මෙක්සිකෝ ජාතික මාර්ගරිටා සුවාරෙස්ගේ කරුණාවන්තකම ගැන නොදන්නා කෙනෙක් මෙක්සිකෝවේ මේරීඩා ප‍්‍රදේශයේ නොසිටි තරම්ය.
ලද දෙයින් සතුටු වු ඇය හැකි සෑම අවස්ථාවකම අන් අයට උපකාර කළාය.සතුන්ටත් ඇය ආදරය දැක්වූවාය. නිවසට එන අයාලේ යන බල්ලන් බළලූන් ගේ කුසගිනි නිවීමට ඇය සෑම විටම කටයුතු කළාය.
අවාසනාවන්ත ලෙස ඇය පසුගියදා මියගියාය.ඇයගේ දේහය ප‍්‍රදේශයේ මල් ශාලාවක තැන්පත් කැරුණේ හිතවතුන්ගේ සෝසුසුම් මැදය.
එක්වනම බල්ලෙක් මල් ශාලාවට ඇතුළු විය.මාර්ගරිටා සැතපෙමින් සිටි පෙට්ටිය දෙස බලා සිටි ඔහු ඒ අසලින් බිම වැතිරුණේය.තවත් බල්ලෙක් ඇතුළු විය.එකා පසු පස එකා බල්ලන් පෝලිමක්ම මල් ශාලාවට ඇතුළුවූවේය.
බිම වැතිරුණු ඔවුහු හිස් බැල්මෙන් බලා සිටියහ.මේ සිදුවන්නේ කුමක්දැයි පුදුමයෙන් බලා සිටි මාර්ගරිටාගේ හිතවතුන්ට මේ සතුන් කවුරුන්දැයි තේරුම් ගියේ පසුවය.ඔවුන් මාර්ගරිටා ජීවත්ව සිටි සමයේ ඇය ආදරයට කරුණාවට ලක්ව සිටියෝ වූහ.
මාර්ගරිටාගේ දේහය ආදාහනාගාරයට ගෙන යන අවස්ථාවේ එම රිය පෙරහැරට පසුපසින්ද මෙම සතුන් ගමන් කළේය.ඔවුන් විසිර ගියේ ආදාහනාගාරයේ දුම් කවුලූවෙන් දුම් වළලූ නැගෙන්නට ගත් විටය.
මිනිසෙකුගේ කරුණාවන්තකම මිනිසුන්ටත් වඩා හොදින් සතුන් හදුනනවා යැයි මාර්ගරිටාට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියෝ ඔවුනොවුන් අතර කතාවනවා ඇසුණි.






