වයස අවුරුදු 7 ක මරාගෙන මැරෙන බෝම්බකාරිනියක නයිජීරියාවේ ජංගම දුරකථන අලූත්වැඩියා කටයුතු කරන කඩයක් ඉදිරිපිටදී බෝම්බය පුපුරුවාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
පිපිරීමෙන් පස් දෙනෙකු ජීවීතක්ෂයට පත්ව 19 දෙනෙක් තුවාල ලදහ.
වෙළදපොළෙහි ආරක්ෂක කටයුතු භාර නිලධාරීන් පවසන්නේ වෙළදපොළට ඇතුල්වීමට තැත් කළ මෙම දැරිය තමන් පස් වතාවක්ම හරවා යැවූ බවයි. එවැනි කුඩා දැරියකට ජංගම දුරකථන අලූත්වැඩියා කටයුතු සිදුකෙරෙන වෙළදපොලක කරන්නට ඇති දේ කුමක්දැයි සිතා එසේ ඇය හරවා යැවූ බව ඔවුහු කියති.
ආරක්ෂක අංශ වල ඇස් වසා වෙළදපොළ වටා යවා තිබූ කඹය යටින් රිංගීමට යෑමේදී මෙසේ ඇය බැඳගෙන සිටි බෝම්බය පුපුරාගොස් තිබේ.
ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති අතර බොහෝ දෙනා ඇඟිල්ල දිගු කරන්නේ නයිජීරියාවේ කි‍්‍රයාත්මක අන්තවාදී සංවිධානයක් වන බොකෝ හරාම් දෙසටය.
මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර සදහා කුඩා දැරියන් හා තරුණියන් යොදාගැනීම බොකෝ හරාම් අන්තවාදීන්ගේ පිළිවෙතකි. මින් පෙර අවස්ථාවකද එම සංවිධානයේ බව කියන වයස අවුරුදු 15 පමණ වන දැරියක් බෝම්බයක් පුපුරුවාගෙන සියදිවි නසාගත්තේ 6 දෙනෙකුට මරු කැදවමින් හා 37 දෙනෙකුට බරපතල තුවාල සිදුකරමින්ය.
කෙසේ වෙතත් බෝකෝ හරාම් අන්තවාදීන් සෑහෙන පමණ අඩපණ කිරීමට නයිජීරියාව හා එහි අසල්වැසි රටවල් වන චැඩ් හා කැමරුන් දියත් කර තිබෙන හමුදා මෙහෙයුම් වලින් හැකිව තිබේ.
නමුත් නොසිතූ අවස්ථාවල මෙවන් ප‍්‍රහාර එල්ල කිරීමට තරම් සංවිධානාත්මක ශක්තියක් තවමත් ඔවුන්ට ඇත.
මෙම සිදුවීම හෙළා දැක ඇති ලොව රාජ්‍ය නායකයින් අන්තවාදීන් මර්දනය කිරීමට නයිජීරියා රජය වහාම කටයුතු කළ යුතුව තිබෙන බව පවසයි.




