ගාසා සටන් සමයේ තමන් පාසල් හා රෝහල් වැනි පොදු ස්ථාන වල සිට ඊශ්‍රායෙලයට රොකට් ප්‍රහාර එල්ල කළ බව හමාස් සංවිධානය පිළිගෙන තිබේ.
ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරියෙකු වන ගාසි හමාඩ් අන්තර්ජාතික මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායෙලයට රොකට් ප්‍රහාර එල්ල කරන්නට සුදුසු ස්ථාන තෝරාගැනීමට නොහැකි වූ තැන මෙසේ පාසල් හා රෝහල් වැනි ස්ථාන වල රොකට් අවි අටවා ප්‍රහාර එල්ල කළ බවයි.
එසේ වුවද සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තකා එම අවි ඔවුන්ගෙන් හැකිතාක් දුරින් පිහිටවූ බවද ඔහු කියා ඇත.
එසේ කිරීමෙන් තම සංවිධානය සිදුකරගත්තේ මහත් වරදක් යැයිද ඔහු පිළිගෙන තිබේ.
මේ ප්‍රකාශයත් සමඟ හමාස් සංවිධානය සිවිල් වැසියන් ගැවසෙන ස්ථානයන්හි සිට රොකට් ප්‍රහාර එල්ල කළේ යැයි ඊශ්‍රායෙලය නැගූ චෝදනා සත්‍ය බවක් පෙනෙන්නට ඇත.
නමුත් සිවිල් වැසියන්ගේ ඝාතනයන් සම්බන්ධව වගකීම භාරගැනීමට හමාස් සංවිධානය සූදනාම් නැති බව ඔහු පවසා තිබෙන අතර ඔහුට අනුව සිවිල් වැසියන් විශාල වශයෙන් ඝාතනයව ඇත්තේ ඊශ්‍රායෙලය අත්තනෝමතික ලෙස එල්ල කළ ප්‍රහාරයන් නිසාය.
එයට ප්‍රතිචාර දක්වා ඇති ඊශ්‍රාලෙය පහර කන්නට වන බව දැන දැනම රොකට් අවි ජනතාව ගැවසෙන පොදු ස්ථාන වල ඇටවීමට කටයුතු කළේ මන්දැයි හමාස් සංවිධානයෙන් විමසා ඇත.සිවිල් වැසියන්ගේ ජීවිත හානි අවම වන පරිදි ප්‍රහාර එල්ල කිරීමට තමන් නිරතුරුව පියවර ගත් බවද ඊශ්‍රායෙලය එම ප්‍රකාශයේ සදහන් කර තිබේ.
දින 50 ක් පුරා ඇතිවූ සටන් වලින් හමාස් සටන්කාමීන් ඇතුලූ සිවිල් වැසියන් 2000 කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇතැයි ගණන් බලා තිබෙන අතර ඊශ්‍රාලෙයටද සිවිල් වැසියන් 4 දෙනෙකු ඇතුලූව හමුදා භටයින් 72 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇත.
හමාස් සංවිධානය සිවිල් වැසියන් දහස් ගණනින් මියගොස් ඇතැයි කීවද මියගිය පුද්ගලයින්ගෙන් වැඩි දෙනා සිවිල් වැසියන් නොව හමාස් සාමාජිකයින් බව ඊශ්‍රායෙලය කියයි.
ඊශ්‍රායෙලය මුල සිටිම හමාස් සංවිධානය පොදු ජනතාව ගැවසෙන ස්ථානයන් වල සිට රොකට් ප්‍රහාර එල්ල කරන බව පැවසුවද දිනෙන් දින ඉහළ ගිය සිවිල් මරණ සංඛ්‍යාව හමුවේ බොහෝ දෙනා හමාස් සංවිධානයට පක්ෂව අදහස් පළකරනු දැක ගත හැකි වුණි.
රොකට් ප්‍රහාර එල්ල වනු, රොකට් අවි ස්ථාන ගත කර තිබෙනු දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයන් පවා ප්‍රසිද්ධ කිරීමට ඊශ්‍රායෙලය කටයුතු කළද ඒ කිසිවක් වැඩි අවධානයකට ලක් නොවීය.
නමුත් දැන් හමාස් සංවිධානයේ මෙම ප්‍රකාශයත් සමග ඊශ්‍රායෙලය කෙරෙහි වැඩි සැළකිල්ලක් යොමුවන බවක් පෙනෙන්නට ඇත.
කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් කාර්යාලය ගාසා ගැටුම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරමින් පවතින එය සම්පූර්ණයෙන්ම අපක්ෂපාතීව,නිවැරදි කරුණු එළිදරව් කිරීමේ අරමුණින් සිදුකෙරෙන බව ඔවුන් කියයි.
පරීක්ෂණයෙන් හමාස් සංවිධානය මෙන්ම ඊශ්‍රායෙලයද බරපතල ගණයේ වැරදි රැසක් සිදුකර ඇති බව සනාථ කෙරෙන සාක්ෂි දැනටමත් සොයාගැනීමට හැකිව ඇතැයි සඳහන්ය.




