රංජන්ගේ හඬපට නිසාවෙන් රටේ දේශපාලනයේ ඇතිවී තිබෙන තිබෙන සංකීර්ණ තත්ත්වය තවමත් පහවී ගොසින් නැත. දිනෙන් දිනම මාධ්‍ය මගින් පෙන්නුම් කරන්නේ මේ පුද්ගලයාගේ දේශපාලන භාවිතය තුළ ඇති ජුගුප්සාජනක ස්වභාවයයි. මේ සිද්ධියෙන් පසුව රටේ ආයතනික තත්ත්වයන් හා ප්‍රජාතන්ත්‍රීය පද්ධතීන් බරපතළ ආකාරයෙන් කඩා වැටෙන්නට හා සෙළවීමකට පත්වී ඇති බව ඉතාමත් පැහැදිලිය. රටේ අධිකරණ පද්ධතිය පවා මේ තත්ත්වයෙන් අර්බුදයට පත්වී ඇති බව වැඩ තහනම් වෙන විනිශ්චයකාරවරුන්ගේ නම්වලින් පෙන්නුම් කරමින් තිබේ.

මේ හඬපටවලින් විශේෂයෙන්ම සෙලවී තිබෙන්නේ අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යභාරය හා වගකීම පිළිබඳව රටේ තිබුණු විශ්වාසය කඩා වැටී ඇති බවය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යභාරය හා එම තනතුරට පත්වෙන පුද්ගලයන් පිළිබඳව සමාජයේ මෙතෙක් කාලයකට තිබූ විවේචනය දෙතුන් ගුණයකින් වැඩිවෙමින් ඉදිරියට යාමක් මේ සිදුවීමෙන් පෙන්නුම් කරන බව ඉතාමත් පැහැදිලි කාරණයකි.

මේ සටහනින් මා බලාපොරොත්තු වෙන්නේ රන්ජන්ගේ හඬ පට ගැන කථා කිරීමට නොව වත්මන් පාලනය මේ දක්වා සිදුකරමින් තිබෙන වැඩ කටයුතු පිළිබඳව යම් ආකාරයක පසු විපරමක් කිරීමය.

අලුත් ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව ගෙවෙමින් පවතින මාස දෙකක කාලය පුරාවට මේ රටේ දේශපාලනයේ බරපතළ ආකාරයේ ආකල්පමය වෙනසක් සිදුවෙමින් පවතින බව මගේ පළමු නිරීක්ෂණය ය. රටේ දේශපාලනයේ මෙතෙක් කාලයක් තිබූ තත්ත්වය වූයේ පාලකයා යනු සාමාන්‍ය මිනිසකු නොවන කෙනකු බවට වූ කල්පනාවක්ය. මේ අදහස පාලකයන්ටත් වඩා තදින් කරේ තියාගෙන ගියේ පාලිතයෝය.  එහෙත් මේ ‘අසාමාන්‍ය බවට පත්වී’ තිබූ පාලකයා පිළිබඳ ප්‍රතිරූපය ඉතාමත් ප්‍රායෝගික තත්ත්වයක් දක්වා පහතට පැමිණියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආගමනයත් සමඟය. ජනාධිපතිවරයාගේ රූපය රාජ්‍ය ආයතනවල එල්ලීම වැළැක්වීමෙන් ආරම්භ වූ මේ තත්ත්වය අද වන විට රටේ ඇමැති මණ්ඩලයේ ඉන්න අයට ද විවිධ ආකාරයෙන් උපදෙස් ලබා දෙන පන්නයේ අලුත් තත්ත්වයක් ගොඩනැඟී ඇත. එසේම රාජ්‍ය පාලනයේ දී අසීමිත ආකාරයෙන් ‘තනතුර’ ඉහළට ඔසවා තැබීම යන කාරණය යම් ආකාරයකින් පහතට වැටෙමින් තිබෙන බව මේ ආකල්ප පිළිබඳ කාරණය සම්බන්ධයෙන් පෙනී යන වැදගත් සංවර්ධනයක් ය.

