‘‘ප්‍රේමය නම්’’ චිත්‍රපටය හරහා ලාංකීය සිනමාවේ මුද්‍රා තැබූ සහෝදරයන් දෙදෙනකු, තමන්ගේ දෙවැනි නිර්මාණය සමඟ යළිත් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණ තිබේ. ඒ ඊයේ (24) සිට ඊ.ඒ.පී. හා සී.ඊ.එල්. මණ්ඩලවල සිනමා ශාලාවල තිරගත කිරීම ආරම්භ කළ ‘‘රූකඩ පැංචි’’ චිත්‍රපටය සමගිනි. මෙවර නිර්මාණයේ විශේෂත්වයක්ද තිබේ. ඒ පියා නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය පුතුන් දෙදෙනා අධක්‍ෂණය කර තිබීම.

පියා මෙරට ප්‍රවීණ ගේය පද රචකයකු වන කුලරත්න ආරියවංශ ය. ඔහුගේ පුතුන් දෙදෙනා කල්පන ආරියවංශ හා වින්දන ආරියවංශ වෙති. මේ සොහොයුරන් මෙරට සිනමාව කොරෝනා වසංගතයෙන් කඩා වැටි අවධියක, ඊට අභියෝගයක් එල්ල කරමින් තම නිර්මාණය මුදා හැර තිබේ. මේ පිළිබඳව මෙහි සම අධ්‍යක්‍ෂ වින්දන ආරියවංශ සමඟ කතාබහක නියැළුණෙමු.

●  ‘‘මේක අභියෝගාත්මක කාලයක්. රට සාමාන්‍ය තත්ත්වයට පත්වන්නට දැඩි උත්සාහයක යෙදෙන වාතාවරණයක්. මේ ව්‍යසනය ශත වර්ෂයකට සැරයක්, නැත්නම් පරම්පරා 2 – 3 කට සැරයක් වෙන දෙයක්. එතකොට එයින් මිදීමට දැඩි අපහසුතාවක් තිබෙනවා. අපේ රට ව්‍යසනයෙන් මිදිලා මිනිසුන් සුව වෙමින් පවතින අවස්ථාවක් දැන් තිබෙන්නේ. ඒක අභියෝගයක්.

අයියයි (කල්පන ආරියවංශ) මායි හැම තිස්සෙම සිතන්නේ නිර්මාණකරුවන්ගේ වගකීම වෙන්නේ මිනිසුන් වැටිලා සිටින මොහොතක ඔවුන් කෙළින් කරන එකයි. මිනිසුන් දුකට පත්වෙලා සිටින මොහොතක ඔවුන් සතුටුකිරීම. කන්ස්සල්ලෙන් ඉන්න වෙලාවක ඔවුන් ප්‍රබෝධමත් කරන එක. ඒ හින්දා අපේ ‘‘රූකඩ පැංචි’’ චිත්‍රපටය හරිම විචිත්‍රවත්, ඉතාම ආකර්ෂණීය, අනුවේදනීය ඒ වගේම සර්ව සුබවාදී සිනමාත්මක අත්දැකීමක්. අපි අදහස් කළා, අපේ චිත්‍රපටය ශ්‍රී ලාංකීය පුරවැසියන්ට වැඩියෙන්ම අත්‍යවශ්‍ය වෙන්නේ මේ වගේ අවස්ථාවක නිසා එය තිරගත කරන්න.  ඉතිං අපි මේ වෙලාවේ සහෝදර ප්‍රේක්ෂක ජනතාවට මෙය පෙන්වන්නේ නැතුව වෙන වෙලාවක දාලා වැඩක් නෑ කියන තීරණය මතයි සිටියේ. අභියෝගාත්මක වෙලාවේ ප්‍රේක්ෂකයා ගැන සිතලා චිත්‍රපටය තිරගත කළේ.

