මේ ගෙවෙමින් තිබෙන 21 වැනි ශතවර්ෂයේ පවා මිනිසුන්ගේ ම්ලේච්ඡ ගතිගුණ තවමත් මැකී ගොස් නොමැති බව ලෝකයාටම පසක් කර දෙමින් අයිඑස් අන්තවාදීහු ඔවුන්ගේ අත්අඩංගුවේ සිටි ජොර්දාන ජාතික ප්‍රහාරක ගුවන්යානා නියමුවෙකු පණ පිටින් පුළුස්සා මරා දැමූහ.
මොසාහ් අල් කසාඛෙහ් නම් මෙම ගුවන්නියමුවා අන්තවාදීන්ගේ ග්‍රහණයට හසුව ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ය. ඇමරිකාව සමග එක්ව අන්තවාදීන්ට එරෙහිව ගුවන් ප්‍රහාරයක් එල්ල කරමින් සිටියදී මිසයිලයක් වැදීමෙන් ඔහුගේ යානය විනාශව ඇති බව පැවසේ. දිවි ගලවාගැනීමට සමත්ව ඇති නියමුවා තම අත්අඩංගුවේ පසුවන බව අයිඑස් සංවිධානය එකල නිවේදනය කළේය.
නියමුවා නිදහස් කිරීමට නම් ජොර්දානයේ අත්අඩංගුවේ පසුවන තම සංවිධානයට අයත් මරාගෙන මැරෙන බෝම්බකාරිනියක වන සිජිඩා අල් රිසාවි නිදහස් කළ යුතු බව අන්තවාදීහු පැවසූහ. පුද්ගලයින් 60 දෙනෙකුට මරු කැදවූ බෝම්බ ප්‍රහාරයකට හවුල්වීයැයි චෝදනා ලැබ සිටින ඇයට මරණ දඩුවම නියමවී තිබුණි.
ජොර්දාන නායකයෝ ඇය නිදහස් කිරීමට කැමැත්ත පළ කළහ. නමුත් මොසාහ් ජීවත්වන බව සහතික කෙරෙන සාක්ෂි තමන්ට අවශ්‍ය යැයි අයිඑස් සංවිධානය හා සබඳතා තිඛෙන අරාබි ගෝත්‍ර මාර්ගයෙන් ඔවුහු දැනුම්දුන්හ.
නමුත් අයිඑස් අන්තවාදීහු එසේ සාක්ෂි ලබාදීමක් සිදුනොකළහ. කරුණු මෙසේ වුණු හෙයින් ජොර්දාන රජය විශAවාස කළේ නියමුවා දැනටමත් මරා දමා ඇති බවය.
නමුත් පසුගියදා ජපාන ජාතික මාධ්‍යවේදී කෙන්ජි ගොටෝගේ ගෙල ජිහාඩි ජෝන් අළුගෝසුවා අතින් කැපෙද්දී අයිඑස් සංවිධානය මීළගට මරණයට මුහුණදීමට සිටින්නේ ජොර්දාන නියමුවා බව සඳහන් කිරීමත් සමග ජොර්දාන රජය නැවත වරක් අන්තවාදීහු හා සාකච්ඡා කිරීමට උත්සාහ කළහ.
නමුත් ඉන් ඵලක් නොවිනි. ජොර්දාන රජයේ ඉල්ලීම බීරි අලින්ට වීණා වාදනය කළාක් වැනි විය.
අත්අඩංගුවට ගැනීමේ සිට ඝාතනය කිරීම දක්වා ගුවන් නියමුවා ගෙවූ කාලය දැක්වෙන විනාඩි 20 ක් පමණ දිගු වීඩියෝවක්ද නිකුත් කිරීමට අන්තවාදීහු කටයුතු කළහ. වීඩියෝවේ අවසාන කොටසේ මොසාහ් ගේ අවසාන මිනිත්තු කිහිපය සටහන්ව ඇත.
හමුදා ඇදුම්වලට සමාන ඇදුමින් සැරසුණු අයිඑස් අන්තවාදීහු කණ්ඩායමක් ඔහු වටකොට සිටිති. ඔහු ඉදිරියේ තිබෙන්නේ යකඩ කූඩුවකි.
