’’ දළඳා වහන්සේ ’J .R ’ කන්දේ වඩා හිඳවූ හැටි ’’


උඩදුම්බර (මාඩුගොඩ) නගරයට 'J.R. කන්ද’ දිස්වෙන අයුරු. හිටපු ජනාධිපති J.R. ජයවර්ධන මහතා උඩුබැලි අතට වැතිරී සිටින අයුරේ හැඩයක් මෙයින් දිස්වේ. J.R. කන්දේ නහය සේ පෙනෙන්නේ නාවනගල කන්දයි.

 

 

සිරි ලක්දිවට වැඩම කර වූ දළදා වහන්සේ පර සතුරු උවදුරු කාලවල දී පර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැන්මට මෙරට වැසියන් කළ කැප කිරීම් අපමණය. එනමුත් ඒ තොරතුරු වාර්තා වී තිබෙන්නේ ඉතා අඩුවෙන් ය. සෙංකඩගල නුවරට දහස් ගණනින් යුක්ත වූ පර සතුරු හමුදාවක් පැමිණි මොහොතක මහා නායක හිමිනමක් ඇතුළු පිරිසක් දිවි පරදුවට තබා දළදා වහන්සේ ආරක්ෂා කර ගන්නට අපරිමිත වූ දුක් වේදනා වින්ද අවස්ථාවක් පිළිබඳ පුවතක් පුස්කොළ පොතක පත් ඉරු අතරේ සැඟවී පවතී. පත් ඉරු අතරේ සැඟවී පවත්නා තොරතුරු එළි දැක්වීමකි මේ.


ලන්දේසීන්ගේ සේනාවන් කුරුණෑගල පැත්තෙන් සෙංකඩගල නුවර බලා පැමිණෙමින් සිටින බවට තොරතුරු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට නිරන්තරයෙන් ලැබිණ. රජතුමාගේ සේනාවල පිරිස් ලන්දේසීන් හා සටන් වදින්නට උත්සාහ කළහ. එහෙත් ලන්දේසීන් හා සටන් කර දිනන්නට තරම් ශක්තියක් රජතුමාගේ සේනාවල පිරිස්වලට නොතිබිණ. එහෙයින් රජතුමාගේ සේනාවල පිරිස් පසු බසිමින් තම දිවි රැක ගත්හ.


ලන්දේසීන්ගේ සේනා කටුගස්තොටට පැමිණ සිටියහ. රජතුමාගේ අරමුණ වූයේ කෙසේ හෝ ලන්දේසීන්ගේ සේනා සෙංකඩගලපුරයට පැමිණීම වළක්වා ගැනීමය. එහෙයින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ලන්දේසීන් හා සාකච්ඡාවක් සඳහා පිළිමතලව්වේ මහ අධිකාරම්, දෙවැනි අධිකාරම්, සබරගමුවේ දිසාව ඇතුළු පිරිසක් කටුගස්තොටට පිටත්කර ඇරියේය. එහි ගිය පිරිස ලන්දේසීන් හා සාකච්ඡා පැවැත් වූහ. ලන්දේසීන් කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කළේය. ඒත් ඒ කොන්දේසි කෙසේවත් ඉටු කළ නොහැකි බව රජතුමාගේ පිරිසට වැටහිණ. එකඟතාවකින් තොරව සාකච්ඡා නතර විය.


1765 පෙබරවාරි 17 වෙනිදා මහනුවර මාලිගාවේ රැඳී සිටි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට දැන ගන්නට ලැබුණේ දහස් ගණනින් යුක්ත වූ ලන්දේසීන්ගේ සේනා කටුගස්තොට මහවැලි ගඟේ ඉවුරෙන් ගඟ තරණය කර සෙංකඩගල නුවරට පැමිණීමට සූදානමින් සිටින බවයි. තව දුරටත් සෙංකඩගල නුවර මාළිගාවේ විසීම ගුණදායක නොවන බව රජතුමාට වැටහිණ. එහෙයින් හේ සෙංකඩගල නුවරින් පලා යාමට සැලසුම් සකස් කරන්නට යුහුසුළු විය.
මහනුවර රජ සමයේ දළදා වහන්සේ ආරක්ෂා කිරීම රජතුමාගේ වගකීමක් විය. රජකම ආරක්ෂා වෙන්නට නම් දළදා වහන්සේ ආරක්ෂා කරන්නට ද සිදුවී තිබිණ. දළදා වහන්සේ ආරක්ෂා කරන්නේ නැත්නම් ඔහු රජු වශයෙන් මහජනයා පිළිගත්තේ නැත.


කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තමන් ඇතුළු තමාගේ පිරිසගේ ආරක්ෂාව පිළිබඳවත් දළදා වහන්සේ ආරක්ෂා කළ යුතු අන්දම පිළිබඳවත් සිතා බැලීය. ඒ අනුව තමා හා තමාගේ පිරිස හඟුරන්කෙතට යාමට සැරසිණ. එසේම ඉතා හිතෛෂී පිරිසකට දළදා වහන්සේ භාර දුන්නේ ආරක්ෂා කරන්නටය.
1765 පෙබරවාරි 18 වෙනිදා උදෑසන එළිය වැටෙන්නට පෙර රජතුමා හා පිරිස හඟුරන්කෙත බලා ගමන් ඇරැඹූහ. එසේම දළදා වහන්සේ භාරගත් පිරිස ද එදින එළිය වැටෙන්නට පෙර සෙංකඩගලපුර මාලිගාවෙන් එළියට බැස්සේ දළදා වහන්සේ ආරක්ෂා කරන්නට ඕනෑම ස්ථානයකට ගමන් කිරීමේ බලාපොරොත්තුවෙනි.
1765 පෙබරවාරි 18 සඳුදා ලන්දේසි ආණ්ඩුකාර ලියුබට් ජාන් බැරන් වැන් එක් අති විශාල සේනාවක් ද රැගෙන සෙංකඩගල නුවර මාලිගාවට ඇතුළු වූයේය. ලන්දේසීහු රිසි සේ මාලිගාවේ තිබූ දේවල් කොල්ල කෑහ. ඉන්පසු ඔවුහු සෙංකඩගලපුර ළැඟුම් ගත්තෝය.


දළදා වහන්සේ ආරක්ෂා කිරීමේ වගකීම භාර ගත් පිරිස දුම්බරනුවර සිද්ධව තිබූ සැතපෙන ගේ, තෙල්දෙණිය, මැදමහනුවර, කෙවුල්ගම ගල්ලෙන, කිනිකඳුරේ ගල්ලෙන යන ස්ථානයන්ට වඩම්මවමින් දළදා වහන්සේ ආරක්ෂා කළෝය. (වර්තමානයේ මහනුවර - මහියංගණය මාර්ගයේ කිලෝ මීටර් 32ක් දුර ගිය විට දී මැදමහනුවර මුණ ගැසෙයි.)
1765 මාර්තු 10 වෙනිද දළදා වහන්සේ වඩා හිඳුවා තිබුණේ උඩකුඹුරේ කිණිකඳුරේ ගල්ලෙන් මාලිගාවේය. එහි සිටි පිරිසගේ අදහස වූයේ කොයි මොහොතක හෝ දළදා වහන්සේ සොයා ලන්දේසීන් පැමිණීමට ඉඩ ඇති බවයි. එහෙයින් ලන්දේසීන්ට කිසිසේත් සොයාගත නොහැකි ස්ථානයකට දළදා වහන්සේ වැඩමවීමට ඔවුහු කතිකා කොට ගත්හ. 
(මහනුවර සිට මහියංගණය දක්වා වැටී ඇති මාර්ගයේ කිලෝ මීටර් 39ක් දුර ගිය විට හුන්නස්ගිරිය මුණගැසේ. හුන්නස්ගිරියේ සිට අතුරු පාරකින් කිලෝ මීටර් 5ක දුරක් ගිය විට කෙවුල්ගම මුණගැසේ. කෙවුල්ගම සිට කිලෝ මීටර් 2ක් දුර ගිය විට පමුණේතැන්න මුණගැසේ. පමුණේතැන්නේ සිට ඉහළට ඇති කන්දක් උඩට කිලෝ මීටර් 2ක දුරක් ගමන් කළ විට කිණිකඳුරේ ගල්ලෙන මුණ ගැසේ.)


අස්ගිරි විහාරේ ගණනායක නාවින්නේ ධම්මදස්සී මහා නායක හිමි, රඹුක්වැල්ලේ රතනජෝති, පොතුහැර රතනපාල, කනුමලේ ධම්මරංසි, වදවල සාමණේර හිමිවරු, අලදෙණියේ හා යටවත්තේ වට්ටෝරුරාලලා දළදා වහන්සේ ආරක්ෂා කිරීමේ පිරිසට අයත් වූහ.
පිරිස ගිරි, වන, ජල දුර්ග පසුකරමින් දළදා වහන්සේ වඩම්මවාගෙන කන්දක් නගින්නට වූහ. පිරිස ගමන් ගත්තේ නාවනගල කන්ද මුදුනටයි. නාවනගල කන්ද මුදුනේ කඳුරක් ඇති ස්ථානයක පිරිස නැවතුණේ එම ස්ථානය දළදා වහන්සේ වඩා හිඳුවා තැබීමට ඉතාම සුදුසු ස්ථානයක් ලෙස හැඟී ගිය බැවින්ය.
පිරිස නාවනගල කන්ද මුදුනට නැග ඇත්තේ 1765 මාර්තු 15 වෙනිදාය. කන්ද මුදුනේ දැවයෙන් දෙමහල් මාලිගාවක් තනවාගෙන දළදා වහන්සේ එහි වඩා හිඳුවාගෙන ආරක්ෂා කර ඇත.
පිරිස කන්ද මුදුනේ නැවතී ඇත්තේ අති මහත් වේදනාවන් රැසක් විඳිමිනි. කන්ද මුදුනේ විසීම ලේසි පහසුවී නැත. දිවියන් ඇතුළු විවිධ වන සතුන් ගැවසී ගත් කන්ද මුදුනේ තිබී ඇත්තේ අතිශය භයංකාර ගතියකි. මැස්සන්, මදුරුවන්, කූඩැල්ලන් වැනි සතුන්ගෙන් වෙන හිරිහැර දරා ගැනීම ලේසි පහසුවී නැත. වැස්සෙන්, සුළඟෙන් සිදුවෙන පීඩාවන් දරා ගැනීම ද ලේසි පහසුවී නැත.