‘‘රූකඩ පැංචි’’ චිත්‍රපටය අපට ඕනම කාලයක දාන්න පුළුවන්. එහි ගැටලුවක් නෑ. මෙහි සංකල්පය හැමදාටම වලංගුයි. එහෙත් අපි හිතුවා, මේ වගේ අත්දැකීමක් හැමෝම සතුටින් ඉන්න වෙලාවේ නොවෙයි වඩාත් වැදගත් වෙන්නේ කියලා. ඒ හින්දා ඒ චේතනාවෙන්,  අපේ වගකීම හඳුනාගෙන මේ අභියෝගාත්මක මොහොතේ ප්‍රේක්ෂකයන්ට අපි මේක තිළිණ කරනවා. මේක තමයි ඒ අයට අවශ්‍යම මොහොත කියලයි අපි සිතන්නේ. අපිට විශ්වාසයක් තිබෙනවා, ඔවුන් ඒකට ප්‍රතිචාර දක්වයි කියලා.   ‘‘රූකඩ පැංචි’’ ප්‍රධාන ධාරාවේ චිත්‍රපටයක්. විචිත්‍රවත්, චරිතමය පැත්තෙන් වගේම දෘශ්‍යමය පැත්තෙන්ද විචිත්‍රවත්. අපට ඩිස්නි පරම්පරාව වගේ ඒ වගේ සිනමාත්මක අත්දැකීමක්, අපේ ප්‍රේක්‍ෂකයන්ට ලබාදෙන්න මෙය අපි හැදුවේ. වෙනත් චිත්‍රපට වගේ නොවෙයි. සාමාන්‍යයෙන් වෝල්ට් ඩිස්නිවල ප්‍රධාන ධාරාවේ චිත්‍රපටයක් කරද්දී මුලින්ම කරන්නේ ඒ ඒ චිත්‍රපටයේ ලෝකය නිර්මාණය කිරීමයි. අපි රූකඩ පැංචිත් ඒ වගේ ලෝකය නිර්මාණ කරලා තමයි පිටපත ලියන්න ගත්තේ.

අපි දෙන්නම කුඩා කාලේ ඉඳලම කානිවල්වලට ආසයි. අයියා මෙහි සම්පූර්ණ කතාව ‘‘ස්ටෝරිබෝඩ්’’ එකක් වගේ ඇන්දා. සුරංගනා කතා පොත්වල, චිත්‍රපටවල අපි දුටු චරිත එකතුවන සතුට සපයන තැනක් විදිහට ඒ කානිවල් එක යොදාගත්තා. අපි ආස දේවල්, කැමති දේවල් යුගයේ අවශ්‍යතාවය අනුව සිතා බලලයි ‘‘රූකඩ පැංචි’’ නිර්මාණය කළේ.

අද ප්‍රේක්ෂකයා සිනමා ශාලාවලට යන්නේ ඒ අත්දැකීම් විඳගන්නයි. අද හොලිවුඩ්, බොලිවුඩ් චිත්‍රපට ගත්තත් දැවැන්ත ‘‘බ්ලොක්බස්ටර්’’ චිත්‍රපට හැදෙන්නේ ඒ හින්දයි. මොකද ඒ අත්දැකීම විඳගන්න පුළුවන් සිනමා ශාලාවකට ගියොත් විතරයි. ප්‍රේක්‍ෂකයාට වින්දනයක් දෙන, අලුත් ආකාරයේ දෙයක් කළොත් ඔවුන් එය නරඹන්න එනවා. අපේ නිර්මාණය විචිත්‍රවත් බවට පත් කළේ ඒ හින්දයි. අයියයි මායි දෙන්නාම සිනමා රසිකයෝ. සිනමා රසිකත්වයෙන් අපි අසීමිතයි. අපි කිසිම ප්‍රභේදවලට ලඝු වීමක් නෑ. අපේ නිර්මාණත් එහෙමයි. ‘‘ප්‍රේමය නම්’’ එක ප්‍රභේදයක්. ‘‘රූකඩ පැංචි’’ තව ප්‍රභේදයක්. අපේ ඊළඟ නිර්මාණය වෙනස්ම දෙයක් වේවි.