මීළඟට වැදගත්ම නව තත්ත්වය වන්නේ පසුගිය වසර හතර හමාරක පමණ කාලයේ ආර්ථික ක්ෂේත්‍රයේ සිදුවූ අර්බුදජනක තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම සඳහා මේ ආණ්ඩුව විසින් මූල්‍ය ක්ෂේත්‍රයේ කරනු ලැබූ වෙනස්කම් ය. පසුගිය වසර පහක කාලය තුළ ආර්ථිකය කඩා වැටීමේ තත්ත්වයට සාපේක්ෂව කිසිදු ණයක් ගෙවීමේ හැකියාව ජනතාවට නොමැති වී ඇති බව පැහැදිලිව පෙනී යන කාරණයකි. ඒ හේතුව නිසාම බොහෝ ව්‍යාපාරිකයන්ගේ ගේ දොර හා කනකර විකිණෙමින් තිබෙන තත්ත්වයක් ගොඩනැඟී ඇත. මේ ආර්ථික ආතතියෙන් මිදීම සඳහා වත්මන් රජය විසින් ඉතාමත් වැදගත් ප්‍රතිසංස්කරණයක් යෝජනා වී ඇත. ඒ අනුව සියලු ව්‍යාපෘති ණය සඳහා අවශ්‍ය නම් සහන කාලයක් වශයෙන් අවුරුද්දක කාලයක් ලබා ගැනීමට ණය හිමියන්ට හැකියාවක් ඇති ලෙසින් ලිහිල් කිරීමක් සිදුකිරීම රජය ගත් එක් ඉදිරිගාමී පියවරක් බව පිළිගැනීම ඉතාමත් වැදගත් ය.

වත්මන් ජනාධිපතිතුමන්ගේ ක්‍රියාකාරිත්වය මගින් පෙන්නුම් කරන්නේ මේ රටට අවශ්‍ය වී තිබූ නායකයා කොයි ආකාරයේ කෙනකු ද කියන කාරණය ය. මේ රටට අවශ්‍ය කරන ජනාධිපතිවරයා කවර ආකාරයක කෙනකු ද යන ප්‍රශ්නය මේ ජනාධිපතිවරණයට පෙර සිටම රටේ සාකච්ජා වූ ප්‍රශ්නයක් විය.

ලෝකයේ ඕනෑම රටකට රාජ්‍ය නායකයකු  තෝරා ගන්නා අවස්ථාවක රටේ ජනතාවගේ පැත්තෙන් බැලිය යුතු ප්‍රධාන කාරණය වන්නේ මේ මොහොතේ රට මුහුණදෙන ප්‍රධානතම අභියෝගය වන්නේ කුමක්ද සහ ඒ අභියෝගය (එකක් හෝ අභියෝග කීපයක් තිබේ නම් ඒවා) සඳහා සුදුසුම විසඳුමක් ලබා දිය හැකි නායකයා කවරෙක් ද යන කාරණයයි. උදාහරණයක් ලෙසින් ගතහොත් 1994 ජනාධිපතිවරණයේ දී රටේ නායකත්වය සඳහා චන්ද්‍රිකා මැතිනිය තෝරා ගත්තේ ඒ යුගයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අයුරින් අර්බුදයට ගොස් තිබූ නිසාය.. 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරය සඳහා යෝජනා කළ අවස්ථාවේ මේ රටේ තිබුණේ මුල් එජාපයේ චන්ද්‍රිකා යුගයේ හා 2002 වික්‍රමසිංහ යුගයේ වර්ධනය වූ බරපතළ බෙදුම්වාදයක් හා ත්‍රස්තවාදයක් වෙතට රට ගමන් කර තිබුණු තත්ත්වයක ශක්තිමත් නායකත්වයක් අවශ්‍යවීමත් සමඟය. 2010 අපේක්ෂකයා තේරීමේ දී මූලික කාරණය වූයේ රටේ ඒ වන විට ගොඩනැඟී තිබූ සාමකාමී තත්ත්වය වර්ධනය කිරීමත් ආර්ථිකමය ශක්තියක් නිර්මාණය කිරීමත්ය. 2015 ජනාධිපතිවරණයේ ‘මැය’ හෙවත් කේන්ද්‍රීය තර්කය වූයේ සාමය ජයගැනීම හෝ ආර්ථිකය ශක්තිමත් කිරීම වැනි බරපතළ විෂයයන් නොව රට තුළ ‘ප්‍රජාතන්ත්‍රීය ආයතන ශක්තිමත් කිරීම’ හා ’ජාත්‍යන්තරය සම්බන්ධතාවල දී වෙනස් ආකල්පයක්’ වැනි දේවල් සහ රාජ්‍යයේ දේශපාලනමය තත්ත්වය කළමනාකරණය කිරීමේ දී වඩාත් විනිවිදභාවයෙන් කටයුතු කිරීම වැනි කාරණාය. යහපාලනයක් ඕනෑ යැයි කීවේ මේ කාරණා හිතේ තියාගෙන බව ඒ දවස්වල අප කාටත් පෙනී ගිය කාරණය ය. (ඇත්තටම සිදුවුණේ නොදන්න යහපාලනයක් ගේන්නට ගොස් තිබුණු ආර්ථික ජයග්‍රහණ සහ සාමකාමී තත්ත්වයත් විනාශයට පත්වීම බව දැන් අප කවුරුත් අත්දකින සත්‍යය ය.)

