IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අවුරුදු නිවාඩුවේ දේශපාලන කතාබහක්

සිංහල - හින්දු අලුත් අවුරුදු නිවාඩුවත් සමඟ නිහඬ වන දේශපාලනය මෙවර එලෙස නිහඬ වූවේ නැත. නිවාඩුවට සිය ගම් බිම් බලා ගිය මැති ඇමැතිවරුන් විමසිලිමත් වූයේ අවුරුදු ද‌ා දේශපාලන ක්ෂේත්‍රයේ සිදු වන්න යන්නේ මොනවාද කියාය.


සිංහල අවුරුදු නිවාඩුවට නුවරඑළියට ගොස් සිටි අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ද මැති ඇමැතිවරු මේ ගැන විමසන්න වූහ. අගමැතිගේ පිළිතුර වූවේ ‘අපි බලමු කෝ’ යන්නය.


අගමැතිවරයා සිංහල අලුත් අවුරුදු නිවාඩු සමය නුවරඑළියේ ගත කරන්න තීරණය කර තිබුණි. එයට හේතුව අගමැතිවරයාට නිවාඩුව ගැනීම නොව සිය කාර්ය මණ්ඩලයට රිසි සේ අවුරුදු නිවාඩුව ගත කිරීමට අවස්ථාව සලසා දීමය.


අගමැතිවරයාගේ මේ තීරණය හේතුවෙන් කලාතුරකින් නිවාඩු ගැනීමට අවස්ථාව උද‌ාවන ආරක්ෂක අංශ නිලධාරීන්ට අවුරුදු නිවාඩුව සිය ඥ‌ාතීන් සමඟ ගතකරන්න හැකි විය.
අගමැති රනිල් අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරමින් පුණ්‍ය කාලයේදී නුවරඑළිය-මහගස්තොට, ශ්‍රී සේනානන්ද‌ාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත විය. විහාරාධිපති රාජකීය පණ්ඩිත කලුගහකදුරේ විජිත හිමියෝ විහාරස්ථානයට පැමිණි අගමැති රනිල් ප්‍රමුඛ මැති ඇමැතිවරුන්ට ආශිර්වාද කරමින් සෙත් පිරිත් සජ්ඣායනා කළහ. ඒ අවස්ථාවට ජනමාධ්‍ය සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ද එක්ව සිටියේය.


ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව අගමැතිවරයා සිය නිල නිවසට පැමිණ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමග එක්වී අවුරුදු චාරිත්‍ර ඉටු කරමින් කිරි උතුරවා එහි පැමිණ සිටි පිරිස සමඟ අවුරුදු සැමරූහ.


ඉන් අනතුරුව නුවරඑළිය නගරයට පා ගමනින් පැමිණි අගමැති රනිල් දුටු නිවාඩුව ගත කිරීමට නුවරඑළියට විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි ජනතාව රටේ අගමැති සමඟ සුහද පිළිසදරෙහි යෙදෙන්න ද අමතක නොකළහ.


නුවරඑළිය අගමැති නිල නිවස අසල හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ පෞද්ගලික නිවස ද පිහිටා තිබේ. පා ගමනින් නුවරඑළිය නගරය දෙසට පැමිණි අගමැතිවරයාට රෝහිත බෝගොල්ලාගම ද හමු වූවේ ඔහු ද පා ගමනින්ම නුවරඑළිය නගරයට යමින් සිටියදීය.


අවුරුදු නිවාඩුව අවසන් කළ අගමැතිවරයා ඉකුත් බද‌ාද‌ා කොළඹ පැමිණ සිය නිල රාජකාරි ආරම්භ කළේය. පළමුව ඔහු වරාය නගර ව්‍යාපෘතියේ මෙන්ම වරාය අධිකාරියේ නිලධාරීන් ද හමු වී එහි වැඩකටයුතු පිළිබඳ සොයා බැලූ අතර ව්‍යාපෘතියේ ඉදිකිරීම කරන චයිනා මර්චන්ට් සමාගමේ නිලධාරීහු ද ඊට සහභාගි වී සිටියහ.
මේ ව්‍යාපෘතියෙන් බදු ගෙවීම් නිසි ලෙස රටට ලැබිලා තිබෙනවා ද? අගමැති නිලධාරීන්ගෙන් විමසා සිටියේය.


අවුරුදු නිවාඩුවට ගම් රටවල් බලා ගොස් සිටි මැති ඇමැතිවරුන් සුපුරුදු පරිදි ඉකුත් බ්‍රහස්පතින්ද‌ා අරලියගහ මන්දිරයට පැමිණියේ අගමැතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි වීමටය.


