ප්‍රහාරයේ වගකීම බාර ගනී


ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයට සහාය පළ කරන ‘ටී.ආර්.එෆ්’ නමැති ත්‍රස්ත කල්ලිය විසින් බාරගනු ලැබ ඇත.

‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය, පාකිස්තාන රජයේත් එරට බුද්ධි අංශයේත් සහාය ලබන ත්‍රස්ත සංවිධානයක් යැයි ඉන්දියාව චෝදනා කරයි. එල්ල වුණු එම ත්‍රස්ත ප්‍රහාරය ජම්මු කාශ්මීරයේ සිදුවුණු දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස ද සැලකෙයි. 

ත්‍රස්තවාදීන් කළ වෙඩි තැබීමෙන් 28 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර, 18 දෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ. තුවාලකරුවන් කඩිනමින් හමුදා හෙලිකොප්ටර් මගින් රෝහල්වලට රැගෙන යෑම සිදුවිය.

ඉන්දීය නාවික හමුදාවේ ලුතිනන්වරයකු වන 26 හැවිරිදි විනෙයි නර්වාන් නමැති නිලධාරියා ද සංචාරකයකු ලෙස බිරිඳ සමග නිවාඩුවක් සඳහා පහල්ගම් පළාතට පැමිණ සිටි අතර, වෙඩි ප්‍රහාරය එල්ල වෙද්දී ඔහු ද ජීවිතක්ෂයට පත්විය. නර්වාන් හර්යානා ප්‍රාන්ත වැසියෙකු බවත්, ඔහු විවාහ වී ඇත්තේ මීට දින සත් දිනකට පෙර බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසා ඇත.

ඉන්දු කාශ්මීරයට ගිය ඉන්දීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු දරුණුතම වෙඩි ප්‍රහාරය ලෙස ද මෙය සැලකෙයි.