වසර 2015 පටන් මේ දක්වා රජයේ සේවකයන්ගේ වැටුප් දෙගුණ වී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මෑතකදී ප්‍රකාශ කළේය. පසුගිය අවුරුදු පහ පුරා මින් පෙර පැවැති රජය යටතේ තිබූ රාජ්‍ය සේවක වැටුපට වඩා වර්තමාන රජය දෙවාරයකටත් වඩා වැටුප් වැඩිකිරීම් කළ බව ද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. මේ තරම් විශාල ප්‍රමාණයක වැටුප් වැඩිකිරීමක් රටේ ඉතිහාසය පුරා පැවැති කිසිදු රජයකින් සිදු නොකළ බව ද හෙතෙම කියා සිටියේය.

වැඩිවන ජීවන වියදමට මුහුණ දීමට හෝ කාර්යක්ෂම ලෙස වැඩකිරීම අගය කිරීමට වැටුප් වැඩි කළ යුත්තේය. වෙනත් අයුරකින් කිවහොත් ඵලදායිතාව වර්ධනය කිරීම සඳහා එසේ කළ යුතුය. උද්ධමනයට පිළියමක් වශයෙන් ජීවන වියදම් දර්ශකය පදනම් කරගෙන ජීවන වියදම් උදෙසා ගෙවීම් කිරීමේ යාන්ත්‍රණයක් අප සතුව ඇත.

අප වැටුප් වැඩි කළ යුත්තේ ඇයි?

ඇතැම් සංවර්ධිත රටවල් හා සැසඳූ විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සාපේක්ෂ වශයෙන් ඉතා අඩු මට්ටමක පවතින බවට සැකයක් නැත. ආසියානු රටවල වැටුප් මට්ටම් හා සැසැඳූ විට අප ඉන්නේ මධ්‍යස්ථ තැනකය. උදාහරණයක් ලෙස අප සිංගප්පූරුව සැලකූ විට එරට වැටුප් ඉතා ඉහළය. එහෙත් යම් නිෂ්චික කාල පරිච්ඡේදයකදී එරට  අවම සේවක සංඛ්‍යාවක් විසින් වඩා විශාල වූ වැඩ ප්‍රමාණයක් කරන බව පෙනේ. සිංගප්පූරුව ආසියාවේ, ගෝලීය තරගකාරිත්වය පෙන්වන දර්ශකයේ (Asian Global Competitiveness index)   අංක 1 ට පැමිණ තිබීමට හේතුව එයයි. රටවල් 137 කින් දැනට එම දර්ශකයේ ලැබී ඇත්තේ 85 වැනි ස්ථානයයි. සිංගප්පූරුව සෘජු විදේශ ආයෝජන බොහෝ සෙයින් ඇද ගන්නට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ද මෙම කාරණයයි.

කොන්ත්‍රාත් සහ අනුමත කිරීම්වලට අනුගත වීමේ, ශ්‍රේණිගත කිරීම්වලදී ඉතා නරකම රටවල් ගොන්නෙන් එකක් ලෙස ශ්‍රී ලංකාව දැක්වේ. යමක් කල්තියා පුරෝකථනය කළ නොහැකි ප්‍රතිපත්ති සහ බදු වෙනස්වීම් හැරුණු කොට අපට සෘජු විදේශ ආයෝජන ඇදගත නොහැකි වන්නට බලපාන වැදගත් හේතුවක් වන්නේ ද මෙයයි.

වැටුප් වැඩිකිරීමට සාධාරණ හේතුවක් තිබේ ද?

ව්‍යාපාර කිරීමේ පහසුව දැක්වෙන දර්ශකයෙන් (Doing Bsiness Indicator) අපේ අසල්වැසි රටවල් අතර අප ඉන්නා තැන හොඳින් සසඳා බැලිය හැකි වේ. සිංගප්පූරුව, මැලේසියාව සහ තායිලන්තය හා සැසඳි විට ශ්‍රී ලංකාව පවතින්නේ වර්ධනය ඇතිකර ගත යුතු තත්ත්වයකය.

