කුණාටුවෙන් පසු මෙරට සංචාරයට ආ දැවැන්තයා


(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට ආපදාවලට ඔරොත්තු දීමේ හැකියාව සහ ශ්‍රී ලංකාව නැවත යථා තත්වයට පත්වෙමින් තිබෙන බව පෙන්නුම් කරමින් දිට්වා සුළි කුණාටුවෙන් පසුව ප්‍රථම වතාවට මේන් ෂිෆ්ට් 06 සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ඊයේ (02) කොළඹ වරායට සේන්දු විය.

ජර්මනියේ ටී.යූ.අයි කෲසස් සමාගම මෙහෙයුම් කටයුතු සිදුකරන මේන් ෂිෆ්ට් 06 නෞකාව ජාත්‍යන්තර මගීන් 2300 ක් සමග කොළඹ වරායට පැමිණ ඇත. නෞකාවේ වැඩිම පිරිස ජර්මන් ජාතිකයන් බවත් විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා නෞකාවේ පැමිණි අමුත්තන් මුණ ගැසීමට නැවට ගොඩවූ බවත් එහිදී අමාත්‍යවරයා ඔවුන්ගේ මත විමසා සිටි බවත් සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මේන් ෂිෆ්ට් නෞකාව කොළඹ වරායට පැමිණීම පිළිබඳව අදහස් දක්වමින් සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ මේන් ෂිෆ්ට් නෞකාව මෙරටට පැමිණීමෙන් ජාත්‍යන්තර පැහැදිලි පණිවුඩයක් ලැබෙන බවත් ශ්‍රී ලංකාව සංචාරකයන් නැවතත් පිළිගැනීමට සූදානම් බව එම පණිවුඩය බවත්ය.

මගීන් 2300 න් පළමු දිනයේ මගීන් 1600 ක් එක් දින සහ අර්ධ දින විනෝද චාරිකා සඳහා පිටත්ව තිබූ බවද සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. එම සංචාරකයන් පිටත්ව ගිය ප්‍රදේශ අතර ගාල්ල, මාදුඔය, කළුතර සහ කොළඹ තිබෙන බවද සංචාරක අමාත්‍යාංශය පැවැසුවේය. සංචාරකයන් පිටතට ගෙන යාම සඳහා බස් 72 ක් සහ කුඩා වෑන් රථ 30 ක් යොදවා තිබූ බවද සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.