රඹුක්වැල්ල, කෙවුල්ගම ආදී ගම්වල ඉතා විශ්වාසවන්ත කිහිප දෙනෙක් කන්ද උඩ වෙසෙන පිරිසට ආහාරපාන ඇතුළු අවශ්‍ය දේවල් සපයා ඇත. කන්ද මුදුනේ සිටි පිරිස දළදා වහන්සේ වෙනුවෙන් කළ යුතු දම්, මුළුතැන් තේවාවන් නිසි ලෙස කර ඇත්තේ කිසිදු අඩු පාඩුවකින් තොරවය.
සෙංකඩගල නුවර ළැඟුම් ගෙන සිටින ලන්දේසීන්ගේ බලය 1765 ජුලි මාසය වෙන විට දැඩි පිරිහීමකට ලක් වී ඇත. ඒ වෙන විට ඔවුන් සිට ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සෙබළුන්ගෙන් බේරී කොළඹට පැනගන්නේ කෙසේ දැයි යන්න කල්පනා කරමිනි.


ලන්දේසීන්ගෙන් කිසිදු ගැහැටක් සිදුවීමට ඉඩක් නැති බව නාවනගල කන්ද මුදුනේ සිටි පිරිසට දැනගන්නට ලැබිණ. තව දුරටත් කන්ද මුදුනේ සිටීම අවශ්‍ය නොවන බව පිරිසේ හැඟීම විය. ඒ අනුව නාවනගල කන්ද මුදුනේ සිටි පිරිස 1765 ජුලි 16 වැනිදා කන්ද මුදුනෙන් දළදා වහන්සේ වඩම්මවාගෙන කෙවුල්ගම ගම්මානය දක්වා ගමන් කරන්නට වූහ.
1765 මාර්තු 15 වෙනිදා සිට 1765 ජුලි 16 දක්වා නාවනගල කන්දේ දළදා වහන්සේ සඟවා තබාගෙන සිටි කාලය මාස හතරකි. එම මාස 4ක කාලය තුළ කන්ද මුදුනේ සිට දළදා වහන්සේ ආරක්ෂා කළ පිරිස කර ඇත්තේ අපරිමිත පරිත්‍යාගයකි. අස්ගිරි නායක හිමිනමක් මේ අයුරින් කැප කිරීමක් කළ එකම එක අවස්ථාව ද මෙයයි. දළදා වහන්සේ කන්ද උඩ සැඟවීමේ කටයුත්තේ මූලිකත්වය ගෙන ඇත්තේ රඹුක්වැල්ලේ රතනජෝති හිමියන්ය. කන්දක් උඩ සිට දළදා වහන්සේ ආරක්ෂා කිරීමේ සිද්ධියට ඉතිහාසයේ සුවිශේෂී තැනක් හිමිවිය යුතුව ඇත. එහෙත් සිදුවී තිබෙන්නේ පුස්කොළ පොතක පත් ඉරු අතරේ තොරතුරු සැඟවී තිබීම පමණය.


නාවනගල කන්ද වර්තමානයේ පවතින්නේ නකල්ස් වන සංරක්ෂණ කලාපය තුළය. මහනුවර - මහියංගණය මාර්ගයේ උඩදුම්බර නගරය පසු කරද්දී පෙනෙන 'J.R. කඳුයායේ’ නහය මෙන් පෙනෙන්නේ නාවනගල කන්දයි. නාවනගල කන්ද උඩදුම්බර පළාතේ සෑම තැනකටම මනාව දිස්වෙයි. එය ඉතා අලංකාරව දිස්වෙන්නේ ප්‍රාතිහාර්ය පාන්නක් මෙනි. මෙයට වසර 258 කට පෙර දළදා වහන්සේ ස්පර්ශවීම නිසා කන්ද අලංකාරවත්ව ප්‍රාතිහාර්ය පානවා විය හැකිය.

 

 

 ඡායාරූප විස්තර
■ හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