 ගෝලීය තරගකාරීත්ව දර්ශකයේ (Goliad Competitiveness Index (GCI)   ශ්‍රී ලංකාව සතුව තිබූ 71 වැනි ස්ථානය ගිය වසරේදී 85 දක්වා පහත වැටුණේය. ඒ අතර දකුණු ආසියාවේ රටවලින් ඉහළටම එමින් ඉන්දියාව ලෝකයේ 39 වැනි ස්ථානයට පත්වූයේය.

 ශ්‍රී ලංකාව 85 වැනි තැනට ඇද වැටුණේ පිරිහී යමින් පවතින ආයතනික පරිසරය නිසාය. භාණ්ඩ වෙළෙඳපොළේ කාර්යක්ෂමතාව අතින් පහත මට්ටමක පැවතීම සහ යටිතල පහසුකම් වර්ධිත මට්ටමට වඩා අඩුවීම ද ඊට හේතු විය. 2017 - 18 ගෝලීය තරගකාරිත්වය පිළිබඳ වාර්තාව අනුව රටවල් 137 ක ආර්ථිකවල තරගකාරී බව සම්බන්ධයෙන් වාර්තා කරද්දී ඒවා ඇගයුම් කර තිබුණේ ඒ ආකාරයනි.

රජය විසින් සාර්ව ආර්ථික ස්ථාවර භාවය පවත්වා ගැනීමට ප්‍රමුඛතාව දිය යුතු බව එම වාර්තාවේ සඳහන් විය. රටේ ඉහළ ණය මට්ටමක් දිගින් දිගට පවතින නිසා ප්‍රබල සාර්ව ආර්ථික පරිසරයක් නැවත ස්ථාපිත කිරීමට උත්සාහ ගැනීම වැදගත් බව එහි කියවේ.

2018 ගෝලීය තරගකාරිත්ව වාර්තාවේ පසුගිය දෙවසරක කාලයේදී ව්‍යාපාර විශ්වාසවන්තභාවය පහත වැටී ඇති බව කියවේ. 2016 අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය වැඩසටහන්වලට ඇතුළත් වූ නිසා රටේ අයවැය හිඟය අඩු මට්ටමක තබා ගන්නටත් ණය ස්ථාවරව තබා ගන්නටත් ආණ්ඩුව සමත් වූ බව එහි අවධාරණය කෙරේ. එසේ වුවද තවමත් ණය උදෙසා පොලීවල බර ඉහළ මට්ටමක පවතී. වර්තමානයේදී ඒවා රජයේ ආදායම් තරමටම ඉහළ නැග තිබේ. උද්ධමනය ද වැඩි වී ඇති නිසා මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කරන්නට බලධාරීන්ට ඒ මගින් බල කෙරේ.

 ඒවා ණය උදෙසා ඇති කරන්නේ සෘණාත්මක බලපෑමකි.” යනුවෙන් එහි කියැවේ.
 වාර්ෂිකව රටවල් 138 ක් තරගකාරී බව මැනීම සඳහා කරනු ලබන සමීක්ෂණය තරගකාරිත්වය ශක්තිමත් කරනු ලබන ප්‍රධාන දර්ශක 12 කට අයත් කාරණා පදනම් කොටගෙන සිදුකෙරේ.

