අදින් වසර 2300 ට පෙර කාලයේ දී ද මොළයේ බරපතල සැත්කම් සිදුකැර ඇති බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ කියති. ඔවුන් මේ බව තහවුරු කරගෙන ඇත්තේ සැත්ම් කරනලද බවට පැහැදිලි සළකුණු සහිත හිස්කබල් දෙකක් සොයා ගැනීමෙනි.
සයිබීරියාවේ අල්තායි මවුන්ටන්ස් නම් පෙදෙසින් මේ හිස්කබල් හමුවී ඇත. මේ හිස්කබල් දෙක පැසිරික් නමැති සංචාරක ගෝත්‍රිකයන්ගේ යැයි විශ්වාසයක් පවතී.
සමාන උපකරණ හා තාක්ෂණය යොදාගෙන මේ හිස්කබල් දෙකෙහි සැත්කම් කර ඇතැයි අනාවරණය වී ඇත. හිස්කබල සිදුරු කිරීමෙන් හෝ හීරීමෙන් මේ සැත්කම් සිදුකැර තිබේ. මෙය ට්‍රෙපනේෂන් ලෙස හැඳින්වෙන ඉතා අනතුරුදායක පැරණි සැත්කම් ක්‍රමයකි.
විද්‍යාඥයන් පවසන්නේ හමුවූ එක් හිස්කබලක් වයස අවුරුදු 40ත් 50ත් අතර පුද්ගලයකුගේ බවයි. එම තැනැත්තාගේ මොළයේ ගෙඩියක් තිබූ බවට සාධක හමුවී ඇත. එමෙන් ම වැඩිදුරටත් සියුම් ලෙස පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ ඔහුගේ මොළය හා හිස්කබල අතර රුධිරය එකතුවිමේ තත්ත්වයක් ද තිබී ඇති බවයි. සැත්කමින් හිස්කබලේ තිබූ ගෙඩිය සාර්ථකව ඉවත්කැර ඇති බව විද්‍යාඥයෝ කියති. මේ සැත්කමින් පසු හිස්කබල වර්ධනය වූ බව හොඳින් නිරීක්ෂණය කළ හැකිවෙයි. එයින් පැහැදිලි වන්නේ සැත්කමින් පසු මේ තැනැත්තා සෑහෙන කාලයක් දිවි ගෙවා ඇති බවයැයි විද්‍යාඥයෝ කියති.
අනෙක් හිස්කබල අයත් පුද්ගලයාට ප්‍රවේණිගත රෝගයක් තිබෙන්නට ඇතැයි යන්න පර්යේෂකයන්ගේ මතය වී ඇත. හිසකබලේ සිදුරක් විදීමෙන් මේ සැත්කම ද සාර්ථකව සිදුකැර ඇත.
පුරාවිද්‍යාව හා මානව විද්‍යාව සම්බන්ධ රුසියානු ඇකඩමියේ සයිබීරියානු ශාඛාවේ විද්‍යාඥයන් පවසන්නේ 19 වැනි සියවසේ යුරෝපයේ රෝහල්වල කරන ලද මේ ආකාර සැත්කම් වලින් සාර්ථක වී ඇත්තේ සියයට 10ක් පමණක් බවයි.



