ජ්‍යේෂ්ඨ සන්නිවේදකයෙකු වන සමන් අතාවුදහෙට්ටි ග්‍රන්ථ කර්තෘවරයෙකුද වේ. සුවිශේෂ පරිවර්තන කාර්යයක නිරත වන ඔහු අතින් සිංහලයට පෙරළුණු නවතම කෘතිය වන්නේ ඉන්දීය ලේඛිකාවක වන අනීටා හෙයර්ගේ “ලේඩීස් කූපෙ” නවකතාවයි. එය “කාන්තාවන්ට පමණයි” නමින් සිංහල භාෂාවට පරිවර්තනය කළ සමන් අතාවුදහෙට්ටි සමග ඒ පිළිබඳව කළ සංවාදයකි මේ.
Q ඔබේ අලුත්ම පරිවර්තන කෘතිය “කාන්තාවන්ට පමණයි”. නම අහපු ගමන් ඒ ගැන විමසන්න උනන්දුව වැඩි වුණා. කොහොමද මේ වැඩේට මුල පිරෙන්නෙ...?
පිළිතුර - මේ පොත මගේ අතට හම්බවෙන්නෙ මීට අවුරුදු විසි ගානකට ඉස්සර. මේ මුල් කෘතිය පළවෙන්නේ 2002 අවුරුද්දේ. ඒ කාලෙම වගේ දිල්ලියේ පොත් සාප්පුවක මේක දැකලා මම ඒක මිලට ගත්තා. ඊට පස්සේ හෙමින් මේ පොත කියවන්න ගත්තම මේ පොත මට දැනුණා. ඊට පස්සේ මම හිතුවා මේ පොත කවදහරි මම පරිවර්තනය කරනවා කියලා. 2002 අවුරුද්ද වෙනකොට පරිවර්තන කාර්යයට අත ගහලා තිබුණෙත් නෑ. හැබැයි ඊට පස්සේ වෙන වෙන පරිවර්තන කීපයක් මම කළා මේ පොත පරිවර්තනය කරන්න ගන්න කලින්. ඒ පොත් පරිවර්තනය කරන අතරත් මගේ ඔළුවට සැරෙන් සැරේ මේ පොත ගැන අදහස ආවා.
Q වෙනත් භාෂාවක පොතක් කියෙව්වට පස්සේ කියවලා පැත්තකින් තියෙනවට එහා ගිහින් පරිවර්තනය කරන්න හිතෙනවා කියන්නෙම ඒ පොත මොකක් හරි විදියකින් තමන්ට වැදිලා තියෙනවා. ඔබට වැදුණු වැදිල්ල මොකක් ද...?
මොකක් හරි පොතක් පරිවර්තනය කරන්න නම් මට ඒකට හේතු සාධක කීපයක්ම බලපාන්න ඕන. එකක් තමයි ඔබ ඔය කියපු වැදිල්ල. ඇත්තටම මට මේ පොත වැදුණා. හැබැයි එහෙම කියලා වදින හැම පොතක්ම පරිවර්තනය කරන්න යන්නෙත් නෑ. මම ඊළඟට බලන කාරණය තමයි පොතේ එන පරිසරය මට සමීප එකක් ද ආගන්තුක එකක්ද කියන එක. ඒ පොතේ එන පරිසරය මට සමීප නැත්තං ඒක මට ආගන්තුකයි නම් මම නිකම්ම වචන පරිවර්තනය කරන්නෙක් වෙනවා. මම ඒකට එච්චර කැමති නෑ. වචන කියවලා දැනෙන දේට වඩා වචන යට තියෙන දේ තමයි වැදගත්. ඒක වඩාත් පැහැදිලිව තේරෙන්නේ සහ දැනෙන්නේ පොතේ එන පරිසරය අපිට සමීප නම් තමයි. මේ පොත සම්බන්ධව මේ කාරණා මට ගැළපුණා. මේ පොතේ එන්නේ දකුණු ඉන්දියාවේ පරිසරය. මම ඒ පරිසරයේ ජීවත් වෙලා අත්විඳලා තියෙනවා. මේ පොතේ කියවෙන නගර සියල්ලටම මම ගිහින් තියෙනවා. දවස් ගණන් ඒ පාරවල්වල රස්තියාදු වෙලා තියෙනවා. ඒ වගේම මේ පොතේ අපට හම්බ වෙන චරිත අපිට සමීපයි. ඒවා පොදු චරිත. ඒවා දකුණු ඉන්දියාවට විතරක් සීමා වෙච්ච චරිත නෙවෙයි. මේ කාරණා සියල්ල සම්පූර්ණ වෙච්ච නිසා මම මේ පරිවර්තනය කරන්න අත ගැහුවා.
Q දැන් අපි කතා කරමු මේ මුල් කෘතිය ගැන...?
