ගමන්වාරය පටන් ගන්නා දුම්රිය ස්ථානය සහ ගමන් වාරයේ මිල ආදිය අතින් සටහන් කිරීමෙනි. මෙය පිටපත් තුනකින් සමන්විත වූවක්. ඒ පිටපත් තුනම අතින්ම තමයි ලියන්න සිදු වුණේ. එකක් දුම්රියේ ගමන් කරන මගියාටත්, පිටපතක් නිකුත් කරන නිලධාරියාටත්, අනෙක් පිටපත දුම්රියේ ගාර්ඩ්වරයාටත් වශයෙන් පිටපත් තුනම අතින් තමයි ලියන්න සිදු වුනේ. තවදුරටත් එහි මගියාගේ නම ගමන් කරන දුම්රියේ නම, දිනය, ගමන් ආරම්භ කරන දුම්රිය ස්ථානය සහ ගමන් වාරය අවසන් කරන දුම්රිය ස්ථානයේ නම ආදියත් සඳහන්ය. ටිකට් පත මිලදී ගන්නා අවස්ථාවේදී ටිකට් පතේ සඳහන් මුදල ලබා නොගන්නා අතර එය ගමන් වාරය තුළදී ගාර්ඩ්වරයා විසින් ලබා ගත්තා. දුම්රියේ ගමන් කිරීමට නියමිත දිනයට පෙර මෙම ටිකට් පත්‍රය මිලදී ගත යුතු වුණා.   


​ෙමම ක්‍රියාද‌ාමය ඉතා වෙහෙසකර කාර්යයක් වුණා මෙන්ම මගීන් වැඩිපුර දුම්රිය භාවිතයට ගන්නා දුම්රිය ස්ථානවල දිගු පෝලිම් දක්නට ලැබුණා. ඒ නිසා තෝමස් එඩ්මන්සන් ඒවා සමහර අවස්ථාවලදී කාල වේලා ඇතිව කොළවල ලියා තබා ගැනීමට පටන් ගත්තා. ඒ අතර ඔහු ඒවා කුඩා කාඩ්පත්වල මුද්‍රණය කිරීමටද උත්සාහ කළා. මෙම කාඩ්පත්වල දිනය මුද්‍රණය කිරීමට ලීවලින් අච්චුවක්ද තෝමස් එඩ්මන්සන් විසින් නිෂ්පාදනය කළා.   
පසුව බ්‍රැම්ප්ටන් නගරයේ ඔරලෝසු කාර්මිකයකු වූ රැල්ෆ කැරින්ස් දිනය මුද්‍රණය කිරීමට හැකි අච්චුවක් සහිත යන්ත්‍රයක් එඩ්මන්සන්ට හදලා දුන්නා. ඒ සමගම මෙම දුම්රිය ප්‍රවේශ කාඩ්පත් පිළිවෙළකට තැබීම සඳහා එඩ්මන්සන් විසින් ලී කැබිනෙට්ටුවක්ද නිර්මාණය කරා. එය අද එඩ්මන්සන් දුම්රිය ටිකට් කැබිනෙට්ටුව ලෙසට නම් කරනවා. ඒ වාගේම ලංකාවේ තියෙන සෑම දුම්රිය ස්ථානයකම අදත් මෙම එඩ්මන්සන් ටිකට් කැබිනෙට්ටුව තමයි භාවිතයට ගන්නේ.   

 


1839 මැයි මාසයේදී එඩ්මන්සන් ටිකට් පත්‍ර ක්‍රමය මුළු මහත් එංගලන්තයේ දුම්රිය පද්ධතියේම භාවිතය සඳහා ගැනීමට ආරම්භයට ගත්තා. දුම්රිය ප්‍රවේශ පත්‍රයක සම්මත දිග සහ පළල සෙන්ටිමීටර්වලින් 5.57 සහ 3ක් වෙනවා. මෙම ප්‍රවේශ පත්‍ර ක්‍රමය බ්‍රිතාන්‍යයේ ප්‍රචලිතවීමත් සමගම ලෝකයේ දුම්රිය මාර්ග ව්‍යාප්තව තිබුණ වෙනත් රටවල්වලත් මෙම ප්‍රවේශපත්‍ර ක්‍රමය භාවිතයට ගැනීම ආරම්භ කරා. ඒ අතර ටිකට් පත් පරික්ෂා කිරීමේදී ඒවා සටහන් කිරීමට සුවිශේෂි වූ අඬු වර්ගයක්ද නිෂ්පාදනය කළා. ඒ මගින් ටිකට් පත්‍රයේ විවිධ හැඩයට කුඩා කොටසක කැපුමක් සිදු කරනවා.   