මෙම ජනාධිපතිවරණයේ සටන්පාඨය වූයේ  ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ හිස් කතාන්දරයක් හෝ යහපාලනය පිළිබඳව අලංකාරියන්ගෙන් පිරුණු කතා සාප්පුවක් හෝ නොවන බව අප හැමෝම දන්නා කාරණයක්ය. කතාකාරයාගේ සිට වැඩකාරයා දක්වා දේශපාලනය වෙනස්වීමේ අවස්ථාව රටේ දොරකඩටම පැමිණ තිබූ බව පසුගිය ජනාධිපතිවරණයෙන් ඉතාමත් හොඳින් පැහැදිලි විය. එහිදී ජනතාවගේ මතය වූයේ ‘දැන් රටට අවශ්‍යවන්නේ ඇමරිකාව සතුටු වෙන හෝ ජාත්‍යන්තරය ප්‍රීතියට පත්කරන හාන්සි පුටු ප්‍රජාතන්ත්‍රවාදයක් නොව උතුරේ සිට දකුණටම වෙළාගෙන ඇති ආර්ථික අර්බුදයන්ගෙන් රට ගලවා ගත හැකි සැබෑ ප්‍රතිසංස්කරණවාදියකු’ ලෙසින් වැඩ කරන අයකු රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරීමය. පසුගිය නොවැ. 16 වැනි දින සිදුවුණේ ඒ කාරණය ය.

ගමේ භාෂාවෙන් කියනවා නම් මෙවර ජනාධිපතිවරණයේ දී අප සිටියේ  ‘හේනක් කොටන්නට අවශ්‍ය වෙලාවක මිස හේනේ අස්වැන්න නෙළන්නට තියෙන අවස්ථාවක නොවන’ තත්ත්වයක ය. ඒ නිසාම රටට මේ මොහොතේ අවශ්‍ය වූයේ හේනක් කොටන්නට අවශ්‍ය මහන්සිය හා කැපකිරීම තිබෙන්නකු මිස අස්වැන්න නෙලන්නට හා අස්වැන්න සමසේ බෙදන්නට හොඳට දන්නා කෙනෙක් නොවේ. බෙදන්නට යමක් වගා කරන්නට අවශ්‍ය බව කවුරුත් දන්නා කාරණයක් ය. මේ මොහොත ‘වගාකරන්නාගේ මොහොතක් මිස අස්වැන්න බෙදන්නාගේ මොහොතක්’ නොවන බව කිව හැක්කේ ඒ නිසාය. එවැනි මොහොතක් සිංගප්පූරුව ජපානය වැනි රටවල ද ඒ අයගේ ආර්ථික ජයග්‍රහණවලට පළමුව තිබූ බව අපට මතකය. මේ මොහොතේ රට ඉදිරියේ ඇති අභියෝගය පළල් ආකාරයකින් ගතහොත් පෙනී යන්නේ මේ රට ශක්තිමත් රටක් (Strong Country) ලෙසින් ගොඩනඟන්නේ කෙසේ ද යන කාරණය මහා පොදු සාධකය ලෙසින් පවතින බවයි. මෙතැන ශක්තිය කියන්නේ ආර්ථිකය ආරක්ෂාව සහ ප්‍රජාතාන්ත්‍රික ආයතනික පදනම යන ක්ෂේත්‍ර තුනටම අදාළ කාරණයක් ය.