 තරගකාරිත්වය ශක්තිමත් කරන එම කාරණා 12 නම්

ආයතනික අංග, යටිතල පහසුකම්, සාර්ව ආර්ථික පරිසරය, සෞඛ්‍ය සහ ප්‍රාථමික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය හා පුහුණුව, භාණ්ඩ වෙළෙඳපොළේ කාර්යක්ෂම බව, ශ්‍රම වෙළෙඳ පොළේ කාර්යක්ෂම බව, මූල්‍ය වෙළෙඳපොළේ දියුණුව, තාක්ෂණික සූදානම, වෙළෙඳපොළ ප්‍රමාණය, ව්‍යාපාර විදග්ධ බව සහ නවීකරණය යන සාධකයි.
 2016/2017 ගෝලීය තරගකාරිත්ව දර්ශකයේ ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික පරිසරය අතින් 94 වැනි ස්ථානයත්,  ශ්‍රම වෙළෙඳපොළේ කාර්යක්ෂම බව අතින් 131 වැනි තැනත්, තාක්ෂණික සූදානම අතින් 106 වැනි තැනත් අත්කරගෙන තිබිණි. අප දුර්වලම තත්ත්වයට පත්ව සිටියේ එම දර්ශක මගින් වන අතර සෞඛ්‍ය සහ ප්‍රාථමික අධ්‍යාපනය අතින් ඉදිරියට විත් 43 වැනි ස්ථානයේ පසු වූයේය.

 ව්‍යාපාර පහසුකරණයේදී වඩාත්ම ගැටලුකාරී සාධක වූයේ රජයේ අකාර්යක්ෂම වූ නිලධාරිවාදී ප්‍රතිපත්තිය, ජාතික ශ්‍රම බළකායේ කාර්ය දුර්වල බව, ශ්‍රම නියාමනයේ සීමා නිසා ඇතිවන අස්ථාවර ප්‍රතිපත්ති ආදියයි.

 ලෝක බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ 2019 ව්‍යාපාරකරණය තරමක් පහසු වී තිබේ. මෙහිදී ව්‍යාපාර කටයුතු වැඩිදියුණු කරන නියාමනය සහ ඒවා සීමාකරන සාධක විමර්ශනයකින් හඳුනාගෙන තිබේ.

 ව්‍යාපාරකරණය 2019 වාර්තාවේ ප්‍රතිසංස්කරණ උදෙසා අවශ්‍ය පුහුණුවීම් කවරේ ද යන්න අනාවරණය වූයේය. ඒ මගින් ව්‍යාපාර නියාමන සහ දේපළ හිමිකම් ආරක්ෂාව පිළිබඳ ප්‍රමාණාත්මක දර්ශක ඉදිරිපත් කොට තිබිණි. ඒවා වෙනත් රටවල ආර්ථිකයන් 190 ක් සමග සැසැඳිය හැකි තත්ත්වයේ ඇත.

වඩාත් සුබ පණිවිඩය වන්නේ ශ්‍රී ලංකාව පියවර 11 ක් ඉදිරියට පැමිණ 2019 ව්‍යාපාර පහසුකරන දර්ශකයේ ඉදිරියට පැමිණීමයි. එහිදී ව්‍යාපාරකරණයේ ලකුණු 61.22 ක් රැස්කර සියවැනි ස්ථානයට පැමිණ තිබේ.

 ව්‍යාපාර ශ්‍රේණිගත කිරීමේ පහසුකරණය අතින් ඉහළට පැමිණීමේ අර්ථය වන්නේ දේශීය වශයෙන් ආයතන ඇරඹීමත්, ඒවායේ මෙහෙයුම් කටයුතුත් වඩාත් උපකාරී අයුරින් පවතින බවයි. (ඒවාට උපකාරි වන පරිසරයක් ඇති බවයි.) ශීර්ෂ 10 කට අදාළ කාරණාවලට ලැබෙන ලකුණු සාමාන්‍යකරණයෙන් ශ්‍රේණියේ කී වැනියාද යන්න තීරණය වේ. එහිදී ඒ එක් එක් කාරණාවලට සමාන බර තැබීමක් කෙරේ.

 මෙහිදී අපේ තත්ත්වය (අප කී වැනියාද යන්න) වර්ධනය වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මෑතකදී රජයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග කිහිපයකි. ඒ ගැන වාර්තාවේ විස්තර කර ඇත්තේ පහත ආකාරයෙනි.