සිහිනෙන් මෙන් ඇවිදින ඔහු එයට ඇතුල්වේ.අනතුරුව එහි දොර වසන එක් අයිඑස් සාමාජිකයෙකු ඔහු පෙට්‍රල් වලින් තෙමයි.
අනතුරුව කූඩුවට ඈතින් සිටගන්නා ඔහු එයට ගිණි දල්වයි.
ගිනි දැල් නියමුවා වෙළා ගනී. සිටගෙන සිටින ඔහු දණින් වැටේ.තවත් තත්පර 30 කින් පමණ ඔහු මුනින්තලාව වැටේ.
ඔහු මියගොස් ඇත්දැයි පරීක්ෂා කිරීමට පවා කටයුතු නොකරන අන්තවාදියෝ කූඩුව වසා බදාම කැබලි,ගල් කැට ආදිය ගොඩගසයි.
දැන් එහි එන්නේ බුල්ඩෝසරයකි. එය කූඩුව බිමට සමතලා කරදමාගෙන යයි.
ගුවන්ප්‍රහාර වලින් මියයමින් සිටින දරුවන් පිරිසක් දැක්වෙන දසුන් කිහිපයක් ඉන් අනතුරුව වීඩියෝවේ සටහන්ව තිබේ.මෙම ගුවන්ප්‍රහාර ඇමරිකාව එල්ල කරන ඒවා බව කියැවේ.
එතැනින් වීඩියෝව නිමාවේ.
මෙම වීඩියෝව අව්‍යාජ එකක්දැයි තහවුරු කරගැනීමට පරීක්ෂණ දැනටමත් ආරම්භ කර තිබේ. එයට ඇමරිකා, බ්‍රිතාන්‍යය හා ඊශ්‍රායෙල විශේෂඥයින් සහභාගීව සිටින බව සඳහන්ය.
ජොර්දාන රජය නියමුවා මියගොස් ඇති බව ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම්දීමට මේ වන විට කටයුතු කර ඇත. නියමුවා මියගිය පුවත සැළවීමත් සමග ජොර්දාන වැසියෝ දහස් ගණනක් වීදි බැස ලෙයට ලෙය ඉල්ලා සිටියහ.
තම අත්අඩංගුවේ සිටින අයිඑස් සාමාජිකයින් සියලූදෙනා එල්ලා මරා දැමීමට ජොර්දාන රජය මේ අනුව තීරණය කර තිබේ. නුදුරේදීම ඔවුන්ට මරණ දඩුවම ලබාදෙනු ඇත. අයිඑස් සාමාජිකයෝ හය දෙනෙක් ජොර්දාන අත්අඩංගුවේ සිටිති.
ජොර්දානයේ දෙවන අබ්දුල්ලා රජතුමා වහාම ඇමරිකාවට පියාසර කර ජනපති බැරක් ඔබාමා හමුවිය. දෙදෙන අතර පැවති සාකච්ඡාවේදී ත්‍රස්තවාදය ලෝකයෙන් අතුගා දැමිය යුතුවීමේ අවශ්‍යතාවය ගැන සදහන් විය. මේ දුෂ්කර අවස්ථාවේදී ඇමරිකාව ජොර්දානයේ සහයට සිටිනා බව ජනපති බැරක් ඔබාමා සහතික කළේය.
ආරක්ෂක විශේෂඥයින් පවසන්නේ මෙම ඝාතනයත් සමග අයිඑස් අන්තවාදීන් ඔවුන්ගේ බිහිසුණු බව තවත් මානයකට ගෙන ගොස් ඇති බව පෙනෙන බවයි. අන්තවාදීන් නිකුත් කර තිබෙන වීඩියෝව බටහිර ලෝකය තැති ගැන්වෙන අයුරින්, මනා ලෙස සංස්කරණය කර, ඉහළ විභේදනයකින් යුතු දසුන් ඇතිව නිර්මානය කර තිබීමද ඔවුන්ගේ අවධානයට යොමුව ඇත.








