තණ උලාකමින් සිටි භූමියෙන් ඉවත්ව වෙනත් තණ පිටියකට පැන යාමට තැත්කළ සුදු කළු පැහැති අශ්වයකු වැටක හිරවී කලබගෑනියක් වූ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. මෙය සිදුව ඇත්තේ එංගලන්තයේ ශ්රෝප්ෂියර් ප්‍රදේශයේය.
මේ අනතුරට පත්වූ ජෙස්ටර් නම් අශ්වයා බේරා ගැනීමට ගිනි නිවන භටයන් 10 දෙනකුට පැයකට වඩා වැඩි කාලයක් දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. හරස් පොළු හයකින් යුතු ගේට්ටුවේ අශ්වයාගේ උකුල ප්‍රදේශය තද වී හිරවී තිබිණි.
දොඹකරයක් ආධාරයෙන් අශ්වයා අඩි 20ක් ඉහළට ඔසවනු ලැබීය. සතාට තැලීම් හා සීරීම් තුවාල සුළු ප්‍රමාණයක් තිබිණි. සතා දැඩි ආතතියකින් සිටි බව පශු වෛද්‍යවරු කියති.
‘‘ ජෙස්ටර් වැටේ හිරවී සිටියත් ඉතා සන්සුන්ව සිටීම නිසා අපට ඔහු ඉහලට ඔසවන්න හැකියාව ලැබුණා. මෙයට පැයක් පමණ ගත වුණා.“ යැයි ගිනි නිවන ඒකකයේ ක්‍රේග් ජැකී නම් නිලධාරියා කියා සිටියේය.
සියළු දෙනාගේ ම මතය වූයේ අශ්වයා තණකොළ සොයාගෙන අනෙක් වත්තට පනින්නට උත්සාහ ගන්නට ඇති බවයි.