ඉදිකිරීම් අවසරය ලබා ගැනීමේදී එම පහසුකම් එකම ස්ථානයකින් ලබා දීමේ (Single Window)  වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාව ආරම්භ කොට ඒ මගින් කටයුතු පහසුකර තිබේ. ඔන්ලයින් (Online) පහසුකම් සපයා ඒවායේ විනිවිද භාවය වර්ධනය කරමින් ඉදිකිරීම්වලට අදාළ නියාමන ක්‍රියාදාමය ලිහිල් කොට තිබේ. ඇතැම් ගොඩනැගිලි සහතික නිකුත් කිරීමේදී ගතවන කාලය ද මෙහිදී අඩු වී ඇත.

දේපළ ලියාපදිංචි කිරීමද ශ්‍රී ලංකාව වඩාත් පහසුකර තිබෙන්නේ එකම ස්ථානයකින් කටයුතු කරගැනීමේ (Single Window) ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙනි. සමහර සහතික නිකුත් කිරීම්වලට අදාළව එක පෙළට සිදුවන ක්‍රියාදාම රාශියක් පහසු කරමින් අයිතිය දැක්වෙන මිනුම් සිතියම්, හිමිකම් ආදී තොරතුරු ලබා ගැනීමට ඔන්ලයින් සේවා සපයා විනිවිද පෙනෙනසුළුභාවය ද වර්ධනය කර තිබේ.

 ශ්‍රී ලංකාව ඔන්ලයින් සේවා සපයමින් බදු ගෙවීමේ කටයුතු පහසු කර තිබේ. ආදායම් බදු, එකතු කළ අගයට අදාළ බදු සහ සේවක භාරකාර අරමුදල් ගෙවීමේදී තොරතුරු පිරවීම ඔන්ලයින් පද්ධතියෙන් පහසුකර ඇත.

 ශ්‍රී ලංකාව කොන්ත්‍රාත් කටයුතු බලගන්වා ඇත්තේ අධිකරණයේ භාවිත කළමනාකරණ ශිල්ප හඳුන්වා දෙන අංගයක් ලෙස නඩු කටයුතුවලට පෙර පවත්වන සම්මන්ත්‍රණ හඳුන්වා දීමෙනි.

 දකුණු ආසියා කලාපයේ, ඉන්දියාව විශිෂ්ට වර්ධනයක් අත්කරගෙන ඇත්තේ ව්‍යාපාරකරණයේ පියවර 23 ක් ඉදිරියට පනිමිනි. මේ වසරේ ඉන්දියාව 77 වැනියා බවට පත්ව තිබේ. කලාපයේ අනෙකුත් රටවල් වන භූතානය 81 වැනි තැනට ද, නේපාලය 110 ට ද, මාලදිවයින 139 ට ද, පාකිස්ථානය 136 ට ද, බංග්ලාදේශය 176 ට සහ ඇෆ්ගනිස්ථානය 167 වැනියාට ද පැමිණ තිබේ.

2019 දී ව්‍යාපාරකරණ වඩාත් පහසු කිරීමේදී සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගෙන තිබෙන ආර්ථිකය සහිත රටවල් නම් ඇෆ්ගනිස්ථානය, ජිබෝටි (Djibouti) චීනය, අසර්බයිජානය, ඉන්දියාව, ටොංගෝ, කෙන්යාව, කෝටේ ඩී අයිවරි, තුර්කිය, රුවෙන්ඩා ආදියයි. (2019 ලෝක බැංකු වාර්තාව) සම්පාදන කටයුතු හා කාර්ය සාධනය පිළිබඳ දර්ශකයේ ද සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කෙරේ. (Logistic Performance Index LPI) 2014 දී ශ්‍රී ලංකාව 2.7 කි. සමස්ත LPI ලකුණු රැස්කර ගැනීමෙන් අනතුරුව 2018 දී 2.6 ක් අත්කර ගත්තේ දකුණු ආසියා කලාපයේ සාමාන්‍ය ලකුණු තත්ත්වය වූ 2.51 අභිබවා යමිනි. මේ නිසා 2018 දී රටවල් 168 ක් අතුරින් ශ්‍රී ලංකා ආර්ථිකය 94 වැනි ස්ථානයට ආයේය. 2014 දී අප පසු වූයේ 89 වැනි ස්ථානයේය. ශ්‍රී ලංකාවට වැඩිම ලකුණු අත් වූයේ Tracking and Tracing) ක්‍රියාදාමයෙන්ය. (ලකුණු 2.79 කි)(Timeliness) කාලානුරූපී බව (2.79 කි) සහ රේගු කටයුතු (2.58 කි)