අගමැතිවරයාට අවුරුදු සුබ පැතුම් එක් කළ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මුලින්ම හඬ අවදි කළේය.


‘සර්, අවුරුදු දවස්වල ආණ්ඩුව පෙරළෙනවා...


ඇමැතිවරුන් අත්අඩංගුවට ගන්නවා ව​ෙග් කතා ගියානේ? හැබැයි මුකුත් වුණේ නැහැනේ? ඔහුගේ පැනයට අගමැතිවරයා සිනා සෙද්දී හඬ අවදි කළේ රන්ජන් රාමනායකය.
‘ඕක ඔය ජනාධිපතිතුමා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේ කළ කතාවක්නේ? කර්තෘවරුන් අලුත් ආරංචි අහද්දී එතුමා කියා තිබෙනවා අවුරුදු නැකත් උද‌‌ාවෙන විට හොඳ දෙයක් වෙයි බලා ගන්නකෝ කියලා... මේ කතාවට නේ සර්, තටු හම්බ වෙලා ති​ෙබන්නේ.’ රන්ජන් කීවේ කාගේත් සිනා මැදය.


‘පුවත්පත්වල සේවකයන්ට අවුරුදු දවසෙත් වැඩ කරන්න එන්න වෙයි කියා ප්‍රධානීන් දැනුම් දීලා තිබෙනවා.’ වෛද්‍ය කාවින්ද ජයවර්ධන හඬ අවදි කළේය.


‘මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විශ්වාස කරන්න බැරි කෙනෙකුනේ? ඒකයි ඔය කතාවට තටු ලැබුණේ.’ චමින්ද විජේසිරි කී කතාව සැවොම හිස සලා අනුමත කළහ.
‘මහින්ද රාජපක්ෂ කියා තිබෙන්නේ ආණ්ඩු වෙනසක් සිදුවෙනවා. මාධ්‍යයටත් එය දැනිලා තිබෙන්නේ කියලායි.’ නවීන් දිසානායක කීවේය.
‘සිංහල අවුරුදු කාලේ කියන්න දෙයක් නැතුව කියන කතාවක්නේ? අයවැය පරාජය කරනවා කිව්වා. ඒක කර ගන්නත් බැරි වුණා. ඉතින් මාධ්‍යයට ඔය වගේ කතා කියන එක සාමාන්‍ය දෙයයි.’ අගමැති කීවේය.


‘ගෝඨාභය රාජපක්ෂ කියා තිබුණා ඇමෙරිකාවේදී නඩු දැම්මා කියන කාරණය ගැන නිත්‍යනුකූල විදියට ලියවිල්ලක් භාර දීලා නැහැ කියලා.’ චමින්ද විජේසිරි නැවතත් ප්‍රශ්නය යොමු කළේය.


‘එයා හිතාගෙන ඉන්නේ ලංකාවේ වගේ රාජ්‍ය නිලධාරියකු ඇවිත් ඒක බාර දෙනවා කියලායි. ඇමෙරිකවේ එවැනි සිතාසි බාර දෙන්නේ පෞද්ගලික කොම්පැණි හරහායි. ඔවුන් ඉන්න තැනක් බලා ගිහින් දෙනවා. මේක ලංකාවේ මිනිස්සු රවට්ටන්න කියපු දෙයක්නේ?’ නවීන් දිසානායක ඇමැතිවරයා කීවේය.


‘ඇ​ෙමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගන්නවා කියන්​ෙන් කසාදයක් බැඳලා දික්කසාදයක් වුණා වගේ වැඩක්. කසාදය දික්කසාද වුණත් වගකීමෙන් ගැලවෙන්න බැහැනේ? ඒ වගේ තමයි, මෙතනදී පුරවැසිභාවය අයින් වුණත් නඩුවෙන් නම් ගැලවෙන්න බැරි වෙයි.’ කිරිඇල්ල කී විට සිටි සැමට සිනහ නොවී සිටිය නොහැකි වූහ.


‘ඒ කියන්නේ මෙයා ලංකාවේ ජනාධිපති වුණොත් ලංකාවේ ජනාධිපති කෙනෙකුට ඇ​ෙමරිකානු උසාවියේ නඩු කියන්න වෙන පළමුවැනි අවස්ථාව වේවි.’ චමින්ද විජේසිරි කීවේය.
එයාර්පෝර්ට් එකට සෙනඟ ආවාද කියලාත් එයා ෆ්ලයිට් එකේ ඉඳන්ම අහලා තිබෙනවා. ප්‍රසන්න රණතුංගයි, තව සංවිධායකවරුන් කිහිප දෙනෙකුයි එතනට සෙනඟ එක්ක ගිහින් තිබෙනවා. හැබැයි ඉතින් වැඩිම සෙනඟ එයාර්පෝර්ට් ගෙනිච්චේ 2003 දී එක්සත් ජාතික පක්ෂය බව ඔය කටත් අද මතක නැති වෙලා.’ ඇමැති හැරිසන් කී දේ සැවොම අනුමත කළහ.