එඩ්මන්සන් දුම්රිය ටිකට් පත්‍ර ලංකාවටද, දුම්රිය මාර්ග ව්‍යාප්තිය සමගම හඳුන්වා දෙනු ලැබුවා. දැනට දුම්රිය ටිකට් පත්‍ර මුද්‍රණය කරන කාඩ්බෝඩ් විශේෂය නෙදර්ලන්තයෙන් ආනයනය කරලා ශ්‍රී ලංකාවේදී මුද්‍රණය කරනවා. මෙම දුම්රිය ටිකට් පත්‍ර මුද්‍රණය කරන කොළවල තියෙන විශේෂත්වය තමයි බිමට වැටුණත් එය එක තැනකට තමයි වැටෙන්නේ. සුළඟට පාවෙලා යන්නේ නැති ස්වාභාවයක් තමයි තියෙන්නේ. 

 
භාවිතයට ගැනෙන දුම්රිය ටිකට් පත්‍ර වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි දුම්රිය වේදිකා ටිකට් පත්, අනෙක තමයි දුම්රියේ ගමන් කිරීමට භාවිතයට ගන්නා ටිකට් පත්‍ර. අද ශ්‍රී ලංකාවේ භාවිතයට ගන්නා එඩ්මන්සන් දුම්රිය ටිකට් පත්‍රයක ටිකට්පත් අංකය සඳහන් වෙනවා, ඊට අමතරව ගමන්වාරය පටන් ගන්නා දුම්රිය ස්ථානයත්, ගමන්වාරය අවසන් කරන දුම්රිය ස්ථානයත්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව ටිකට් පත්‍රයේ වටිනාකමත්, ටිකට් පත්‍රය වලංගු පංතියද සඳහන්ය. (පළමු පංතිය, දෙවන පංතිය සහ තුන්වන පංතිය). ඒ සමගම නිකුත් කළ දිනයට පමණක් වලංගු බව භාෂා මාධ්‍ය තුනෙනුත් සඳහන් වෙනවා. ටිකට් පත්‍රය මැද රතු වර්ණයෙන් ආරක්ෂිත ඉරි තුනක් දක්නට ලැබෙනවා.   


ඔබ මිලදී ගන්නා දුම්රිය ටිකට් පත්‍රය එඩ්මන්සන්ගේ දිනය සටහන් කරන යන්ත්‍රය තුළට දැමීමෙන් පසු එහි වලංගු දිනය සටහන් වෙනවා. දුම්රිය වේදිකා ටිකට් පත්‍රයකින් දුම්රියේ ගමන් කළ නොහැකි නමුත්, දුම්රිය වේදිකාවට පමණක් එයින් ප්‍රවේශ විය හැක. වලංගු ටිකට් පත්‍රයක් මිලදී ගෙන දුම්රිය ස්ථානයට ඇතුළුවීමේදී ටිකට් පත්‍ර පරික්ෂා කරනවා. එවිට එම ටිකට් පත්‍රයේ අඬුවක් වැනි පංචරයෙන් සටහනක් තබනවා. එවිට එහි කොටසක් එක් හැඩයකට ඉවත් වෙනවා. ඒවාගේම දුම්රියේ ගමන් කරන විටදී නැවත ටිකට් පරික්ෂක විසින් ඔහු සතුව ඇති පංචරයෙන් නැවත ටිකට් පත්‍රයේ සටහනක් කරනවා. එවිටත් ටිකට් පත්‍රයේ යම් හැඩයකට කුඩා කොටසක් ඉවත් වෙනවා.   

 

 

 

 

 

 

ඉන්දක කරුණාද‌ාස



අදහස් (0)

දුම්රිය ටිකට් පත සහ මුද්‍රා තබන මැෂිමේ කතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 503 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site