(දූනගහ බටේපොළ විජයසිරි)
විශ්‍රාමික ගුරු මහත්මියක් සිය විශ්‍රාම වැටුප ලබා ගන්නට නගරයට පැමිණි ගමන්ම නිවෙසට අවශ්‍ය භාණ්‍ඩ ලබා ගන්නට ද නගරයේ සුපිරි වෙළෙඳ සැලකට ගොඩ වූවාය.


ඇය එහි තිබූ කූඩයක් ගෙන එයට අවශ්‍යදේ පුරවාගෙන මුදල් ගෙවන ස්ථානයට තල්ලු කරගෙන ආවාය.


ඇයට මුං ඇට කිලෝවක්ද ගෙන යාමට අවශ්‍ය වූයෙන් බඩු කූඩය තබා නැවත රාක්ක වෙත ගොස් මුං ඇට පැකට්ටුවක්ද ගෙන ආවාය. මුදල් ගෙවන කවුන්ටරය අසල තවත් භාණ්ඩ කූඩ දෙකක්ද නවතා තිබුණි. ඇය මුං ඇට කිලෝවද කූඩයට දමා මුදල් කවුන්ටරය වෙත එද්දී ඇයට ඉදිරියෙන් තිබූ බඩු කූඩයේ හිමිකරුද ඉදිරියෙන් වෙළෙඳ කවුන්ටරය වෙත පැමිණීයේය.


පළමුව මුදල් ගෙවීමට ඔහු කවුන්ටරයට බඩු කූඩය ඉදිරිපත් කළේය.


සහල් අල පරිප්පු, සැමන් ආදිය එහි විය. මුදල් අයකැමි එහි තිබී මුං ඇට කිලෝවක පැකට්ටුවක්ද පිටතට ගත්තේය.


බඩුමල්ල හිමියා මුං ඇට යයි විමතිය පළ කළේය.


‘‘මම මුං ඇට ගත්තෙ නෑ’’ ඔහු කීය.


‘‘ගත්තෙ නැත්නම් මේ තියෙන්නෙ’’


‘‘මම මුං ඇට ගත්තෙ නෑ. මටත් සෙම නෝනටත් සෙම ඒක නිසා අපි මුං ඇට කන්නෙ නෑ’’


මේ ගැටුම අතරේ විශ්‍රාමික ඉස්කෝලෙ හාමිනේ තම බඩු කූඩය පරීක්ෂා කර බැලුවාය. ඇගේ කූඩයේ මුං ඇට පාර්සලයක් නැත.


ඇයට කාරණය අවබෝධ විය. ඇය වැරදී මෙන් මුං ඇට පැකට්ටුව දමා ඇත්තේ වෙනත් කුඩයකටය.


බඩු කූඩය හිමියාත් අයකැමිත් මුං ඇට පැකට්ටුවට වාද කරද්දී ඇය කිසිවක් නොදත් සේ බිම බලා සිටියාය.