‘ජනාධිපති බුද්ධගයා යන්න හදපු එකත් අසාර්ථක වෙලා නේද? චමින්ද විජේසිරි යළිත් විමසා සිටියේය.


‘ඔව්. මේ කාලේ බිහාර් ප්‍රාන්තයේ ඡන්දය තිබෙන නිසා ගැටලුවක් මතු වුණා. ඒක නිසා තිරුපති වදින්න ගිහිල්ලා. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පහද‌ා දුන්නේය.
ජපානෙත් යන්න බැරි වෙච්ච නිසා ජනාධිපතිතුමා එතනින් සිංගප්පූරුවට ගිහිල්ලා තිබෙනවා.’ කිරිඇල්ල තවත් විස්තර කීවේය.


‘ජනාධිපති නීතීඥවරුන් පත්කරන ක්‍රමවේදය මොකක්ද? දැනටමත් දෙවතාවක්ම ජනාධිපති නීතීඥවරුන් පත් කරලානේ?’ ​ෙහ්ෂා විතානගේ ඇසුවේය.
‘මා දන්නා තරමට සාමාන්‍යයෙන් වසරකට එක වරයි, ජනාධිපති නීතීඥ පදවි දෙන්නේ. මෙවර දෙවරකදී එය කිරීම ගැන නීති ක්ෂේත්‍රයේ කතා බහ ඇතිවෙලා. මටත් මේ ගැන නීතීඥයෝ කිහිප දෙනෙකුම කතා කර කිව්වා.’ නවීන් දිසානායක කී කාරණය එහි සිටි සැවොම බැරෑරුම්ව අනුමත කළහ.


‘සජිත් ප්‍රේමද‌ාස ඇමතිතුමායි - රවි කරුණානායක ඇමතිතුමයි කරන වාග් සංග්‍රාමය එතරම් හොඳ දෙයක් නොවෙයි නේද?’ කාවින්ද ජයවර්ධන විමසා සිටියේය.
‘ඒ ගැන සොයා බලා දෙන්නගේ ප්‍රශ්නය ඉවර කරන්න මා කටයුතු කරනවා.’ අගමැති කී දෙය සැවොම අනුමත කළහ.


මේ අතර ගන්නෝරුව රාජමහා විහාරයේ පැවති හිස තෙල් ගෑමේ උත්සවය සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී සභානායකවරයා ඉතිහාසය මතක් කරමින් කතාවක් කළේය.


‘සිංහලයන් නිදහස වෙනුවෙන් සටන් කළේ නැහැ කියන එක අසත්‍යයි. ලෝකයේ කිසිම රාජධානියක් අවුරුදු 300ක් තිබුණේ නැහැ. එහෙම ආරක්ෂා වුණේ උඩරට රාජධානිය පමණයි. ඕලන්ද, ලන්දේසි ජාතිකයන් 47 වතාවක් උඩරට අල්ලන්න උත්සාහ කළත් බැරි වුණා. අන්තිමට උඩරට රාජ්‍ය ඉංග්‍රීසින්ට දුන්නේ යුද්දෙන් නොව ගිවිසුමකිනුයි.’
‘මේ ඉතිහාසය සියලු දෙනා දැන ගන්න ඕනෑ. එද‌ා ‘අපේ උරුමය’ කියා පොතක් පාසල් අධ්‍යාපනයේ තිබුණා යයි’ කිරිඇල්ල ඇමැතිවරයා සිහිපත් කළේය.


උත්සවය ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීහු එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ගැන ඇමැතිවරයාගෙන් විමසා සිටියෝය.


‘පක්ෂයේ නායකයා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා නම් මා කැමැතියි. හැබැයි, පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තමයි ජනාධිපති අපේක්ෂකයා කව්ද කියා තීරණය කරන්නේ. පොහොට්ටු පක්ෂය ව​ෙග් තාත්තයි-බාප්පයි-ලොකු තාත්තයි, අම්මයි-පුතාලයි එකතු වූ මණ්ඩලයකින් නොවෙයි. අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ. අපේ එහෙම නැහැ යයි’ කිරිඇල්ල ඇමැතිවරයා කන්ද උඩරට සිට අනාවරණය කළේය.



අදහස් (0)

අවුරුදු නිවාඩුවේ දේශපාලන කතාබහක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site