සමස්ත (LPI) සම්පාදන කටයුතු හා කාර්ය සාධන වර්ධනයට අදාළ හේතු සාධක මූලික ක්ෂේත්‍ර 6 ක් අනුව සලකා බැලේ.

(i) රේගු කටයුතුවල බාධා ඉවත් කිරීම් ක්‍රියාදාමයේ කාර්යක්ෂම බව
(ii) යටිතල පහසුකම් හා බැඳුණු පරිවහන යන වෙළෙඳ කටයුතුවල ගුණාත්මක බව.
(iii) නැව්ගත කිරීමේ තරගකාරී මිල සහ පහසුකම්.
(iv) කාර්ය සම්පාදන සේවාවල ගුණාත්මක බව.
(v)Track and trace ක්‍රියාදාමයේ හැකියාව.
(vi) නිරන්තරව සහ නිසි කලට සැපයෙන නැව්ගත කිරීම් සේවා.

මෙම ක්ෂේත්‍ර හයේම සාමාන්‍ය අගය ගණන් බලා සංරචක විශ්ලේෂණ මූලධර්ම භාවිතාකොට තනි අගයකට ගනු ලැබේ. ඉහළ ලකුණු තත්ත්වය මගින් වඩා හොඳ වර්ධනයක් පෙන්නුම් කෙරේ. 2018 ගෝලීය තරගකාරී බව පිළිබඳ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ඉඩම් පරිපාලනයේ, දේපළ හිමිකම්වල ගුණාත්මක බව යටතේ ලැබී ඇත්තේ නරකම තත්ත්වයේ ලකුණුය. ඊට අදාළ ඉහළම ලකුණු ලබාගෙන ඇත්තේ සිංගප්පූරුවයි.

 ඵලදායි නොවූ රාජ්‍ය සේවාවට ඉහළ වැටුප් ගෙවීමේ වගකීම
නිතරම රජයේ වැටුප් වැඩිකරනු ලබන්නේ හුදෙක් දේශපාලන වාසිය ලබා ගැන්මට නැතහොත් පාලනය කරන පක්ෂයේ කීර්තිනාමය වැඩිකර ගැනීමට හෝ විරුද්ධ පක්ෂයට බලයට ඒමටය. ඇතැම් විට පඩි වැඩි කිරීම මැතිවරණ පොරොන්දුවක් වෙයි. යහපාලන රජය රජයේ සේවකයනට රුපියල් 10,000 ක වැටුප් වැඩි කිරීමක් පොරොන්දු වූ බව ඔබ සැවොම දනිති. අවසාන අය වැය කතාවේදී මුදල් අමාත්‍යවරයා රාජ්‍ය සේවකයනට රුපියල් 2500 ක වැටුප් වැඩි වීමක් පොරොන්දු වෙමින්, 2019 අයවැයෙන් ඒ සඳහා රු. බිලයන 40 ක් වෙන් කරනු ලැබුවේය.