රට ආර්ථික වශයෙන් ශක්තිමත් කළ හැක්කේ රටේ තිබෙන සම්පත් විකිණීමෙන් නොව මානව සම්පත ශක්තිමත් ආකාරයෙන් ගොඩනැඟීමෙන් බවත් සේවා සහ නිෂ්පාදන ආර්ථික වර්ධනයක් සඳහා නව චින්තනයක් ඔස්සේ වැඩ කිරීමෙන් බව මෙහිදී පෙන්වා දිය යුතුම කාරණයකි. රාජ්‍යයේ වපසරිය සහ වෙළඳපොළේ වපසරිය යන දෙපැත්තම පිළිබඳව පුළුල් අදහසක් නොමැතිව මේ තත්ත්වය තේරුම් ගැනීමටවත් හැකියාවක් නැති බව අප පිළිගත යුතුම කාරණයකි. එසේම අපේ රටේ වැනි සමාජ සුභ සාධනය සඳහා විශාල මුදලක් රාජ්‍යයෙන් වැය කරන රටක සියල්ල වෙළඳපොළ මගින් තීරණය කරන්නට යාම ගැටලු සහගත තත්ත්වයක් බව තේරුම් ගැනීම මෙහිදී වැදගත්ම කාරණයකි.

පසුගිය රජය කාලයේ ඇතිවී තිබූ තත්ත්වය මත රටේ රාජ්‍ය ආයතනවල කිසිම වැඩක් කෙරෙන්නේ නැති ගාණට අකාර්යක්ෂමතාව වර්ධනය වී තිබූ බවත් මේ වගේම විශේෂයෙන් සැලකිය යුතු කාරණයක් ය. ඒ කාලයේ සිටියේ කිසිම තීරණයක වගකීමක් භාර නොගන්නා තරමට බිය වී ඇති රාජ්‍ය සේවකයෙක් ය. රටේ පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා වැනි අය පවා එවකට සිටි ජනපති හා අගමැති අතර ඇති බල අරගලයේ ගොදුරු බවට පත්වී හිරේ විලංගුවේ වැටෙන ගාණට රාජ්‍ය සේවය පල්ලම් බැස තිබූ තත්ත්වයක නිලධාරින්ගේ පැත්තෙන් මීට වඩා ලොකු දෙයක් කිරීමේ හැකියාවක් නැති බව ද පිළිගත හැකි කාරණයකි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජ්‍ය පාලනය මගින් වේගවත් හා විවෘත සේවයක් ලෙසින් යළි ගොඩනගන්නට හදන්නේ මෙසේ කඩා වැටුණු රාජ්‍ය සේවය ය.

මේ අනුව පෙනී යන්නේ අලුත් ජනාධිපතිවරයාගේ මාස දෙකක කාලයේ රාජ්‍ය පාලනයෙන් පෙනී යන්නේ ආකල්පමය වෙනසක් එක් පැත්තකිනුත් ආර්ථික හා රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණයක් අනෙක් පැත්තෙනුත් ඉදිරියට ඒම ය. මේ නව තත්ත්වය ඉදිරියටත් වර්ධනය කරගෙනයාම ඉතාමත් අවශ්‍ය කාරණයක් ය.

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය චරිත හේරත්