ඇමෙරිකා රජය අමාරුවේ වැටෙන රහස් ලොවට හෙළි කරන්නේ නෑ


ඇමෙරිකාව ලෝකයා ඉදිරියේ ‘දණ ගැස්විය හැකි’ ආකාරයේ රහස් තමා සතුව ඇති නමුත්, තමා ඒවා ප‍්‍රසිද්ධියට පත් කර ඇමෙරිකා රජයට හානියක් නොකරන බව රුසියාවේ මොස්කව් නුවර ෂෙරෙමෙටෙයේවෝ ගුවන් තොටුපොළේ රැඳී සිටින එඞ්වඞ් ස්නෝව්ඩන් පෙරේදා (14) දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.
ඇමෙරිකාවේ එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සියේ හිටපු කොන්ත‍්‍රාත්කරුවකු වන 30 හැවිරිදි ස්නෝව්ඩන්, රුසියාවේ ෂෙරෙමෙටෙයේවෝ ගුවන් තොටුපොළේ රැඳී සිටින්නේ රුසියනු රජයේද අනුදැනුම ඇතිවය.
ඇමෙරිකා රජය සහ සී.අයි.ඒ. බුද්ධි අංශය, එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා දුරකතන ඇමැතුම් සහ අන්තර්ජාලය ඔස්සේ ඇමෙරිකන් වැසියන් ගැනත් විදේශීය තානාපති නිලධාරීන් ගැනත් ඔත්තු බලන බවට ස්නෝව්ඩන් රහස් හෙළි කළේ ඉකුත් ජූනි මාසයේදීය.
ඔහු ඒ බව පළමුවෙන්ම වාර්තා කළේ බි‍්‍රතාන්‍යයේ ‘ද ගාඩියන්’ පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡුාවක් පවත්වමිනි. ඇමෙරිකාවෙන් පළා ගිය ස්නෝව්ඩන් එම රහස් හෙළි කළේ හොංකොං සිටය. ඔහු රුසියාවට ගියේ ඉන් පසුවය.
යුරෝපා රටවල් රැුසක් මේ වනවිට ඇමෙරිකා රජයට එම ඔත්තු බැලීම් සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති අතර, ඇමෙරිකාව සමඟ  ගනුදෙනු නවතා දැමීමට ද තීරණය කර ඇත.
අල් කයිඩාව වැනි ඇමෙරිකාවට එරෙහි ඉස්ලාමීය සටන්කාමී සංවිධාන ස්නෝව්ඩන් කළ එම හෙළිදරව්වෙන් පසු ඔවුන්ගේ ක‍්‍රමෝපායන් වෙනස් කර ඇති බව ද වාර්තා වේ.
රුසියාවට පැමිණීමෙන් පසු ස්නෝව්ඩන් මාධ්‍ය හමුවේ පෙනී සිටියේ පළමු වරටය. එම මාධ්‍ය හමුවට ‘විකිලීක්ස්’ වෙබ් අඩවිය වෙනුවෙන් එහි මානව හිමිකම් සම්බන්ධ කි‍්‍රයාකාරිනී සාරා හැරිසන් ද එක් වූවාය. ඇමෙරිකා රජයේ රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලන්නේ ජුලියන් ඇසෙන්ජ්ගේ ‘විකිලීක්ස්’ වෙබ් අඩවියයි.
ස්නෝව්ඩන් වෙනිසියුලාව ඇතුළු ලතින් ඇමෙරිකා රටවලින් ආරක්ෂාව ඉල්ලා ඇත. ඔහුට ආරක්ෂාව දීමට වෙනිසියුලා ජනපති නිකලස් මදුරෝ කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වේ.