මා හිතන්නේ නෑ අපට සිනමා කර්මාන්තයක් දැන් තිබෙනවා කියලා. පහුගිය අවුරුදු 20 තුළම කර්මාන්තයක් තිබුණා කියා මා සිතන්නේ නෑ. අපට කර්මාන්තයක් තිබුණා 60, 70, 80 දශකවල. 90 දශකයේ මැද භාගයේ සිට ක්‍රමයෙන් කර්මාන්තය ක්‍ෂය වුණා. දැන් කර්මාන්තයක් නෑ. අයියයි, මායි විශ්වාස කරන්නේ ඕනෑම ක්ෂේත්‍රයක සර්ව සම්පූර්ණ කේතුමතී පුරවරයක් ලැබෙන්නේ නෑ. හැබැයි අනෙක් රටවලට සාපේක්‍ෂව ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ වැඩිපුර, අභියෝග, ගැටලු තිබෙන්න පුළුවන්. එහෙත් අයියයි මායි හැමවිටම උත්සාහ කරන්නේ අපට පාලනයක් නැති දේවල් ගැන මැසිවිලි නඟමින් කාලය, ශ්‍රමය වැයකරනවාට වඩා, අපට පාලනයක් තිබෙන දේ තමයි අපේ නිර්මාණය. අපේ නිර්මාණයට කාලය, ශ්‍රමය, කුසලතාව උපරිමයෙන් වැය කරලා, ඒ නිර්මාණය හරහා මේ සියලුම අභියෝග ජයගන්න උත්සාහ කරන එක තමයි අපි දෙන්නාගේ වෑයම.

අයියගෙයි මගෙයි පොඩි කාලේ අත්දැකීම්, අපි ආසා කරන දේවල්, අපි ප්‍රිය කරපු, ඇසුරු කරපු දේවල් අපේ සිනමාවට නිරායාසයෙන්ම ඇතුළට එනවා. මේක සම්පූර්ණ කල්පිතයක්. ස්වතන්ත්‍ර රචනාවක්. කානිවල් එකක් මුහුදු වෙරළක දානවා කියන එක ලෙහෙසි වැඩක් නොවෙයි. ඒක හොලිවුඩ්වත් මෙච්චරකල් කරලා නෑ. ස්වාභාවිකව ඉතා අපහසු දෙයක්. එහෙත් කුඩා කාලයේ අපි අත්දැකීම්, අපේ චරිත ලක්‍ෂණ හරහා මේ පපට්ලා, කානිවල් එක, අනුවේදනීය මානව සම්බන්ධතා ඇසුරෙන් මේ කතාව හා චරිත ගොඩනැඟෙන්නේ.  

විශේෂයෙන් කුඩා දරුවන්ට ළමා කාලයේ වැදගත්කම මෙහිදී පෙන්වා දෙනවා. සිහින දකින්න බැරි දරුවෝ වැඩක් නෑ. දරුවෙක් වුණාම බොහොම අහිංසක පිවිතුරු, න්‍යාය පත්‍ර නැති බොහොම අව්‍යාජ කාලයක් ගත කරනෙක්. ඒ කාලයේ නිරවුල් මනසකින් හීන දකිමින් නිදහසේ ජීවත්වන්න, ආස කරන දේවල් කරන්න පුළුවන් පසුබිමක, පරිසරයක වටිනාකම, වැදගත්කම කියන එක අපි දෙන්නම ජීවිතේ විඳලත් තිබෙනවා. ඒක විශ්වාස කරනවා. එහෙම දරුවකුගේ ලෝකයකින් තමයි මේ චිත්‍රපටය හිතන්නේ.


(*** සමන්ත යහම්පත්)