 ගැටලුව වන්නේ මෙම වැටුප් වැඩි වීමේ මුදල කවුරු විසින් ගෙවනු ලබන්නේ ද යන්නයි. එම මුදල සෘජු හෝ වක්‍ර බදු මගින් එකතු කරගෙන භාණ්ඩාගාරය හරහා පැමිණිය යුතු වේ. මෙම මුදල් ගෙවනු ලැබුයේ රටේ ව්‍යාපාරවලින් සහ සාමාන්‍ය ජනයා විසිනි. ගෙවන්නට තරම් මුදල් නොමැති විටකදී රජය විසින් මුදල් අච්චු ගසා පඩි ගෙවනු ඇත. එහි ශුද්ධ වූ ප්‍රතිඵලය උද්ධමනය ඉහළ යාමයි.

හොඳින් වැඩ කළ අවස්ථා

මහජනයා වෙත කාර්යක්ෂම ලෙස භාණ්ඩ හා සේවා සැපයුම් කරමින් සක්‍රිය ලෙස තම කාර්යය ඉටුකළ ශ්‍රී ලාංකික රාජ්‍ය ආයතන ගැන අප අධ්‍යයන කිහිපයක් කර තිබේ. ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉන් හොඳම ආයතනයයි. තනි දවසකින් විදේශ ගමන් බලපත්‍රය නිකුත් කරන්නට ඔවුන්ට හැකි විය. ඔබ උදෑසන ඊට අදාළ ලියකියවිලි භාර දුන් විට ඔබට හවස විදේශ ගමන් බලපත්‍රය ලබාගත හැකිය. ඉක්මනින් එය ලබා දීම සඳහා අමතර වූ විශේෂ ගාස්තුවක් අය කෙරේ. ඔවුන්ගේ සේවාව සම්බන්ධයෙන් හැම දෙනාම සතුටට පත්වූහ. සේවකයන් ද විනීත අයුරින් කටයුතු කරන බැවින් අවසානයේ සේවාදායකයන්ට ගුණාත්මක, කාර්යක්ෂම සේවාවක් ලැබිණි. වාණිජ දෙපාර්තමේන්තුව එවැනි තවත් ආයතනයකි. දිනක් ඇතුළත සහතික නිකුත් කිරීමේ කාර්යය එයින් සිදුකෙරේ. උදේ අදාළ ලේඛන ඉදිරිපත් කළ විට හවස් වරුවේ ඊට අදාළ සහතිකය ඉන් නිකුත් කරනු ලබයි.

රජයේ සේවකයන්ගේ ආදායම ඉහළ නැංවීමට ඵලදායිතාව පදනම් කරගත් වැටුපක් හෝ දීමනාවක් අපට දිය නොහැක්කේ ඇයි?

ඉහත උදාහරණවලින් පෙනීයන්නේ අපට වුවමනාවක් ඇත්නම් රාජ්‍ය ආයතනවල ස්වභාවය වර්ධනය කළ හැකි බවයි. මෙය කළ නොහැක්කේ අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් සහ රටේ ඵලදායිතාව නැංවීමට අවශ්‍ය පැහැදිලි ප්‍රතිපත්තියක් නොමැති නිසාය. රජය 2015 - 2019 දී රජයේ සේවකයන්ගේ වැටුප් දෙගුණ කිරීමකුත් 2020 දී සියයට 107 ක වැටුප් වැඩි වීමකුත් නිවේදනය කරන්නේ නම් එවැනිම වූ ප්‍රතිශතයකින් ඵලදායිතාව ද වර්ධනය වී තිබිය යුතුය. එම කාලයට අදාළ සංඛ්‍යාලේඛනවලින් එවැන්නක් සිදු වී ඇතැයි අපට කොහෙත්ම නොපෙනේ. අපට පෙනෙන්නට ඇත්තේ රජයේ සේවකයන් වෙතින් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට සිදුවන සේවාව පිරිහී ගොස් ඇති බවකි.
එවැනි වාතාවරණයකදී රටේ වියදම් වැඩිකිරීමටම තීරණ ගනු ලැබූ දේශපාලකයන් සහ මහජනතාවට බලාපොරොත්තු වන මට්ටමෙන් සේවයක් සලසන්නට අපොහොසත් රාජ්‍ය සේවකයනුත් යන දෙගොල්ලන්ම ශ්‍රී ලංකාවේ මෙම පිරිහීමට වගකිව යුතුය.


