2013 වර්ෂයේ අප්‍රේල් මස මැරතන් ධාවන තරගයක යෙදී සිටි තරගකරුවන් ඉලක්ක කළ බෝම්බ ප‍්‍රහාරයේ ප‍්‍රධාන සැකකරුවෙකු වූ විසි එක්හැවිරිදි ඩෝස්කාර් ටාර්නෙව් හට මරණ දඬුවම නියම කිරීමට බොස්ටන් මහාධිකරණය පසුගියදා කටයුතු කළේය.
මිනී මැරීම,මිනී මැරීමට හවුල්වීම,තුවාල සිදුකිරීම ආදී චෝදනා 30 කට ඔහු වැරදිකරු යැයි තීරණය වූ අතර එම චෝදනා අතරින් චෝදනා 17 ක් සැළකීමේදී ඔහුට මරණ දඬුවම නියම කිරීම වඩාත් සුදුසු යැයි විනිසුරුගේ අදහස විය.
බෝම්බ ප‍්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගිය අතර 280 කට ආසන්න සංඛ්‍යාවක් තුවාළ ලැබීය.එම තුවාළ ලැබූවන් දැන් සුවපත්වී සිටින අතර ඔවුන් අතරින් බහුතරයකට තම අත්පා අහිමිය.
බෝම්බ ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස ඩෝස්කාර් ගේ වැඩිමහලූ සොහොයුරා වන ටමෙර්ලාන් ටාර්නෙව් හඳුනාගැනීමට පොලිසිය සමත්ව විය.නමුත් දෙදෙන අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී සිදුවූ වෙඩි හුවමාරුවට මැදිව ඔහු මියගියේය.සොහොයුරා මළ පසු ඩෝස්කාර් පොලිසියට යටත් වූවේය.
මේ දෙදෙනට තවත් බාල සොහොයුරෙකු සිටින අතර බෝම්බයක් ඇටවීමට තැත් කළේයැයි චෝදනා ලැබ සිටින ඔහු මේ වන විට සිටින්නේ පොලිස් අත්අඩංගුවේය.
ඩෝස්කාර්ට ලැබුණු තීන්දුව සම්බන්ධයෙන් පසු අවස්ථාවක ඔහුගේ මව වන සුබෙයිඩාට් ටමෙර්ලාන් අදහස් දැක්වූ අතර තම පුතුන් මිනීමරුවන් බවට පත්කළේ ඇමරිකාව බව ඇය චෝදනා කළාය.නියම ත‍්‍රස්තවාදියා වන්නේ ඇමරිකාව යැයි හඳුන්වාදුන් ඇය මේ දක්වා ඩෝස්කාර්ට සහය පළකළ සියලූ දෙනාට තම ස්තූතිය පළ කරන බවත් දේව කැමැත්තෙන් තම පුතණුවන් නිදහස්ව පැමිණෙන දිනයේ නිවසේ දොර ඔහු වෙනුවෙන් හඬ නැගූ සියලූදෙනාට විවෘත බවත් කීවාය.
සුබෙයිඩාට් ටමෙර්ලාන් හා ඇයගේ සැමියා කජිගිස්තානයේ වාසය කළවුන් වන අතර ඔවුන් ඇමරිකාවට පැමිණ ඇත්තේ චෙච්නියා ගරිල්ලන්ගෙන් තමන්ට ජීවිත තර්ජන ඇතැයි කියමිනි.ස්ථාවර වූ පසු ඔවුන් තම පුතුන්වද ඇමරිකාවට ගෙන්වාගෙන ඇත.
ටමෙර්ලාන් අන් ආගමික මත නොඉවසන දැඩි මතධාරීන් ලෙස හැඩගැසෙන්නට ගෙන ඇත්තේ ඇමරිකාවේ අධ්‍යාපනය ලබමින් සිටි කාලයේදීය.ඔවුන්ගේ වෛරය අවසානයේ පුපුරා ගියේ බොස්ටන් බෝම්බයෙන්ය.
තම සොහොයුරා හා තමා මෙම ප‍්‍රහාරය එල්ල කළේ ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ අසරණ ඉස්ලාම් භක්තිකයින් මරා දමමින් සිදුකරන මහා සංහාරයට විරෝධය පළකිරීමක් ලෙස බව ඩෝස්කාර් වරක් තම නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවකදී සදහන් කළේය.මොවුන් දෙදෙන හා ත‍්‍රස්ත සංවිධානයක් අතර සම්බන්ධයක් ඇතැයි බොහෝ දෙනා සිතා සිටියද පසුව එවැන්නක් නොමැති බව අනාවරණය විය.
ඩෝස්කාර්ට මරණ දඩුවම නියම වීම සම්බන්ධයෙන් බොස්ටන් ප‍්‍රහාරයට හසුව දිවි ගලවාගැනීමට සමත්වූ පුද්ගලයින් පළකරන්නේ මිශ‍්‍ර අදහස්ය. ප‍්‍රහාරයට හසුව මියගිය හා ජීවිත කාලයටම ආබාධිතව සිටින පුද්ගලයින්ට එයින් අත්වන ඵලක් නැතැයි ඇතැමුන් කියන අතර තවත් අය කියන්නේ මහා විනාශයක් සිදුකළ ඩෝස්කාර්ට මරණ දඩුවම ලබාදීම සම්බන්ධයෙන් ඔවුන් සතුටුවන බවය.







