ප්‍රංශයේ ඔලිම්පික් පදක්කම් ලාභීන් දෙදෙනකු ඇතුළු 10 දෙනකු ආජන්ටිනාවේ වයඹ දිග කඳුකර පෙදෙසක දී හෙලිකොප්ටර් යානා දෙකක් ගැටී මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් රූපවාහිනී වැඩසටහනක පටිගතකිරිම් සඳහා සහභාගී වෙමින් සිටිය දී මේ අනතුර සිදුව ඇත. බාධක ජයගනිමින් දිවි ගලවා ගැනීම සම්බන්ධයෙන් මේ වැඩසටහන් නිෂ්පාදනය කැර ඇත.
ඔලිම්පික් පිහිනුම් රන් පදක්කම් ලාභිනී කැමිලි මුෆර්ට් (25) සහ ඔලිම්පික් බොක්සින් ලෝකඩ පදක්කම් ලාභී ඇලෙක්සිස් වාස්ටයින් (28) මෙලෙස මරුමුවට පත්ව ඇත.
කැමිලි 2012 දී ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී කාන්තා මීටර 400 පිහිනුම් නිදහස් ආර රන්පදක්කම් හිමිකැර ගත්තාය. ඇලෙක්සිස් 2008 බීජිං ඔලිමිපික් උළෙලේ දී සැහැල්ලු බර පන්තියෙන් බොක්සින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
හෙලිකොප්ටර් දෙක පදවා ඇත්තේ ආජන්ටිනාවේ ගුවන් නියමුවන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා සහ තවත් ප්‍රංශ ජාතිකයන් පස් දෙනකු මේ අනතුරෙන් මියගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.




