මෙරට දේශපාලනයේ ඓතිහාසික ජනාධිපතිවරණයක් නිමාවට පත්වූවේ පසුගිය සතියේය. ඒ ජනාධිපතිවරණයෙන් වර්තමාන ආණ්ඩුවේ අපේක්ෂකයා ලෙසින් තරග වැදුණු සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්වූ අතර මේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශිෂ්ට ජයග්‍රහණයක්  ලැබූ බව මේ වනවිට හැමෝම දන්නා කාරණයක්ය.

මේ ජනාධිපතිවරණ ජයග්‍රහණය මගින් අපේ රටේ දේශපාලනයේ මෙතෙක් කාලයකට සිදුවූ අතිශයෙන්ම වැදගත් කාරණා ගණනාවක්ම පෙන්නුම් කරන බව මගේ අදහසය. විශේෂයෙන්ම මේ ජයග්‍රහණයෙන් පෙන්නුම් කරන්නේ 2015 ජනාධිපතිවරණය හරහා මේ රටේ ඇතිවූ ව්‍යාජ දේශපාලනයක නිමාව යැයි සරල අර්ථයෙන් තේරුම් ගැනීමේ වරදක් නැත.

මේ සටහනින් මා බලාපොරොත්තු වන්නේ මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව යම් ආකාරයක විමසා බැලීමක් කිරීමටය. එවැනි පසුවිපරමක් අවශ්‍ය වන්නේ මේ ජයග්‍රහණය හරියට අවබෝධ කරගැනීම පරාජයට පත්වූ අයටත් ජයග්‍රහණය කළ අයටත් යන දෙපාර්ශ්වයටම වැදගත් නිසාය. විශේෂයෙන් ආණ්ඩුවේ සිටින සමහර මැති ඇමැතිවරුන් මේ ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තේරුම් ගැනීමට ගොස් කරන කියන විවිධ ආකාරයේ විකාර රූපී දේවල් දෙස බලන විට එවැනි පසුවිපරමක් අත්‍යවශ්‍ය බව ඉතාමත් පැහැදිලිය.

පළමුවෙන්ම මා මෙම ජනාධිපතිවරණයේ ජනමතය තේරුම් ගන්නේ 2015 ජනවාරියේ සිදුවූ බල පෙරළියත් සමග සම්බන්ධ කාරණයක් ලෙසින්ය. ඒ කියන්නේ ආණ්ඩුවේ මේ දේශපාලන පරාජයේ පදනම වැටී තිබුණේ 2015 දේශපාලනයේම බවයි. 2015 ජනවාරිවරුගේ දේශපාලනය වූයේ සමාජයේ ඉහළ මාලයේ තිබෙන ගැටලු කීපයක් (එනම් යහපාලනය, සාධාරණ සමාජය, නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වැනි) පිළිබඳව ‘කතා සාප්පුවක්’ දමමින් බලය ලබා ගැනීම සඳහා අලංකාරිකයන් රාශියක් නිර්මාණය කිරීම බව ඉතාමත් ප්‍රසිද්ධ කාරණයක්ය. මේ කතා සාප්පු දේශපාලනය මගින් බලය ලබා ගැනීමට හැකියාවක් ඔවුන්ට තිබුණත් බලය පවත්වාගෙන යාමේදී මෙම කතා දේශපාලනය බිමට ගත යුතු යැයි සිතන්නට තරම් පළල් ප්‍රායෝගිකත්වයක් ඔවුන්ට තිබුණේ නැත.

විශේෂයෙන්ම බලය ලබා ගැනීම සඳහා ඡන්දයේදී යොදා ගත් අලංකාරික පොදිය (පවුල් පාලනය, රතුපස්වල වැනි දේවල්) ඒ ආකාරයෙන්ම ඔහේ කියා දමමින් වසර පහකට ආසන්න කාලයක් සිටියා මිස මහපොළවේ දේශපාලනයක්  නිර්මාණාත්මකව ගොඩනැංවීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැත. ප්‍රායෝගික දේශපාලනය කියන්නේම මේ එජාප ආණ්ඩුවේ තහනම් වචනයක් බඳු වූ දෙයක් බව මගේ මතයය. ඔවුන් දක්ෂ වූයේ ‘අධිවේගී මාර්ග හැදීම ගැන කතා කිරීමට’ මිස එවැනි පාරවල් බිම හැදීම පිළිබඳව නොවේ. ඔවුන් දක්ෂ වූයේ ‘අලුත් ව්‍යවස්ථාවක් හැදීම ගැන කතා කිරීමට’ මිස එවැනි අලුත් ව්‍යවස්ථාවක් හැදීමට නොවේ. ඒ නිසා වත්මන් එජාප ආණ්ඩුවට සිටියේ පැය ගණනක් කතා දිය හැකි පැරණි වාමංශිකයන් ද ඇතුළත් කණ්ඩායමක් මිස නිර්මාණශීලී බුද්ධි මණ්ඩලයක් නොවේ. මෙවැනි කාණ්ඩයකට බලය ලැබෙන ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි පරිදි මේ ආණ්ඩුවේ කණ්ඩායම් ස්වකීය කතා දේශපාලනයේ යෙදෙමින් සිටි අතර තමන් පරදින්නට යන බවක්වත් තේරුම් ගැනීමේ තත්ත්වයක නොසිටියේ කීමේ වැරැද්දක් නැත.

