උතුරු කොරියා සෙබළෙක් දකුණු කොරියාවට පළා යයි


සෝල්හිදීය (ඒ.එෆ්.පී)

කොරියානු අර්ධද්වීපය දෙකට බෙදෙන යුද මුක්ත කලාපය ඔස්සේ උතුරු කොරියානු සොල්දාදුවකු දකුණු කොරියාවට පලා ඇවිත් ඇතැයි වාර්තා වේ. 
යුද මුක්ත කලාපයට දෙරටින්ම දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන අතර සති පහක කාලයක් ඇතුළත උතුරු කොරියානු සොල්දාදුවකු දකුණු කොරියාවට පළා ගිය දෙවැනි අවස්ථාව මෙය වේ.  උතුරු කොරියානු සොල්දාදුවකු  පළා එන අයුරු දකුණු කොරියානු සොල්දාදුවන් තම නිරීක්ෂණ උපකරණවලින් දැක තිබේ. ඔහු දකුණු කොරියාවට පැමිණීමෙන් විනාඩි 90කට පසු වෙඩි හුවමාරුවක් සිදු වූ බව දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය. 
උතුරු කොරියානු සොල්දාදුවා දකුණු කොරියාවට පලාවිත් තිබෙන්නේ ඊයේ (20) රාත්‍රී කාලයේ බව පැවසේ. එම අවස්ථාවේදී දෙරට අතර කිසිදු වෙඩි හුවමාරුවක් සිදු නැතිමුත් ඉන් විනාඩි 90කට පසු උතුරු කොරියානු හමුදා පලාගිය සහෝදර සොල්දාදුවා සොයමින් දේශසීමා කලාපය වෙත පැමිණ තිබේ. ඔවුන්ට අනතුරු ඇඟවීම සඳහා දකුණු කොරියානු හමුදා කේ 3 මැෂින් තුවක්කුවලින් වාර 20ක් වෙඩි තබා තිබේ. ඉන් අනතුරුව උතුරු කොරියාව දෙසින් ද වෙඩි හඬ ඇසුණ ද දේශසීමාව හරහා වෙඩි උණ්ඩ හුවමාරු වූ බවට තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.
ඊයේ (20) රාත්‍රීයේ දකුණු කොරියාවට පැමිණි උතුරු කොරියානු සොල්දාදුවද සමඟ යුද මුක්ත කලාපය හරහා මේ වසරේදී දකුණු කොරියාවට පැමිණි උතුරු කොරියානු සොල්දාදුවන්ගේ ගණන හතරක් වනු ඇත. එම සොල්දාදුවන් සිව්දෙනාද ඇතුළුව උතුරු කොරියාවෙන් සෘජුවම දකුණු කොරියාවට පලාගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 15ක් බවත් එය 2016 වසර හා සැසඳීමේදී තුන් ගුණයකින් වැඩි වීමක් බවත් දකුණු කොරියා වාර්තා සඳහන් කරයි. 
වසර 1950-1953 කාලයේ පැවැති කොරියානු යුද්ධයෙන් පසුව දරිද්‍රතාව ආදී විවිධ හේතූ නිසා උතුරු කොරියානුවෙන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් දකුණු කොරියාවට පලා ගොස් ඇතැයි පැවසේ. 
 
 
055