යුරෝපා නායකයන්ට ජනපති ට්‍රම්ප් දෙහි කපයි


ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුරෝපා බටහිර රටවල රාජ්‍ය නායකයන්ට දොස් නගා ඇත. ඒ, එම රටවල ලිහිල් සංක්‍රමණික ප්‍රතිපත්ති විවේචනය කරමිණි. 

ට්‍රම්ප් යුරෝපා රටවලට දොස් නගුවේ ‘පොලිටිකෝ’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ට්‍රම්ප් පැහැදිලි කර ඇත්තේ, යුරෝපා රටවල් සංක්‍රමණික ප්‍රතිපත්ති එම රටවල් අගාධයට ඇද දමා ඇති බවය.

‘මුස්ලිම් රටවලින් ඉවක් බවක් නැතිව සංක්‍රමණිකයන් යුරෝපයට පැමිණෙනවා. ඒක හොඳ දෙයක් නොවෙයි. ඒ විදියට සංක්‍රමණිකයන් පැමිණීම යුරෝපා රටවල ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක්. ඒ රටවල් කඩා වැටෙන දිනය වැඩි ඈතක නැහැ. යුරෝපා රටවල සංක්‍රමණ ප්‍රතිපත්ති ඒ රටවලට මහා විනාශයක්’ යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා තිබේ.

‘රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින් ද ඇමෙරිකන් ජනාධිපතිවරයා බටහිර රටවලට දොස් නගා ඇත. ඒ, යුද ගැටුම් නතර කිරීමට තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගැනීමට යුරෝපා නායකයන් අසමත් බව පවසමිනි. 

රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සටන් විරාම සාම යෝජනාවලියක් සකස් කර දී ඇති අතර, ට්‍රම්ප්ගේ නියෝජතයන් එය යුක්රේන ජනාධිපතිවරයාටත්, රුසියන් ජනාධිපතිවරයාටත් ඉදිරිපත් කර තිබේ.

රැසියක් ජනාධිපති මෙම සටන් විරාම සාම යෝජනාවලියට කැමැත්ත පළ කරමින් අවධාරණය කර ඇත්තේ, රුසියන් හමුදා අල්ලා ගත් යුක්රේනයේ ඩොන්බාස් පළාත රුසියාවට දෙන්නේ නම්, යුද්ධය අවසන් කරන බවය. මෙය යුක්රේනයේ විරෝධයට හේතුවක් වී ඇත.