ගොවි පොළක ගොලු බෙල්ලන් වගා කිරිමෙන් ජීවත්වන පුද්ගලයකු ඕස්ට්‍රියාවේ වාසය කරයි. මිනිස් පරිභෝජනය සඳහා වසරකට ගොලු බෙල්ලන් 300000 පමණ වගා කරයි. ඒ ගොලු බෙල්ලන් කිලෝ එකක් ඩොලර් 105 ක් පමණ වෙයි. ඔස්ට්‍රියාවේ ආපනශාලාවලට ඔහු මේවා සපයයි. ගොලු බෙලි බිත්තර හා ගොලු බෙලි අක්මාව ද ඔහු විශේෂ මිල ගණන් වලට අලෙවි කරයි.
පරිගණක හා ආර්ථික විද්‍යා උපාධියක් හිමි ඇන්ඩ්‍රීස් ගුගුමුක් (40) නමැති මේ අපූරු පුද්ගලයා තමන් කලින් සේවය කළ අයි.බී.එම්. සමාගමෙන් ඉවත්ව මේ ගොලු බෙලි ව්‍යාපාරයේ යෙදෙයි. ඔහුගේ අදහස තමන් කලින් කළ රැකියාවට වඩා මෙය සුවදායක බවයි.
වියානාවේ සහ ප්‍රංශයේ මේ සතුන් ඉතා ජනප්‍රිය ආහාරයකි. ඕස්ට්‍රියාවේ නැතිවී යමින් තිබූ ගොලුබෙලි ආහාරයට ගැනීමේ පුරුද්ද යළි ඇති කිරීමට තමන් සමත් වූ බව ගුගුමුක් කියා ඇත.
‘‘ අවුරුදු දහස් ගණනක අතීතයේ පටන් මිනිසුන් ගොලුබෙල්ලන් ආහාරයට ගෙන තිබෙනවා. එය ඉතා රසවත් වගේ ම පෝෂ්‍යදායී ආහාරයක්.“ ගුගුමුක් පවසයි.
ගොලුබෙලි බිත්තරයකින් වැඩුණු සතකු ඇතිවීමට මාස තුනක පමණ කාලයක් ගත වේ. ගුගුමුක් පවසන්නේ ගොලු බෙල්ලන්ගේ ශ්‍රාවයන් උපයෝගී කරගෙන රූපලාවන්‍ය නිෂ්පාදන බිහිකිරීමට ද තමන් අවධානය යොමුකැර ඇති බවයි.






