නව යොවුන් වියට පවා නොඑළඹුනු දරුවන් සටන්කරුවන් ලෙස පුහුණුකෙරෙනු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කිරීමට ඉරාකයේ අයිඑස්අයිඑස් අන්තවාදීහු කටයුතු කර තිබේ.
ඔසවා ගැනීමට පවා නොහැකි තුවක්කුවකින් වෙඩි තැබීමට පුහුණුවන කුඩා දරුවෙකු,කොටස් එකතු කර සම්පූර්ණ ගිනි අවියක් සකසන දරුවන් පිරිසක්,ඔවුන් දිනපතා ව්‍යායාම් කරනු හා අන්තවාදී නායකයින් පවත්වන දේශන වලට සහභාගී වනු, ආදී දර්ශනයන් එම වීඩියෝවේ ඇතුළත්ය.
එම වීඩියෝවේ එක් දර්ශනයකදී කුමක් හෝ පවසන්නැයි එක් දරුවෙකුට උපදෙස් දෙන අතර ‘‘මිත්‍යාදෘෂ්ඨිකයිනි, උඹලා සියලූදෙනාට මරණය‘‘යැයි එම දරුවා පවසන්නේය.
මේ අතර සී.එන්.එන් පුවත්සේවය පසුගියදා අන්තවාදීන් අතර සිට පලාවිත් තිබූ දරුවෙකු හා සාකච්ඡාවක් පැවැත්වීය.
ඔහු අයිඑස්අයිඑස් ත්‍රස්තයෝ දරුවන්ට පුහුණුව ලබාදෙන අයුරු සම්බන්ධයෙන් බොහෝ කරුණු හෙළි කළේය.
අවි පුහුණුවට අමතරව ඇතැම් වේලාවල තමන්ව හිස ගසා දැමිම්,කුරුසි පත් කිරීම්,ගල් ගසා මරා දැමිම් ආදිය නැරඹිමට රැගෙන යන බව එම දරුවා කීය.
ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙන්නේ අල්කයිඩා හා තලේබාන් වැනි අන්තවාදී සංවිධාන වලට වඩා අයිඑස්අයිඑස් සංවිධානය ඉතා ම්ලේච්ඡ හා අති භයානක වන බවයි.
මේ බව තහවුරු කෙරෙන සිදුවීම් රාශියක් පසුගිය කාලය පුරාවටම දැකගත හැකිවූ අතර එහි නවතම සිදුවීම වන්නේ අත්අඩංගුවට ගත් සිරියා හමුදා භටයින් 300 දෙනෙකු අන්තවාදීහු අතින් සමූහ ඝාතනයකට ලක්වීමයි.
බටහිර රටවලටද ලෝකයේ වෙනත් කොටසක සිදුවන්නක් යැයි කියා ඉවත බලා සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත්තේ එම රටවලද අසිඑස්අයිඑස් අන්තවාදීන්ට සහය පළ කරන කණ්ඩායම් ඇතිවෙමින් තිබෙන බැවින්ය.තත්ත්වය කෙතරම් බරපතලවී ඇත්ද යත් බටහිර රටවලට වී හොදින් ජීවත් ව ඉහළ අධ්‍යාපනයක් ලැබ ඉහළ ජීවන තලයකට හිමිකම් කියන තරුණ තරුණියෝ පවා අයිඑස්අයිඑස් සංවිධානයට බැදෙමින් සිටිතිෙ
අයිඑස්අයිඑස් අන්තවාදීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගත යුතුයැයි මතයේ බටහිර රටවල් සිටින මුත් මේ දක්වා කුමන අයුරින් අන්තවාදීන් මර්දනය කිරීමට ඔවුන් පියවර ගනු ඇත්දැයි ප්‍රකාශයක් සිදුකෙරී නොමැත.






