හොඳම දවල් හීන දකින්නාට ඇපල් සමාගමේ අලූත්ම නිෂ්පාදනය වන ඇපල් අත් ඔරලෝසුවක් තෑගි දීමේ අපූරු තරඟයක් පසුගියදා චීනයේ පැවැත්විණි.
චීනයේ ටයුවාන්හි වෙළද සංකීර්ණයක පැවති මෙම තරගයට 500 කට අධික පිරිසක් සහභාගීව සිටි අතර ඔවුන් හමුවේ තිබූ අභියෝගය වූයේ දෑස් විවර කරගෙන හැකිතාක් කාලයක් මුහුණේ ඉරියව් වෙනස් නොකර ධ්‍යානයකට සමවැද සිටින අයුරින් සිටීමයි.
තරගකරුවන්ගේ දැහැන බිඳීමට තරග සංවිධායකයෝ නොයෙකුත් විගඩම් කළෝය.ඔවුහු තරගකරුවන් ඉදිරිපස සිට නැටූහ. විසිළු මුහුණු පෙන්වූහ. ඒ හමුවේ තරගකරුවන් බොහෝ දෙනෙකුගේ අවධානය බිදී ගියේය.
අවසානයේ තරගය ජයග‍්‍රහණය කළේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. ඇය පැය 2 කට අධික කාලයක් නොසැලී, පිළිමයක් සේම සිටියාය.
තරග සංවිධායකයින් පසුව අදහස් පළකරමින් සදහන් කළේ මෙය හුදෙක් ඇපල් අත් ඔරලෝසුවක් තෑගි දීමේ අරමුණින් නොව ඉතාම කාර්යබහුල දිවිපෙවෙතක් ගතකරන චීනය ජනයාගේ මානසික ආතතිය යම්තාක් දුරට හෝ අඩු කිරීමට ගත් උත්සාහයක් බවය.