මේ මගේ අතින් සිංහලයට පෙරළුණු කෘතිය ඉන්දීය ලේඛිකාවක වන අනීටා හෙයර්ගේ “ලේඩීස් කූපෙ” කියන නවකතාව. ඒක “කාන්තාවන්ට පමණයි” නමින් තමයි මම සිංහල භාෂාවට පරිවර්තනය කෙරුවෙ.මේ කෘතියේ අපිට හම්බවෙන්නේ කාන්තා චරිත හයක්. බැංගලෝර් ඉඳලා ඉන්දියාවේ දකුණු කෙළවරේ තියෙන කන්‍යා කුමාරි දක්වා යන රාත්‍රී දුම්රියක තමයි මේ අය හම්බවෙන්නෙ. මේ රාත්‍රී නිදන දුම්රිය. මැදිරියේදී කාන්තාවන් හයදෙනා අතරේ කතා බහක් ඇතිවෙලා මේ එක් එක් කාන්තාවගේ ජීවිත කතාව දිගෑරෙන්න ගන්නවා. මේ අය අතර ඉන්නවා විවාහක අය වගේම අවිවාහක අය. වැඩිමහල් අය වගේම තරුණ අය. මේ අයගේ සංවාදය ඇතුළේ මතුවෙන ප්‍රධානම කාරණය වන්නේ ගැහැනියකට පරිපූර්ණ වෙන්න මිනිහෙක් ඕනමද කියන ප්‍රශ්නය. මේක හොඳ මාතෘකාවක්. ඒ වගේම සාකච්ඡා කරලා ඉවර කරන්න බැරි මාතෘකාවක්. ඒක නිසාම මට හිතුණා මේක පරිවර්තනය කරන්න ඕන කියලා. මේක සර්වකාලීන පොතක්. මේ පොතේ ඉන්නෙත් සර්වකාලීන චරිත. ඒ වගේම චරිත සර්ව භෞමික චරිත. මේ පොත ලෝකෙ භාෂා තිස් එකකට පරිවර්තනය වෙලා තියෙනවා. ඒකත් විශේෂත්වයක්. ඒ වගේම මේක 2002 වසරේ ඉන්දියාවේ පළ වෙච්ච හොඳම පොත් අතරේ පොත් පහ අතරට තේරෙනවා.
Q අනීටා හෙයර්ගේ “ලේඩීස් කූපේ” කෘතිය ඔබ නම් කරන්නෙ කාන්තාවන්ට පමණයි කියල. මේ ගැන යමක් කියන්නකො...?
කූපේ කියන එකේ තේරුම කුටිය වගේ එකක්. මේක ටිකක් පැරණි වචනයක්. ඉන්දියාවේ කෝච්චිවල නිදන කුටි වෙනම තියනවා කාන්තාවන්ට. ඒකටත් කියන්නේ කූපේ කියලා. මේ ලේඛිකාව කූපේ කියලා කියන්නෙ අන්න ඒ අර්ථයෙන්.
හැබැයි ඒකේ සෘජු පරිවර්තනයක් කළොත් ඒක අපේ රටේ අයට එකපාරට තේරුම් නොයයි කියලා හිතලා තමයි කාන්තාවන්ට පමණයි කියලා නම් කෙරුවෙ.
Q මේ කාන්තාවන් ගැන කතන්දරේ ලියන්නෙ කාන්තාවක්. ඒක පරිවර්තනය කරන ඔබ පිරිමියෙක්. අභියෝගයක් උණාද මේක...?
නෑ මට මේකේ කිසිම අභියෝගයක් තිබුණෙ නෑ. ඒක තමයි මම කිව්වේ මේ පොත මට වැදුණා කියලා. මගේ කෝණයම තමයි මේ පොතේ තියෙන්නේ. මොකක් හරි දෙයක් කියෙව්වම මේක මට ලියන්න තිබුණ නම් කියලා හිතෙන සමහර දේවල් තියෙනවානේ. මට මේ පොත ගැනත් හිතුණේ එහෙම. ඒක නිසා මේක මම පරිවර්තනය කරන්න හරි ඕන කියලා හිතුවා.
Q ඔබට ඉන්න පාඨක සභාව මේ කෘතිය මොන විදිහට භාරගනියි කියලා පූර්ව අදහසක් තිබුණ ද...?
මට පාඨක සමාජයක් ඉන්නවා. මගේ කෘති ඔවුන් භාර ගන්නවා. ඒ පාඨක සමාජය ගැන මට අදහසක් තියෙනවා කලින් කරපු පරිවර්තන වගේම මේකත් මම හිතනවා ඔවුන් භාරගනී කියලා. මේ පොත සම්බන්ධව ඔවුන්ගේ ප්‍රතිචාරය මොකක්ද කියලා දැනගන්න වෙන්නේ මේක කියෙව්වට පස්සේ.
Q දැන් පොත් පරිවර්තනයට AI තාක්ෂණය පවා ඇවිල්ල. හැබැයි එහෙම කෙරෙන සමහර පරිවර්තනය හරිම වියළියි සහ ඇතැම් විට නීරසයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෘත්‍රිමයි. මේ ප්‍රවණතාව තවදුරටත් ගියොත් පොතපතේ සාහිත්‍ය රසයට මොකද වෙන්නේ...?
ඇත්තටම ඒක දැන් අර්බුදයක් දක්වා ගියපු කාරණයක්. සමහර ප්‍රකාශන ආයතන AI තාක්ෂණය යොදාගෙන පොත් පරිවර්තනය කරන අවස්ථා තියෙනවා. ඒ ක්‍රියාවලිය ඇතුළේ කතුවරයෙකුගෙ මැදිහත් නොවීම නිසා පරිවර්තනය නීරස වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ ක්‍රියාවලිය ඇතුළේ කතුවරයා සෝදුපත් බලන්නෙක් විතරයි. මේ තත්ත්වය ඉදිරියේදී තවත් සංකීර්ණ වෙන්න ඉඩ තියෙනවා.
ප්‍රියන්ත කොඩිප්පිලි