මෙවර ජනාධිපතිවරණය පරාජයට පත්වෙමින් ඇති බව ඡන්ද දිනය තෙක්ම තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුන්ට නොතිබුණේ ඒ කාරණය නිසාය. ලෝකයේ සමහරුන් තීරණ ගන්නේ බුද්ධියට දැනුණ පසුවය. තවත් සමහරුන් තීරණ ගන්නේ බුද්ධියෙන් නොව තමන්ගේ පැවැත්ම අර්බුදයට ලක්වූ අවස්ථාවේදී ඇඟට දැනෙන තරමට යැයි පැවසීමේ වැරැද්දක් නැත. සරල උදාහරණයකින් කිවහොත් සමහරුන් වහින්නට එන බව වැස්සට පෙර දැනගෙන ඒ සඳහා ප්‍රතිකර්ම යොදා ගන්නා අතර තවත් සමහරුන් වහින බව දැන ගන්නේ තමන්ද තෙමීමෙන් පසුව බව මෙහි තේරුමය. මේ ආණ්ඩුවේ ක්‍රියාද‌ාමය සමාන වන්නේ වහින බව තෙමිලාම පසක් කරගන්නා මිනිසෙකුගේ තත්ත්වයටය. තමන්ගේ ආණ්ඩුව පරාජයට පත්වෙමින් තිබෙන බව නොපෙනෙන තරමට තමන්ගේම කතාවෙන් තමන්ම වසඟයට පත්වී සිටි මෙවැනි රජයක් නිදහසින් පසු කාලයේ අපේ රටේ නොතිබූ බව මගේ නිරීක්ෂණයය.

එක් ඇමැතිවරයකුගේ සමාජ මාධ්‍ය පිටුවක කියා තිබුණේ ‘නොවැම්බර් 16 දින මේ දුර්දාන්ත පාලනයෙන් රට නිදහස්’ කරගැනීමට සජිත් පත්කළ යුතු බවය. මේ කියන ඇමැතිවරයාත් සජිත් ප්‍රේමදාස මහතාත් මේ රජයේ ඇමැතිවරුන් යැයි ඒ අයටම අමතක වූවා සේය. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් පෙන්වන්නේ ඒ කියන ආකාරයේ විකාර රූපී රංගන දේශපාලනයට පොදු මහජනතාව තුළ ඇති ප්‍රතිචාරයේ තරමය.

මෙම ප්‍රතිඵලය තුළින් පෙන්නුම් කෙරෙන දෙවැනි කාරණය ලෙසින් මා දකින්නේ මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රාහී කණ්ඩායම වන පොදුජන පෙරමුණේ දේශපාලනයේ තිබූ තාක්ෂණික ආකෘතියේ ඇති විශේෂඥභාවයයි. මේ තත්ත්වය තේරුම් ගැනීමටවත් එජාපයේ කණ්ඩායමට හැකියාවක් තිබුණේ නැතැයි පැවසීමේ වැරැද්දක් නැත. මේ ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණේ මැදිහත්වීම ප්‍රධාන වශයෙන් ස්ථර තුනක් තුළ ස්ථාපිතව තිබූ බව මගේ අදහසය. ඒ ස්ථර තුන වන්නේ

(1) මෙරට දේශපාලනයේ අන් කවර දිනකවත් නොතිබුණු ආකාරයේ ශක්තිමත් පක්ෂ යාන්ත්‍රණයක් බැසිල් රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් ගොඩනැඟීම

(2) මහින්ද රාජපක්ෂ සන්නාමයේ ඇති ප්‍රබලත්වය හා ඒ තුළින් නිර්මාණය වූ ග්‍රාමීය සමාජ විඥ‌ානය සහ
(3) නාගරික සමාජ පන්තිය මත පදනම්ව බුද්ධිමතුන් හා වෘත්තිකයන් විසින් ගොඩනඟන ලද ප්‍රබල විවේචනය යන කාරණා තුනයි. මෙම ස්ථර තුන සමඟ ගොඩනඟන දේශපාලන ව්‍යාපෘතියට අභියෝග කළ හැකි පදනමක් මෙවර එජාපයේ හෝ ඒ කඳවුරේ නොතිබූ බව මගේ තේරුම් ගැනීමයි.

තුන්වෙනුව මෙහි ඇති අනෙක් වැදගත් කාරණයක් වන්නේ එජාපයේ අපේක්ෂකයා තමන්ට වඩා ලේසියෙන් ජයගතහැකි යැයි කල්පනා කළ ‘ගැටුම් භූමිය’ තම ප්‍රතිවාදියාගේ වඩාත්ම ශක්තිමත් භූමිය වීමයි. වෙනත් ලෙසකින් පැවසුවහොත් මා කියන්නේ සජිත් ප්‍රේමදාස මහතා විසින් තෝරා ගන්නා ලද්දේ ග්‍රාමීය ඡන්ද දායකයන් ආමන්ත්‍රණය කිරීම වන අතර එම කලාපය සම්පූර්ණයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ සන්නාමය ශක්තිමත්වම පිහිටා තිබූ කලාපයවීම යන කාරණයයි. මෙවැනි ආකාරයේ මිථ්‍යාදෘෂ්ටිවලින් පිරීගිය මැතිවරණ ව්‍යාපාරයක් ලෙසින් එජාපයේ මැතිවරණ ව්‍යාපාරය සැලකිය හැකි බව මගේ අදහසයි.

