මාස 7 කට ආසන්න කාලයක් තිස්සේ අතුරුදන්ව පවතින මලයාසියා ගුවන් සේවයට අයත් එම්.එච් 370 අංක දරන ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් නවතම නිරීක්ෂක උපකරණ සවිකෙරුණු යාත්‍රාවක් සමඟින් නැවත වරක් ආරම්භ කිරීමට ඕස්ට්‍රේලියා හා මලයාසියා බළධාරීන් පසුගියදා කටයුතු කළේය.
‘‘ගෝ ෆීනික්ස්‘‘ නම් වන මේ යාත්‍රාව වර්තමානයේ ඇති නවීනතම සෝනාර් හා වෙනත් මුහුදු නිරීක්ෂක උපකරණයන්ගෙන් සමන්විත වන බව සදහන්ය.
නිරීක්ෂකයින් පවසන්නේ යානය අතුරදන්ව ඇතැයි වැඩි සම්භාවිතාවක් පවතින සාගර ප්‍රදේශය මුලින්ම නිරීක්ෂණය කිරීමට සැළසුම් කර තිබෙන බවයි. ගෝ ෆීනික්ස්ගේ නූතන උපාංග වල පිහිටෙන් එම්.එච් 370 යානයේ අභිරහස මෙවරනම් විසදීමට හැකිවනු ඇතැයි ඔවුහු දැඩි විශ්වාසයෙන් සිටිති.
යානය අතුරදන්වීමට මොහොතකට පෙර එය පියාසර කරමින් තිබුණේ ඉන්දියන් සාගරයට ඉහළිනි.
පසුගිය මාර්තු මසදී අතුරදන්වූ එම්.එච් 370 ගුවන්යානය ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා පියාසර කරමින් තිබුණකි.එහි මගීහු ඇතුලූ කාර්යමණ්ඩලය 239 දෙනෙක් සිටියහ.
යානය ගුවන්ගතවී ටික වේලාවකින් ගුවන් නියමුවාගෙන් ලැබුණු ‘‘සුභ රාත්‍රියක්‘‘ පණිවුඩයට පසු යානය පිළිඹඳ කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි විය.
දින කිහිපයක ඇවෑමෙන් යානය සොයා මෙහෙයුම් ඇරඹුනි. වර්ග සැතපුම් 68000 ප්‍රදේශයක් මේ වන විට ඉතා සියුම් ලෙස විමර්ෂණය කර තිබෙන්නේ වුවද යානය ගැන කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකිව ඇත.
යානය අතුරදන් වීම සම්බන්ධයෙන් ප්‍රධාන ගුවන් නියමුවා වෙත සැක එල්ලවී තිබෙන අතර ඔහුගේ කිසියම් ක්‍රියාවක් යානය අතුරදන් වීමට හේතුවී ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරයි.



