පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිටුවා රාජ්‍ය පාලනය ආරම්භ කළ නමුදු එය ව්‍යවස්ථාදායකය තුළ සුළුතර රජයක් වූවේය. ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ අවධානය යොමුවී පැවතියේ තමාට ලැබුණු ජනවරමට සරිලන පරිදි ජනතා නියෝජනයක් ලැබෙන පරිදි ජනතා නියෝජිතයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමටය. 


2015 අගෝස්තු 17 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ලැබුණු ජනතා තීන්දුව අනුව පත්වූ ව්‍යවස්ථාදායකය බොහෝ අර්බුදයන්ට ගොදුරුව තිබුණි. අපේ මාතෘකාවට අනුව සලකන කල්හි එය දීර්ඝ වශයෙන් විස්තර කළයුතු නොවේ. දිග කථාවක් කෙටියෙන් පැවසුවහොත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට පත්වන විට පාර්ලිමේන්තුවේ වැඩි බලය හිමිව තිබුණේ එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ එහි මිතුරු පක්‍ෂවලටය. එනිසා ජනාධිපතිවරයා මුහුණදුන්නේ දැඩි අසීරුතාවකටය. තම මැතිවරණ ප්‍රකාශනවලින් රටට කියා සිටි දේ යම් පමණකින් හෝ ඉටුකිරීමට ජනාධිපතිවරයාට අවශ්‍යව තිබුණු බව පෙනෙන්නට තිබුණි. එහෙත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නමැති උත්තරීතර ගුණාංගයේ වැරැදි තැනින් අල්ලාගෙන තිබෙන ශ්‍රී ලංකාව වැනි රටක ජය පරාජය දරාගෙන රට වෙනුවෙන් වැඩකිරීමට එකඟවීමට තරම් සංයමයක් මෙරට සමහර කණ්ඩායම් තුළ නොතිබීම පුදුමයට කරුණක් නොවේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මුදල් පාලනය පිළිබඳව බලතල ඇත්තේ ව්‍යවස්ථාදායකයටය. හෙවත් පාර්ලිමේන්තුවටය. අයවැය ලේඛනයක් පරාජයවීම යනු රජය බිඳවැටීමකි. 


මෙරට පාර්ලිමේන්තුව විසින් සම්මත කර බලගන්වා ස්ථාපිත කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් එතෙක් කල් විධායක ජනාධිපතිවරයා සතු අසීමිත බලතල යම් පමණකට සීමාකිරීමක් සිදුවිය. ඒ අනුව ජනාධිපතිවරයාගේ අභිමතයට ක්‍රියාත්මකවීමට තිබුණු බලතල අහිමිවිය. එයට කොන්දේසි පැනවුණි. පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ එයට වසර හතර හමාරක් පිරුණු පසුව යැයි එම සංශෝධනයෙන් කියවුණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට හිස නමා ජනවරම පිළිගනිමින් තම ධුරයෙන් ඉල්ල අස්වූවේය. එමගින් ඇමැති මණ්ඩලය අහෝසිවූවේය. එම අවකාශය නිසා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්වී ඇමැති මණ්ඩලයක්ද පත්කර ගනු ලැබීය. එම රජයේ අපේක්‍ෂාව වන්නේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කතානායක ධුරයට පත්කර ගැනීමයයි මාධ්‍යවල නිවේදනය විය. එහෙත් බළලා මල්ලෙන් එළියට පැන්නේ කතානායක කරු ජයසූරිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස් නොවන බව ප්‍රකාශයට පත්කිරීමත් සමගය. ජනාධිපති අපේක්‍ෂකත්වය ලබාගැනීමටත් ඉන් පසුව පක්‍ෂ නායකත්වය සඳහාත් රනිල් වික්‍රමසිංහ මහතා සමග ඔහු බිත්තියට හේත්තු කරන න්‍යායකින් සටන් වැදුණු සජිත් ප්‍රේමදාස මහතාට අවශ්‍ය වූවේ ළඟ ළඟම එන මහා මැතිවරණයේදී ජනප්‍රිය මැතිවරණ පොරොන්දු ඉටුකරදීමට අපොහොසත් ආණ්ඩුවක් ලෙස නව රජය ජනතාව හමුවට යැවීමටය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩුකිරීම, ගොවීන්ට පොහොර නොමිලේ ලබාදීම, වතු කම්කරු ජනතාවට රුපියල් දහසක වැටුප් ලබාදීම වැනි ආකර්ෂණීය පොරොන්දු ඉටුකර මැතිවරණයට ගියොත් මුහුණදීමට සිදුවන දේශපාලන අනර්ථය විපක්‍ෂයේ බොහෝ දෙනා දුටහ. ජනතා හිතකාමී අයවැයක් ගෙනාවෙත් තමන් දෑතම ඔසවා සහයෝගය දෙන බව ඔවුහු කෑමොර දුන්හ. එය උගුලක් බවත් එය තමන් අමාරුවේ දැමීමට කපන බොරු වළක් බවත් කෘතහස්ත දේශපාලකයෙකු වූ මහින්ද රාජපක්‍ෂයන්ටත් ඔහුගේ සගයන්ටත් රහසක් නොවීය. රජය පොරොන්දු ඉටු නොකිරීමේ අපවාදය විඳිමින් වුවද ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම උදෙසා අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටියේය. අයවැය යෝජනාවක් පරාජය වී පිරිහිණු මානසිකත්වයකින් මැතිවරණයකට යන රජයකට අත්වන ඉරණම අතීතය දන්නෝ දනිති. ‘‘උපාය දන්නෝ අපායේ නොවැටෙවති’’යි කියමනක් තිබේ. 19 වැනි සංශෝධනයෙන් විධායක ජනධිපතිවරයාට පනවා තිබූ සීමාව 2020 අප්‍රේල් 02 වැනිදාට නිමවිය. ජනාධිපතිවරයා වහාම පියවර ගත්තේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දිනට නියමිතව ඇත. ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීම සඳහා බාධාවන අයුරින් තමාගේ අතපය බැඳ දමා ඇති දහනවවැනි සංශෝධනය වැනි අහිතකර දේ ඉවත් කිරීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බලය තමනට ලබාදෙන ලෙස රජය පාර්ශ්වයෙන් දැනටමත් යෝජනා ඉදිරිපත්ව ඇත. 
කාසිය උඩ දමා ඇත. නෝනා වැටේවිද පොල්ල පැත්ත පැටේවිද අපි නොදනිමු. දැන සිටියත් එය පැවසීම මාධ්‍යවේදයට අනුව සදාචාරාත්මක නැත. ලිහන්නට තිබෙන මල්ල ඔබා අනාවැකි කීමද නිශ්ප්‍රයෝජන බව අපි දනිමු. එනිසා ඒ ගැන තවත් ටික දිනක් ඉවසා සිටීමට සිදුවනු ඇත. මේ විසුරුවා හැර ඇත්තේ අටවැනි පාර්ලිමේන්තුවයි. මෙය සුවිශේෂී විසුරුවා හැරීමකි. නිදහස් ලංකාවේ කිසිදු පාර්ලිමේන්තුවක් රාජ්‍ය නායකයා විසින් දෙවරක් විසුරුවා හැර නැත. විසුරුවොත් විසුරුවා හැරියාමය. ඊළඟට මැතිවරණයයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018 නොවැම්බර් 09 දින මෙම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද බව අපි දනිමු. එහෙත් අධිකරණය හමුවේ එම ක්‍රියාව අභියෝගයට ලක් කරන ලදුව උසාවියේ තීන්දුව වූවේ ජනාධිපතිවරයාගේ එම ක්‍රියාව බල රහිත බවයි. මේ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් සිදුකරන ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අතිශය සුවිශේෂී සිද්ධියකි. කල්යල් බලා ගත් පියවරකි. මෙයට පෙර පාර්ලිමේන්තු හතක් පැවතී ඇත. නොයෙකුත් ගැටලුවලට මුහුණ දෙන අතරේ ඒවා විසුරුවා හැරීමට කටයුතු යෙදුණු ආකාරය අපේ විමසුමට ලක්වේ. 


ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණේ නිදහස ලැබීමටත් මාස ගණනාවකට පෙර එනම්, 1947 අගෝස්තු සහ සැප්තැම්බර් යන මාස ඇතුළත දින 19 ක් තුළය. ඒ එදා ක්‍රමය විය. මෙම ඡන්දයේදී ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කිසිම පක්‍ෂයකට බහුතර බලයක් හිමිව තිබුණේ නැත. එහෙත් එදා එ.ජා.ප.යේ නායකයා වූ ඩී. ඇස්. සේනානායක මහතා ස්වාධීන මන්ත්‍රීවරුන් රාශියක් සහ දෙමළ සංගමයද හවුල්කරගෙන ආණ්ඩුවක් පිහිටුවා රට පාලනය කරගෙන යමින් සිටියදී 1952 මාර්තු 21 වැනිදා සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූයේය. එයින් පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ ඩී. ඇස්. සේනානායක අගමැතිතුමාගේ වැඩිමහල් පුත් ඩඩ්ලි සේනානායක මහතාය. රටේ ජනතාවත් මහා සංඝරත්නයේත් ඉමහත් ප්‍රසාදය හිමිකරගෙන සිටියාවුවත් ඩඩ්ලි සේනානායක මහතා තනතුරු ගැන උනන්දුවක් දැක්වූ බලලෝභියෙකු වූවේ නැත. එතුමා අගමැති ධුරය භාරගත්තේ බලවත් අකමැත්තෙනි. බොහෝ දෙනාගේ ඉල්ලීම මතය. මේ වනවිට පාර්ලිමේන්තුවේ සභානායක ලෙසත් එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙසත් රජය තුළ ඩී. ඇස්. ගේ දෙවැනියා ලෙස කැපී පෙනුණු සර් ජෝන් කොතලාවල මහතාද තමාට අගමැති ධුරයට ආරාධනා කරනු ඇතැයි අපේක්‍ෂා සහගතව සිටියේය. එහෙත් අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමි විසින් ඩඩ්ලි සේනානායක මහතාට අගමැති ධුරය පිරිනැමීමෙන් පසු සර් ජෝන් කොතලාවල මහතා මහත් කෝපයට පත්විය. ස්වභාවයෙන්ම ඉක්මන් කේන්තිකාරයෙකු වූ සර් ජෝන්, ඩඩ්ලි සේනානායකයන්ට මහත් හිසරදරයක් වන ආකාරයෙන් හැසිරෙන්නට පටන්ගත්තේය. කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවා අවිනීත කියුම් භාවිත කළ ඔහු තම ආසනයේ වාඩිගෙන සිටියේ මේසය මත පාද දෙක තබාගෙන බව වාර්තාගතව තිබේ. ඔහු නිතරම කී වදනක් වූවේ ‘‘ඩඩ්ලිට අගමැතිවන්නට ජනවරමක් නැහැ. ඔහු අගමැතිවුණේ පස්සා දොරින්. ඡන්දය ලැබුණේ ඩී. ඇස්. ටයි.

 

 

මතු සම්බන්ධයි

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය අන්තර්ජාලයෙනි