හතරවෙනුව මේ සියල්ලටම වඩා බරපතළ සාධකයක් ලෙසින් මේ මැතිවරණයේ පෙන්නුම් කළ කාරණය වන්නේ 2015 සිට මේ දක්වා රටේ ක්ෂේත්‍ර කීපයකම ගොඩනැගී තිබූ බරපතළ අර්බුදජනක තත්ත්වය පිළිබඳව කිසිම ආකාරයක කියවා ගැනීමක් එජාපයට නොතිබීමයි. ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණයත් ආර්ථිකය කඩාවැටීම සම්බන්ධ කාරණයත් මෙහිදී ඉතාමත් වැදගත් ක්ෂේත්‍ර දෙකක් වූ බව මගේ තේරුම් ගැනීමයි. මේ ක්ෂේත්‍ර දෙකෙහි තිබූ කඩාවැටීම ගැන විපක්ෂය විසින් මතු කරන ලද සියලු විවේචන ආණ්ඩුවේ අය භාරගත්තේ විහිළුවක් ලෙසින් වීම මෙහිදී අප හැමෝම දන්නා කාරණයක්ය. එපමණක් නොව මංගල සමරවීර, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න වැනි ඇමැතිවරුන් විසින් මේ රටේ සංස්කෘතියට හා ඉතිහාසයට බරපතළ ලෙසින් අපහාසාත්මක ආකාරයෙන් සිදු කරන ලද ප්‍රකාශ දේශපාලන ජනාධිපතිවරණයකට තියා සාමාන්‍ය ගමේ මැතිවරණයකටවත් ගැළපෙන ඒවා නොවීම මෙහිදී වඩාත් වැදගත් කාරණයක් බව මගේ නිරීක්ෂණය.

පස්වෙනුව මෙවර මැතිවරණයේ එජාපයේ දේශපාලනය වෙනුවෙන් වැඩ කළ සිවිල් සමාජය යැයි කියා ගත් කාණ්ඩය නියෝජනය කළේ සම්පූර්ණයෙන්ම මෙරට සමාජයේ සාමාන්‍ය ඥානයටත් නිගරු වෙන ආකාරයේ තත්ත්වයක්ය. මේ සමහරුන්ගේ කතා මගින් යෝජනා කළේ එක්කෝ රාජපක්ෂවරයකු කොහේ හෝ එල්ලීමක් ගැනය. එසේත් නැතිනම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ජාතික ආරක්ෂාවට හානියක් වන්නේ යැයි වැනි රටම විහිළුවක ලක් කරන ආකාරයේ ප්‍රකාශය. දේශපාලන බලය පිළිබඳ අදහසක් ඇති කිසිම අයකු වැද්ද නොගත යුතු ආකාරයේ කණ්ඩායම් එජාපයේ ප්‍රචාරණ ව්‍යාපාරයේ ප්‍රධානීන්වීම මේ පරාජයේ විශාලත්වය වැඩි කිරීමට හේතු වූ බව මගේ තේරුම් ගැනීමය.

හයවෙනුව එජාපයේ පරාජයේ අනෙක් නිර්මාතෘවරුන් දෙදෙනා වන්නේ සුමන්දිරන් සහ හකීම් යන සුළුජන පක්ෂවල නායකයන් දෙදෙනාය. මේ දෙදෙනා විසින් අවසානයේදී නිර්මාණය කරන ලද්දේ එජාපය ලෙසින් තිබූ විශාල පක්ෂය අනෙකුත් සෑම පළාතකින්ම අතුගා දැමීමය. දැන් එජාපය කියන්නේ ටී.එන්.ඒ. සංවිධානයේ හෝ මුස්ලිම් කොංග්‍රසයේ ‘කොළඹ ශාඛාවට’ යැයි කීමේ වැරැද්දක් නැති ගානය. මේ තත්ත්වය වර්ධනය කළෝ මේ නායකයන් දෙදෙනාය.
මේ සියලු කරුණු මගින් පෙන්නුම් කරන්නේ මෙවර ජනාධිපතිවරණය යනු 2015 පටන් ගත් ‘කතා සාප්පු දේශපාලනය’ මෙරටින් තුරන් කිරීමේ සටනක් බවට පත්වූ බවයි. එසේම කතාව වෙනුවට ‘වැඩ’ මත පදනම් වූ දේශපාලනයක් වෙනුවෙන් ජනතාවගේ උද්ඝෝෂණයේ නියෝජනය බවට මේ ජනාධිපතිවරණය පත්වූ බව මගේ තේරුම් ගැනීමය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චරිත හේරත්