සේවාවල ගුණාත්මක බවත් ඒවායේ ක්ෂණික බවත් වර්ධනය කිරීමට අපට බොහෝ සෙයින් තාක්ෂණය උපයෝගී කරගත හැකිය. දූෂණය සහ ප්‍රමාදය වළක්වා ගැනීමට අපට ඔන්ලයින් සේවා යොදාගත හැකිය.
 සිංගප්පූරුව වැනි රටවල් වසර ගණනාවකට පෙර පටන් වඩ වඩාත් තාක්ෂණය උපයෝගී කර ගැනීමෙන් දූෂණය අවම කරගෙන වර්ධනය වී තිබේ. අද වන විට නිෂ්පාදන කර්මාන්තයේ වර්ධනයට සහ මහජන සේවාවලට කාර්මික රොබෝ යන්ත්‍ර උපයෝගී කර ගැනීමට තරම් දුරකට ඔවුන් ගොස් තිබේ.

ඉකුත් දිනයකදී ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරින්ගේ දකුණු ආසියා ගණකාධිකාරින්ගේ ෆෙඩරේෂණයේ (South Asian Fedaration Of Accounts-SAFA)  අනුග්‍රහයෙන් “අල්ලස හා දූෂණය පිටුදැකීමේදී මූල්‍ය වෘත්තිකයන්ගේ කාර්ය භාරය” යන මැයෙන් කතිකාවක් පැවැත්විණි. එහිදී මුදල් අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න ප්‍රකාශ කර සිටියේ.
 “ආර්ථික වර්ධනයට ලොකුම බාධකය වී ඇත්තේ දූෂණයයි. අල්ලස හා දූෂණයෙන් පිරිහී යන්නේ නීතිමය පාලනයේ පදනමයි. එය සංවර්ධන ක්‍රියාකම්වලට අහිතකර බලපෑම් ඇතිකරනවා. එයින් දිරිමත් වන්නේ අයහපත් පාලනයයි. සමහර විට දූෂිත හැසිරීමත්, පිළිගත හැකි හැසිරීමෙන් වෙන්කර හඳුනාගත හැකි නොවන තරමට එය සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා. අපේ රාජ්‍ය ආයතනවල අල්ලස හා දූෂණය මුල් බැසගෙන තිබෙනවා. රජයෙත් සමාජයේත් දූෂණය බහුලව පැතිරී තිබෙනවා.” යනුවෙනි.

 මෙය රාජ්‍ය ආයතන පිරිසුදු කළ යුතු බව කියවෙන පැහැදිලි පණිවිඩයකි. අපට ඔවුන් උදෙසා කාලය පදනම් කොටගත් නිෂ්පාදන ඉලක්ක හඳුන්වා දිය හැකි නම්, ඒ මගින් හඳුන්වා දෙන දිරි දීමනාවලින් ඔවුන්ගේ ආදායම් වර්ධනය කළ හැකි නම් අපට අල්ලස හා දූෂණය අවම කරගත හැකි වේ. මේ මගින් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට එන්නට අපට හැකි වේ. එවිට ශ්‍රී ලංකාව අපට ඉන්නට හිතෙන හිතකර රටක් වනු ඇත. එවිට ආයෝජකයන්ට ශ්‍රී ලංකාව සරුඵල දෙන රටක් වන බැවින් මෙරටට එන සෘජු විදේශ ආයෝජන වැඩිවනු ඇත.

Dail FT පුවත්පතේ පළවූ Why we pay more to pramote Inefficiency නම් ලිපියේ පරිවර්තනයකි.
සමන් පුෂ්ප ලියන
ගේ