වැරදීමකින් දැලට හසුවූ මුහුදු සිංහයෙකු නිදහස් කිරීමට ගිය රුසියා ජාතික ධීවරයෝ පිරිසක් අමතක නොවන අත්දැකීමකට මුහුණ දුන්හ.
දැලෙහි සිරවී සිටි සත්ත්වයා අසීරුවෙන් පිටතට ගෙන මුහුදට යන්නට මාර්ගය සළසා දුන්නද කළ වැරැද්දට දඩුවම් දී මිස පිටව නොයන්නට මුහුදු සිංහයා තීරණය කළ බවක් පෙනිණි.
මුහුදු සිංහයා මසුන් මරන්නෙකු ඔසවා විසිකළේ කෝප වූ කුඩා දරුවෙකු බෝනික්කෙකු විසි කරන්නාක් මෙනි.
මසුන් මරන්නා අඩි ගණනක් උඩින් විසිවී ගොස් බිම පතිත විය.
කලබලය අතරේ මැදට පැන්න මසුන් මරන්නන්ට අයත් බල්ලෙක් මුහුදු සිංහයාගෙන් පහර කෑවේය.
එක් මසුන් මරන්නෙක් නැවේ තට්ටුව සේදීමට භාවිතා කරන ජල නළය මුහුදු සිංහයා දෙසට එල්ල කර ජල පහරක් විද්දේය.ජල පහර සමග ලිස්සා ගිය මුහුදු සිංහයා නැව් තට්ටුවෙන් මුහුදට පැන මොහොතක් මසුන් මරන්නන් දෙස තර්ජනාත්මකව බලා සිට පිහිනා ඉවත්ව ගියේය.
තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂයක් වන මුහුදු සිංහයා ලොව ජීවත් වන විශාලම ජීවීන් පස් දෙනා අතරට අයත්ය.වැඩුණු පිරිමි මුහුදු සිංහයෙකු කිලෝ 400 ක් පමණ බර වන අතර ගැහැණු මුහුදු සිංහයෙකු කිලෝ 80 - 160 ත් අතර බරකින් යුතුවේ.
ප්‍රජනන සමයේදී පිරිමි මුහුදු සිංහයින් අතිශයින් ප්‍රචණ්ඩ වේ.මසුන් මරන්නන්ට පහර දුන්නේ පිරිමි මුහුදු සිංහයෙකැයි මුලින් මත පළවී තිබුණමුත් එම අවස්ථාවේ පටිගත කෙරී ඇති වීඩියෝවක් නිරීක්ෂණය කර ඇති සත්ත්ව විශේෂඥයින් පවසන්නේ ඒ සිටින්නේ ගැහැණු සතෙකු බවයි
සෑම වසරකදීම මසුන් මරන්නන්ගේ දැල් වලට වැරදීමකින් හසුවීමෙන් මුහුදු සිංහයින් විශාල සංඛ්‍යාවක් මියයන අතර පවත්නා නීති අනුව එසේ මුහුදු සිංහයෙකු දැලට හසුවී මියගියගොත් ඒ පිළිඹද වාර්තා කරන්නන්ට මසුන් මරන්නන් බැඳී සිටී.





