හර්ෂණ තුෂාර සිල්වා
පාර්ලිමේන්තුව මායිම් නොකරමින් පසුගිය දශකයක කාලයේදී විධායක ජනාධිපතිධුරය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම නිසා පිරිමැසිය නොහැකි පාඩුවක් සිදු වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරුවේ පැවැසීය.
අරලිය ගහ මන්දිරයේ පැවැති ඩඩ්ලි සේනානානයක අනුස්මරණ දේශනයට එක්වෙමින් වික්‍රමසිංහ මහතා එසේ කීවේය.
විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කිරීම නිසා පාර්ලිමේන්තුව අගාධයකට වැටුණු බවත් රාජ්‍ය මූල්‍ය පිළිබඳ වගකීමෙන් පාර්ලිමේන්තුව බැහැර වූ බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.
“ජේ.ආර් ජයවර්ධන මහතා විධායක ජනාධිපතිධුරය හඳුන්වා දෙමින් ඒ සම්බන්ධයෙන් මහත් බලාපොරොත්තු තැබුවා. වෙස්ට්මින්ස්ටර් ක්‍රමවේදය යටතේ එහි මූලධර්ම ආරක්ෂා වෙමින් විධායක ජනාධිපතිධුරය පැවැතියා. එහෙත් කාලයක් යද්දි වෙස්ට්මින්ස්ටර් මූලධර්ම අමතක කර දැමුවා.
පසුගිය දශකයක කාලයේදී විධායක ජනාධිපතිධුරයට ශක්තිමත් කළා. පාර්ලිමේන්තු ගණන් ගත්තේ නැහැ. රාජ්‍ය මුදල් පිළිබඳ වගකිව්වේ නැහැ. පාර්ලිමේන්තුවට වගකිව්වේ නැහැ. ඒ නිසා අපි දැවැන්ත ණය උගුලක හිරවුණා. පාර්ලිමේන්තුවට කිසිදු ගෞරවයක් තිබුණේ නැහැ. ආණ්ඩුව පාර්ලිමේන්තුව පිළිබඳ කිසිදු සැලකිල්ලක් දැක්වුවේ නැහැ. මේ නිසා 2020 වනවිට අපට ගෙවන්න තිබෙන ණය කන්දරාවක රුපියල් ට්‍රිලියන 4.2ක්. රාජ්‍ය මූල්‍ය පාර්ලිමේන්තු පාලනයෙන් තොර වීම ඊට ප්‍රධාන හේතුවයි.
අගවිනුසුරුවරිය ඉවත් කළා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට වුණ දේ අපි දන්නවා. මේ සියල්ල අපි දන්නවා. ඒ නිසා පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති ක්‍රමයක් ස්ථාපිත කළ යුතුයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවට වග කියන ආණ්ඩු ස්ථාපිත කරන්නේ කොහොමද ? පාර්ලිමේන්තුවේ පාලනයට යටත් ආණ්ඩු ස්ථාපිත කරන්නේ කොහොමද ? මේ සම්බන්ධයෙන් යෝජනා තිබෙනවා. සාකච්ඡා පැවැත්වෙනවා. මේ සම්බන්ධයෙන් වාර්තා ඉදිරියේදී ඉදිරිපත් කෙරෙනවා. මේ කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්විය යුතු” යැයි ද අගමැතිවරයා කීවේය.
(ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)